2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ජනපතිවරණයට සහ මහ මැතිවරණයට රුපියල් කෝටි දෙදහසක් ඕනෑ - මැ.කෝ. අධ්‍යක්ෂ ජනරාල්

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:04 109

දේශපාලන වාර්තාකරු I

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක් (රුපියල් කෝටි දෙදහසක්) අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට කීය.

ඔහු මේ බව පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය රුපියල් බිලියන 10කින් (කෝටි දහසකින්) කළමනාකරණය කරගත යුතු බවට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද ප්‍රකාශයක් ගැන දේශය කළ විමසීමකදීය.

ජනාධිපතිවරණය මේ වසරේදී පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළව රුපියල් කෝටි දහසක ඇස්තමේන්තුව මේ වන විටත් මුදල් අමාත්‍යංශයට යවා ඇති බවත් සඳහන් කළ හෙතෙම 2025 ට සැලසුම් කර ඇති මහ මැතිවරණය සඳහා ද රුපියල් කෝටි දහසක මූලික ඇස්තමේන්තුවක් සකස් කර ඇතැයිද සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාළ ඇස්තමේන්තුව පසුගිය අයවැය මගින් දැනටමත් පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ. එසේම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යංශය බැඳී සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය මේ වසරේම පැවැත්වෙන්නේ නම් ඊට දළ වශයෙන් රුපියල් කෝටි දෙදහසක් අත්‍යවශ්‍ය බවත් ඊට අදාළ ඇස්තමේන්තු සකස් කළේ පවත්නා අවශ්‍යතා අනුව විධිමත් ආකාරයට බවත් ඔහු අවධාරණය කළේය.