2024 මාර්තු 30 වන සෙනසුරාදා

ඔයාමඩුව බෙහෙත් කම්හලට මාර කැපිල්ලක්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03 201

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI

පසුගිය කාලයේ අනුරාධපුරයේ ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කළ ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදිකිරීම්වලට ඖෂධ මාෆියාව, දේශපාලන අධිකාරිය සහ ඇතැම් රාජ්‍ය නිලධාරින්ගෙන් ඇතිවී ඇති බාධා හේතුවෙන් ගැටලු ඇතිවී ඇති බවත්, ඒ හේතුවෙන් බාල ඖෂධ මෙරටට පැමිණීම වළක්වාලීමට හා අඩු මිලට ඖෂධ නිෂ්පාදනය කිරීමට ඇති අවස්ථාව අහිමි වී යන බවත් සුවසිරිපුර ඖෂධ නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය ප්‍රියා දිසානායක මහතා සඳහන් කරයි.

දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ අවශ්‍ය ඖෂධවලින් 15%ත් 20%ත් පමණ ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව වසරකට ඖෂධ ආනයනය සඳහා රුපියල් බිලියන 120ක් පමණ වැය කරයි. පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ටෙන්ඩර් කැඳවා දේශීය ආයෝජකයන් 21 දෙනකු තෝරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ නමුදු මේ වන විට එම කටයුතුවලට විවිධ බාධා පැමිණ තිබේ. ආචාර්ය දිසානායක සඳහන් කළේ රජය හා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව මෙම ඖෂධ නිෂ්පාදන කලාපයේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කොට රටේ විදේශ විනිමය පිටරටවලට ගලා යාම වළක්වා ගැනීමට  කටයුතු කරන ලෙසටය. එම ඖෂධ නිෂ්පාදන කලාපයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කළහොත් මාස 18ක් වැනි කාලයක් තුළ මෙරටට අවශ්‍ය ඖෂධවලින් 60% කට වැඩි ප්‍රමාණයක් මෙරටේම නිෂ්පාදනය කරගත හැකිවන අතර, ඖෂධ අපනයනයෙන් තවත් ඩොලර් කෝටි 1000ක් පමණ උපයාගත හැකි බවද ඔහු සඳහන් කළේය.