ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ සහ අනෙකුත් සේවා මධ්‍යස්ථාන සඳහා ආරක්ෂක සේවා ලබාගැනීමට ඇඳිරි නීතිය අස්සේ හොර රහසේම ටෙන්ඩර් කැඳවීමේ සිද්ධියක් වාර්තා වෙයි.
නිසි ටෙන්ඩර් නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් වංචාකාරී ලෙස මෙම ගනුදෙනුව සිදුකෙරෙන බවට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් හා වෘත්තීය සමිති නිලධාරීහු චෝදනා කරති.
රුපියල් කෝටි 18ක් පමණ වටිනා මෙම ආරක්ෂක සේවා ටෙන්ඩරය මුදල් රෙගුලාසි හා මුදල් සීමාවන් අනුව ලංගමට කෙසේවත් කළ නොහැකි බවත්, එම ටෙන්ඩර් කැඳවීම් කළ යුත්තේ ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෝ හා වෘත්තීය සමිති පෙන්වා දෙති.
මෙවැනි අති විශාල මුදල් ගනුදෙනුවක් මත සිදුවන ටෙන්ඩරයක් සම්බන්ධව ටෙන්ඩර්පත් කැඳවීමේදී ප්‍රසිද්ධ පුවත් හා රාජ්‍ය වෙබ් අඩවිවලින් ප්‍රසිද්ධියට පත්කර ටෙන්ඩර් කැඳවීම් සිදුකළ යුතු වුවද මෑතකදී උසස්වීම් ලැබූ ලංගම එක් නිලධාරිනියක් සහ නිලධාරියකු ඇඳිරි නීතිය පවතිද්දී මෙම ලංගම ආරක්ෂක ටෙන්ඩරය පිටුපස අදිසි හස්තයන් ලෙස ක්‍රියාත්මක වන බවද ලංගම සේවකයෝ පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතාගෙන් විමසූ විට ලංගම සභාපතිවරයා මෙසේ පැවසීය.
“මෙවැනි සිද්ධියක් පිළිබඳව මම දැනුවත් නැහැ. මම දැනගත්තෙත් මාධ්‍ය මගින්. මේ සම්බන්ධව තිබෙන විස්තර මට එවන්න. කෙසේ වෙතත් මේ සම්බන්ධව වහා සොයාබලා පරීක්ෂණයක් කරනවා. ප්‍රධාන කාර්යාලය දැනුවත් නොවී මෙවැන්නක් සිදුවන්නේ නැහැ.”
කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඒ ඒ පළාත්වල තිබෙන ඩිපෝ හා ලංගම ආයතනවලට ආරක්ෂක අංශ සේවකයන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙනවා යැයිද ලංගම සභාපති කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් කීය.
ජේ.ඒ.එල්. ජයසිංහ