2020 ජනවාරි 04 වන සෙනසුරාදා

බත් පැකට් මිල නැග්ගුවේ ආණ්ඩුවට දන්වන්න - ආපනශාලා සංගම් සභාපති

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

I යසවර්ධන රුද්රිගු

වහාම ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ නැංවූයේ වැඩිවන ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමට රජයට බලපෑම් කිරීමට බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

ඔහු දේශයට පැවසුවේ දැනට තුනපහ කිලෝව රුපියල් 650ක්, මිරිස් කිලෝව රැපියල් 600, පොල්තෙල් බෝතලය රුපියල් 310ක් ආදී වශයෙන් ආහාර සකස් කරන අමුද්‍රව්‍යවල මිල වැඩිව ඇති බවය. එයට අතිරේක වශයෙන් සහල්, එළවළු, මස් මාළු, ලූනු ආදී සෑම ද්‍රව්‍යයකම මිල ඉතා විශාල ලෙස මිල ඉහළ ගියද ඒවා පාලනය කිරීමට රජයට නොහැකි වී ඇති බවය. රජය නියම කළ පාලන මිලද පොතට පමණක් සීමා වී ඇති අතර එමගින් වෙළෙඳපොළට බලපෑමක් සිදු නොවී ඇති බව ඔහු කියයි.

ආහාර පාර්සල්වලට එකම මිලක් නොමැති අතර ඒ සෑම ආහාර පාර්සලයකම මිල ප්‍රයිඩ් රයිස් ඇතුළුව රුපියල් 10කින් ඉහළ නංවා ඇති බව කියා සිටී. මෙයින් පාරිභෝගිකයාට සිදුවන හිරිහැරය තමන් දන්නා නමුත් යම් දිනක ආහාර සඳහා දේවල මිල පහළ වැටුණු විට තම වැඩිකළ මිල පහළ දමන බවද පවසයි.