2019 ජුලි 20 වන සෙනසුරාදා

පිටි සහ පාන් පැරණි මිලටම!

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

යසවර්ධන රුද්රිගු l

පාන් සහ පිටි මිල ගණන් තාවකාලිකව වැඩි නොකර සිටීමට පිටි සමාගම් සහ බේකරි හිමියන් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය බුද්ධික පතිරණ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.

මෙම සාකච්ඡාව අමාත්‍ය බුද්ධික පතිරණගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පවත්වා තිබේ. සාකච්ඡාවට තිරිඟු පිටි සමාගම්වල නිලධාරීන් සමඟ, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතාද සහභාගී වී ඇත.

මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශ කර ඇති නිසා පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව මිල වැඩිකිරීම නීති විරෝධී බවය. මේ පිළිබඳ ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා තිබේ. එසේ වුවද පිටි සමාගම් නියෝජිතයන් මුලින් තම ස්ථාවරයේ දිගටම රුඳී සිට ඇත. එහෙත් පසුව සතියක කාලයකට මිල වැඩිනොකර සිටීමට එකඟවිය.  

ඉන්පසුව බේකරි හිමියෝ පාන් මිල ඉහළ දැමීමට ගත් තීන්දුවද අවලංගුකොට පැරණි මිලටම පාන් අලෙවියට තීන්දු කළහ.