2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව අැරඹේ

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

I ජේ.ඒ.එල්. ජයසිංහ

සම්බුදු සසුනට එරෙහි අන්තවාදී ආගමික සංවිධාන මෙන්ම මහා සංඝරත්නයට අපහාස උපහාස සිදුකරමින් අවලාද නගන දේශපාලනඥයන් සම්බන්ධයෙන් හා බෞද්ධ සිද්ධස්ථාන සහ පුරාවස්තු විනාශ කිරීම් වැනි ක්‍රියාවන් පිළිබඳව රටපුරා ජනතාව දැනුම්වත් කිරීම අරභයා මහනුවරින් ප්‍රථමවරට ත්‍රෛනිකායික, ජාතික භික්ෂු එකමුතුවක් ආරම්භ කිරීමට මහා සංඝරත්නය පියවර ගෙන තිබේ.

මල්වතු අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා විහාරයන්හි අනුනායක හිමිවරුන්ද අනෙකුත් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේද සාමූහිකත්වයෙන් ආරම්භ කෙරුණු ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ ප්‍රධාන ලේකම් ලෙස යටවත්තේ ධම්මානන්ද, සභාපති ලෙස මාතලේ ධීරසිද්ධි සම සංවිධායක ලෙස පුලියද්දේ සුධම්ම යන හිමිවරු කටයුතු කරති.

නිකාය බේද පක්ෂ බේද ඉවතලා දේශපාලන අන්තවාදයද පිටුදකිමින් පිහිටුවන ලද ත්‍රෛනිකායික භික්ෂු එකමුතුවේ අනුශාසකවරුන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය හිමිවරු මෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරුද කටයුතු කරන බව ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ ප්‍රධාන ලේකම් යටවත්තේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.

රට මුහුණදී තිබෙන ආර්ථික පරිහානිය අන්තවාදී ඉස්ලාම් ආගමික ත්‍රස්තවාදය, බෞද්ධයන්ට හා සිංහල ජනතාවට එල්ල වන විවිධ බලපෑම් මෙන්ම දේශපාලනික වශයෙන් රට අස්ථාවර කිරීමට එල්ල වී තිබෙන විදේශීය බලපෑම් සහ දේශපාලනය පමණක් මූලික කරගෙන රටට ජාතියට එරෙහිව ගෙන එන විවිධ අණ පනත්වලටද එරෙහිව මහා සංඝරත්නයේ නැගිටීම උදෙසා ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව පෙනී සිටින බව එම සංවිධානයේ සම සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියෝ පැවසූහ.