දේශපාලන වාර්තාකරු l
ජාතික ආරක්ෂාවට මුල්තැන ලැබෙන වංචා දූෂණ තුරන් කිරීමට නවීන තාක්ෂණය උපයෝගී කර ගන්නා නව රාජ්‍ය පාලන තන්ත්‍රයක් ස්ථාපිත කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට ප්‍රතිඥා දී තිබේ. ස්වකීය පාලනයක් තුළ නව ආර්ථික ප්‍රතිපත්තියක් සහ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කර ඇත.
නිෂ්පාදන ව්‍යාපාර වලින් අයකරන 28%ක බද්ද 18% දක්වා අඩු කිරීම, ආර්ථික සේවා ගාස්තුව සහමුලින් අහෝසි කිරීම, වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වෙනස් කර 8%ක අඩු බදු අනුපාතයක් නියම කිරීම ටෙලිෆෝන් වලින් අයකරන බද්ද 50%කින් අඩු කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් අයකරන උපයන විට ගෙවීමේ බද්ද සහමුලින් අහෝසි කිරීම නව බදු යෝජනා අතර ප්‍රමුඛ ඒවාය.
“ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” යනුවෙන් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිවරණය හමාර වූ සැණින් මහ මැතිවරණයකට යාම සඳහා ජනවරමක් ද ඉල්ලා ඇත. ජනතාවට වගකියන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ව්‍යවස්ථාදායකයේ විශේෂ කාරක සභාවක් පත් කිරීම, වංචා දූෂණවලට සම්බන්ධ තැනැත්තන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කොට පක්ෂයෙන් ඉවත් කිරීම, මිත්‍රශීලී නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම, මැතිවරණයකදී අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල තීරණයට මැතිවරණ කොමිසමට බලය පැවරීම, ජීවන බර අඩු කිරීමට ගන්නා නව ආර්ථික තීන්දු ආදිය ඇතුළත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගිය සිකුරාදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ජනගත කරනු ලැබීය. ආගමික නායකයන්, දේශපාලනඥයන්, විද්වතුන්, කලාකරුවෝ රැසක්ම මේ අවස්ථාවට එක්වූහ.