2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

මැකෝ සීමාව ඉක්මවා යනවා - පක්ෂ නායකයෝ

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 638

I දේශපාලන වාර්තාකරු

තමන්ගේ බල සීමාව ඉක්මවා කටයුතු නොකරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියෝය.

පාර්ලිමේන්තුවේ පසුගිය අඟහරුවාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මෙම තීන්දුව ගත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් මැතිසබයේ පක්ෂ නායකයන්ට හා මන්ත්‍රීන් පිරිසකට එවන ලදැයි කියන ලිපියක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය. මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව රටේ අන් සියලු ආයතනවලට වඩා උත්තරීතර බැවින් එය ක්‍රියාකළ යුතු ආකාරය ගැන උපදෙස් දීමට කිසිවකුට නොහැකි බවය. එම අදහස මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන හා ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන්ද අනුමත කර තිබේ. ඒ අනුව තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ ගැන දන්වන බව කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකයන්ට දැන්වීය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මෙලෙස අවවාද කරන්නැයි කී කරුණ ගැන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් (දේශය) විමසූ විට ඔහු මේ ගැන තමන්ට කිසිම අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව (නෝ කමෙන්ට්ස්) පැවසීය.