2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

මහින්ද කැළණිය පන්සලේදී අද දිවුරුම් දෙයි

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 25

I දේශපාලන වාර්තාකරු

මහින්ද රාජපක්ෂ මහතා සිව්වැනි වරටත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස අද (09 ඉරිදා) පෙරවරුවේ ඓතිහාසික කැලණිය රාජ මහා විහාරස්ථානයේදී දිවුරුම් දීමට නියමිතය. මෙයට පෙර වාර තුනක් අගමැති පදවිය දැරූ රාජපක්ෂ මහතා 1970 මහ මැතිවරණයෙන් මුල්වරට බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් මැති සබයට පිවිසියේය.

දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ මහතා වර්ෂ 2018දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය භාරගෙන නව දේශපාලන ගමනකට අවතීර්ණ විය.

මෙවර මහමැතිවරණයෙන් කුරුණෑගල දිසාවෙන් මනාප ඡන්ද 5,27,000ක් ලබා ඔහු ජයග්‍රහණය කර තිබේ. දේශපාලනයේ අභියෝගාත්මක චරිතයක් ලෙස හැඳින්වෙන මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ස්වකීය පාර්ලිමේන්තු දිවියේ 50 වැනි වසර සැමරුවේය.

එල්.ටී.ටී.ඊ.යේ තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කොට රටට නිදහස ලබා දුන් නායකයා ලෙසත් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා වසර තුනක් තුළ රටේ සමස්ත දේශපාලන බලය අත්පත් කරගත් නායකයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාස ගත වෙයි. වර්ෂ 2015දී ඔහු පරාජයට පත් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙවර මහින්ද ගෝඨාභය ආණ්ඩුවේ සාමාජිකයෙක් බවට පත්ව සිටියි. මෙරට ප්‍රශස්ත ගණයේ මහජන සබඳතා පවත්වන දේශපාලන නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ පවා පිළිගැනීමට ලක්ව සිටී.

නව රජයේ අග්‍රාමාත්‍ය මුදල් හා බුද්ධ ශාසන අමාත්‍ය පදවි ද මහින්ද රාජපක්ෂ මහතා දරනු ඇතැයි වාර්තා වෙයි.