2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ජනපති ධූර කාලය අවසන්වන දිනය උසාවියෙන් අහන්න සූදානම්?

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 315

I දේශපාලන වාර්තාකරු

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය හමාරවන්නේ කවදාද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට අදාළ නිල ලේඛනය ජනාධිපති කාර්යාලය විසින් පසුගියදා සකස් කර ඇත. 

දැනට එම රහස්‍ය ලේඛනය ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරියක භාරයේ තබා තිබේ.
එහෙත් එම මත විමසුම කවදා සිදුකරන්නේද යන්න ගැන කිසිදු තොරතුරක් නැතැයි ජනාධිපති කාර්යාලයීය ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. අප වෙත වාර්තා වන තොරතුරු අනුව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට යන්නේ තමන් පැරණි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපති ධුරය භාරගත් නිසා සිය ධුරයේ නිල කාලය ආරම්භවන්නේ අලුතින් සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන් කළ 2015.05.15 දාද? යන ප්‍රශ්නයයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට අනුමැතිය ලැබුණොත් ජනාධිපතිවරණය කැඳවීම 2019 සැප්තැම්බරයේ නොව 2020 මැයි මාසයේදී සිදුකරන්නට නියමිත වෙයි.

ජනාධිපතිවරයා සිය ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම ගැන රටේ ප්‍රධාන පෙළේ තනතුරක් දරන දේශපාලන නායකයකුගේ සහයද පළවී ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

කෙසේ හෝ ජනාධිපතිවරයාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර එයට අනුමැතිය ලැබුණොත් ජනාධිපතිවරණය කල් යෑම මෙන්ම 2020 පෙබරවාරි 28දායින් පසු මැතිසබය විසුරැවා හැර මහ මැතිවරණය කලින් පැවැත්වීමටද හැකියාව ලැබේ.