2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

කුණු ටොන් 2000 ක් අරුවක්කාලුවට

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

I ජයන්ත සමරකෝන්

කොළඹ නගරය ගඳ ගස්සවමින් සතියකට ආසන්න කාලයක් තිස්සේ තැන තැන ගොඩගැසි තිබූ කසළ මෙට්රික් ටොන් දෙදහසකට අධික ප්‍රමාණයක් පුත්තලම අරුවක්කාලු කසළ අංගනය වෙත රුගෙන යාමට තීරණය කළ බව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසීය.

දිනපතා එකතුවන කසළ මෙට්‍රික් ටොන් 600ක් පමණ ඉවත් කිරීම සඳහා කොන්ත්‍රාත් සමාගමකට පැවරු බවද ලොරි රථ 15ක් ඔස්සේ කසළ ප්‍රවාහනය සඳහා දිනකට රුපියල් ලක්ෂ 12ක් පමණ ඊට වැය කිරීමට සිදුවනු ඇතැයි ද ඒ මහතා කීය.

මේ සඳහා ලොරි රථ 15ක් පමණ කිලෝමීටර් 200ක් පමණ දුරක් දින පතා ප්‍රවාහනයයේ යෙදවීමට සිදුවන බවද හා මාස 6ක කාලයකට බව කසළ ප්‍රවාහන කටයුතු සඳහා පෞද්ගලික සමාගමක් හා ගිවිසුම්ගතවූ බවද හෙතෙම සඳහන් කළේය.

මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේදී කඩාවැටීම හේතුවෙන් කොළඹ නගරයේ කසළ මුතුරාජවෙල කසළ අංගනයට බැහැර කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් කරගනු ලැබූ අතර ඒ සඳහා වෙන් කළ කසළ මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 3000ක්ද වෙන් නොකළ කසළ මෙට්‍රික් ටොන් එක්ක සඳහා රුපියල් 5000ක් ද සංස්ථාවට ගෙවනු ලැබීය. ඒ සඳහා නගර සභාව දෛනිකව රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් මේ දක්වා ගෙවා තිබුණේය.

එහෙත් මුතුරාජවෙළ කසළ අංගනයේ කසළ තැන්පත් කිරීමේ ධාරිතාවය ඉක්මවා ගොස් ඇතැයි කියමින් සංස්ථාව විසින් පසුගිය 5 වැනිදා සිට කොළඹ ඇතුළුව තදාසන්න නගරවල කසළ බාරගැනීම අත්හිටුවනු ලැබීමත් සමඟම මෙම ගැටලුව නිර්මාණය විය.