2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

හදිසි මහ ඡන්දයක්! තීරණය අප්‍රේල් මාසේ

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 448

I ගයාන් ගාල්ලගේ

මෙම වසරේ ප්‍රථමයෙන්ම පවත්වන්නේ ජනධිපතිවරණයක්ද, මහ මැතිවරණයක්ද යන්න අප්‍රේල් මාසයේදී තීරණය වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු වුවත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව විසින් සිදුකරන ජනමත විමසීම් වාර්තා අනුව ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයකට යන ලෙසට ආණ්ඩුවේම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට තීන්දු කර ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් අප්‍රේල් මාසයේදී ජනමත සමීක්ෂණයක් සූදානම් වන බව දැනගන්නට ඇත. එසේම අප්‍රේල් මාසයේ අග පොහොට්ටුව තමන්ගේ සහාය සම්බන්ධයෙන් වූ ස්ථාවරය දැනුම් දීමටද නියමිතව ඇත. ඒ නිසා යම් ආකාරයකින් පොහොට්ටුව ජනාධිපතිවරයා හට තම සහාය ලබාදීම අත්හලහොත් ජනාධිපතිවරයාට සහාය දෙන පොහොට්ටුවේ පිරිස එක්කර ගනිමින් වහාම මහ මැතිවරණයකට යන ලෙස ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කිරීමට සැරසෙන බව වාර්තා වෙයි. ඉන් අනතුරුව ජනාධිපතිවරණයක් සඳහා යන ලෙසට ද එම පිරිස විසින් යෝජනා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය තවමත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් සඳහා යාම බව ද සඳහන් වේ.