2020 මාර්තු 14 වන සෙනසුරාදා

නිරෝධායනයට මාන්තිව් දූපත යොදාගන්න - රජයේ වෛද්‍ය නිලධාරී සංගමය

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

I හසිත් අංජන

ශ්‍රී ලංකාවට පැමිණෙන කොරෝනා වැනි වසංගතවලදී රෝගීන් නිරෝධායන කිරීම සඳහා රටේ විවිධ පැතිවලින් එල්ල වී ඇති විරෝධතා හමුවේ මඩකලපුව ආසන්නයේ පිහිටි මාන්තිව් දූපත යොදාගන්නා ලෙස තමන් රජයට නැවත වරක් යෝජනා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය. මෙයට පෙරද තමන් මේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියට කරුණු දැක්වූ බව ඔහු අවධාරණය කළේය.

මාන්තිව් දූපත ලන්දේසි පාලන සමයේ සිට ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බැවින් මේ වනවිට මඩකලපුව රෝහල් අධ්‍යක්ෂකවරයාගේ භාරයේ පවතින දූපත කොරෝනා වැනි වසංගතවලදී ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදාගත හැකි බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ. අක්කර 98කින් යුත් දූපතෙහි මේ වනවිට ලාදුරු රෝගීන් කිහිප දෙනෙකු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනකු සේවයේ යෙදී සිටින බව සඳහන් වේ. එහෙත් එහි ගොඩනැගිලි අබලන් වීම නිසා ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ.

දැනටමත් මාන්තිව් දූපත සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වන නිසා වසංගත රෝග නිරෝධායනය සඳහා ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම පහසු කාර්යයක් බවද හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කීය.