I ජයන්ත සමරකෝන්
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණ නියෝගයකින් අත්හිටුවීමත් සමඟම ඒ සඳහා බඳවා ගනු ලැබූ අලුගෝසුවන් දෙදෙනා බන්ධනාගාර මූලස්ථානයේ කා.කා.ස. රාජකාරියේ යෙදවීමට සිදුවී ඇතැයි එම මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා තීන්දු කළ මොහොතේ සිට පුරප්පාඩුව පැවති එම තනතුරු දෙකට පුද්ගලයන් දෙදෙනකු බඳවා ගැනීමද ලහි ලහියේ සිදුවිය.
එහෙත් මරණ දඬුවම අත්හිටුවා තිබීම හේතුවෙන් අලුගෝසුවන් දෙදෙනාට කළයුතු රාජකාරියක් නොවූ බවද පැවසේ. මේ වනවිට කා.කා.ස. නිල ඇඳුමින් සැරසී සිය රාජකාරියේ යෙදෙන මොවුන් දෙදෙනා මේ දක්වාම කිසිවකුට හෝ හඳුනාගැනීමට නොහැකි වන අයුරින් රහසිගත තත්ත්වයෙන් තබා ගැනීමට මූලස්ථාන බලධාරීන් දැඩි පරිශ්‍රමයක යෙදී සිටින බවද දැනගන්නට තිබේ.
බන්ධනාගාර බුද්ධි අංශයේ දැඩි ආරක්ෂාව යටතේ මොවුන් දෙදෙනාට වැලිකඩ විශෝධන පුහුණු අංශයේ නවාතැන් පහසුකම් සපයා ඇතැයිද වාර්තා වේ.