I දේශපාලන වාර්තාකරු
එක්සත් ජාතික පක්ෂ නායකයා තේරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු එ.ජා.ප. ආරංචි මාර්ග කියයි.
එම ඡන්දය ඉක්මනින් පැවැත්වෙනු ඇති බවද කියැවේ. පසුගිය දෙසැම්බර් මස 31දා එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය හමාර විය. එහෙත් මේ දක්වා එහි නව සාමාජිකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර නැත. නිල බලයෙන් පත්වන සාමාජිකයන්ට අමතරව පක්ෂ නායකයා විසින් කළ යුතු සෙසු පත්කිරීම් ගණන 31ක් පමණ වන බව කියැවේ. එම සියලු නව පත්වීම් ලබන සතියේ සිදුකෙරෙන බව දැනගන්නට ඇත.
කෙසේ හෝ නායකයා තෝරාගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් දෙදෙනාගේම නම් නායකත්වය සඳහා යෝජනා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි. රනිල් පාර්ශ්වය දැනටමත් කෘත්‍යාධිකාරියේ සාමාජිකයන් ලෙසට පත්වන අය සමඟ මේ ගැන සාකච්ඡා ආරම්භ කර ඇත. ඒ අතර එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් දෙපක්ෂය අතර අර්බුදය සමථයකට පත් කිරීම සඳහා මැදිහත් වීමට තීන්දු කර තිබේ.