2019 මැයි 25 වන සෙනසුරාදා

විමර්ශන ඇන හිටලාත් ත්‍රස්තයන්ගේ කළු සල්ලි තොග පිටින් ඇවිත් - ආචාර්ය බන්දුල ගුණවර්ධන

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

I දේශපාලන වාර්තාකරු

ත්‍රස්තවාදයට හා අන්තවාදයට සම්බන්ධ තැනැත්තන්ගේ සැක කටයුතු මූල්‍ය ගනුදෙනු 1022ක් ගැන 2018 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි  ලැබී ඇතත් එයින් විමර්ශනය කර ඇත්තේ 317ක් බවට කරුණු හෙළිදරව්ව ඇතැයි එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (දේශය)ට පැවසීය.

පසුගිය වසර දෙක තුනක් තිස්සේම ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වන කටයුතු විධිමත් ලෙස ඉටු නොකිරීම හේතුවෙන් ආර්ජන්ටිනාවේ පැවති ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවේ දී ශ්‍රී ලංකාව කළු ලේඛනයට (Black list) ඇතුළත් කළ බවද මන්ත්‍රීවරයා කීය.

ත්‍රස්තවාදීන්ට ජාත්‍යන්තරයෙන් හා වෙනත් සැක කටයුතු මූලාශ්‍රවලින් අසීමිත ලෙස මුදල් ලැබීම පාලනය මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයේ වගකීමයි. ඒ නිසා අන්තවාදීන්ට ඉලක්කගත මූල්‍ය සම්බාධක නොපැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ සමාලෝචන කණ්ඩායමේ දෝෂදර්ශනයට ලක්ව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා නිසි ලෙස අදාළ අංශ ක්‍රියා කළේ නම් ත්‍රස්තවාදීන් හා ආගමික අන්තවාදී කොටස්වලට මෙලෙස ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්නට ඉඩ නොලැබෙන වගද පෙන්වා දුන්නේය.