2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

මූල්‍ය අපරාධ කොට්ඨාස ලොක්කා රහස් වමාරයි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 658

විශේෂ වාර්තාකරුවකු විසිනි l

රජයේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර විසින් පසුගිය කාලයේ තමන් විසින් කරන ලද පරීක්ෂණ සම්බන්ධව විශේෂ හෙළිදරව්වක් කර තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ගණනාවක් හමුවේ කරන ලද මෙම හෙළිදරව්වෙන් පසුගිය කාලයේ රජයේ මූල්‍ය අපරාධ කොට්ඨාසය යම් යම් පරීක්ෂණ සම්බන්ධව ගත් පියවරයන්ට හේතු වූ දේශපාලනමය හා වෙනත් බලපෑම් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් කර ඇත.

මෙම බලපෑම් කළ තැනැත්තන්ගේ නම් ගම් සහිතව කර ඇති මෙකී හෙළිදරව්වෙන් පසු ඔහු විදේශ ගතවූ බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. දූෂණ මර්දන කාර්යාංශය ජනාධිපති නීතිඥයකු යටතේ ක්‍රියාත්මක වූ බවත් රජයේ කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු සහ වාමාංශික පක්ෂ නායකයකුද ඊට සහභාගි වූ බවත් මෙහිදී පැවසූ රවි වෛද්‍යාලංකාර මහතා බරපතළ පැමිණිලි රැසක්ම ඉදිරිපත් වූයේ මහින්ද රාජපක්ෂ පවුලට සම්බන්ධව බවද කියා සිටියේය. ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය, සුප්‍රකට මිග් ගනුදෙනුව, ඩුබායි බැංකුවල මුදල් ගිණුම්ගත කර තැබීම ගැන විමර්ශනය කළ නමුත් ඒවා පිළිබඳ කිසිදු සාක්ෂියක් අනාවරණය නොවූ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.