2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ලංකාවේ වැවෙන බෝග ගෙන්වන්න රු: මිලියන ලක්ෂ ගාණක්

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:29 50

I ව්‍යාපාරික වාර්තාකරු

ජමනාරං, කොමඩු, මෑකරල්, සියඹලා, කව්පි ඇතුළු මෙරට තුළ පහසුවෙන් වගා කළ හැකි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයන වෙනුවෙන් රුපියල් මිලියන 3,52,434 ක් පසුගිය වසර තුළ විදේශවලට ගෙවා ඇතැයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

මෙලෙස වාර්ෂිකව ආනයනය කර ඇති ආහාර ද්‍රව්‍ය වර්ග ගණන 38 කි. එයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක්ද ඇතුළත් නමුත් බහුතරය මේ රට තුළම නිෂ්පාදනය කරගත හැකි ඒවා බව වාර්තා වෙයි.

දේශයට වාර්තා වන ආකාරයට කුරක්කන් ආනයනයට රජය වසරකට වැය කරන මුදල රුපියල් මිලියන 130 කි. සියඹලා ආනයනයට වැය කරන රුපියල් මිලියන 16 කි. මෑකරල් ආනයනයට රුපියල් මිලියන 4096ක්ද, මුංඇට සඳහා රුපියල් මිලියන 2,243ක්ද, මෙරට හේන් වගාකරුවන් වගා කරන කොමඩු ආනයනය සඳහා රුපියල් මිලියන 33ක්ද වැය කෙරේ. මේ හැර පොල්, පුවක්, ගම්මිරිස් ආදී බොහෝ කෘෂිකාර්මික නිෂ්පාදන අනවශ්‍ය ලෙස රටට ආනයනය කොට ඒ සඳහා ඩොලර් කෝටි ගණනක් වැය කර තිබේ.

රජය පසුගියදා මෙම සියලු ආනයන තහනම් කළේය. එම තහනමේ ප්‍රතිඵල දැනටමත් ලැබී ඇති අතර දිස්ත්‍රික්ක 9ක ගම්මිරිස් වගාකරුවන්ට පසුගිය කාලයේ සිය නිෂ්පාදන සාධාරණ මිලකට විකුණාගත නොහැකි වූ නමුත් ආනයන තහනමෙන් පසු ගම්මිරිස් මිල මේ වන විට දෙගුණ වී ඇත.