2022 මැයි 22 වන ඉරිදා

වයස 28ක තරුණයාගේ මුහුණ 16ක පෙනුමක්ලු

 2022 මැයි 22 වන ඉරිදා, පෙ.ව. 10:00 349

• කාලයක ඉඳන් නහර ගැටගැහිලා

මම සිවුදරු මවක්. වයස 59යි. උස අඩි පහයි සහ බර කිලෝග්‍රෑම් 72යි. කාලයක සිට මගේ පාදවල නහර ගැටගැසීම් තිබුණා. දැනට මාස කිහිපයක සිට එය තරමක් වර්ධනය වී තිබෙන බව මට දැනෙනවා. මෙය ඉතාමත් අවලස්සන බව හැඟෙනවා. මගේ පාද සාමාන්‍ය තත්ත්වයට පත්කරගන්න වුවමනායි. මෙයට කුමක් කළ හැකිද?

ශිරෝමි - ගම්පහ

උපදෙස:

නහර ගැට ගැසීම කියලා කියන්නේ ලේ ගමන් කරන බාහිර ලේ නහරවල ඇති කපාට අක්‍රීය වීම නිසා රුඳී පැවතීම. ඔබ සිව්දරු මවක් විදිහට හෘද පීඩනය වැඩිවීම නිසාත් නහරවලට ඇති පීඩනය වැඩි වී නහර ගැට ගැසීමේ තත්ත්වය වැඩිවීමේ ඉඩ තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් සිටගෙන සිටීමෙන්ද මෙම නහර ගැට ගැසීමේ තත්ත්වය වර්ධනය විය හැකිය. ඇතැමුන් නහර ගැට ගැසීමට ඖෂධ පානය කිරීමට නියම කළද එය ඖෂධවලින් සනීප කළ නොහැකිය. වේදනාවකට ඖෂධ ලබාදිය හැකිමුත් නහරගැට ගැසීම ඖෂධ ප්‍රතිකාරයෙන් සනීප කළ ‍නොහැකිය. මෙහිදී ඔබ කළයුතු වන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ලබා ගැනීමයි. එහිදී නහරවල කපාට තත්ත්වය බලන්න ස්කෑන් පරික්ෂණයක් සිදුකරනු ඇති. ඉන්පසුව පවතින තත්ත්වය ශල්‍යකර්මයක් මගින්ද එන්නත් මගින්ද එසේත් නැතිනම් ලේසර් ප්‍රතිකාර මගින්ද වඩාත් සුදුසු යැයි ශල්‍ය වෛද්‍යවරයා තීරණය කර අවශ්‍ය කටයුතු සිදුකරයි. ඒ මගින් බොහෝ දුරට මෙය සුව කරගත හැකිය.

• ඇඟ සිහින් වුණත් අත් කකුල් මහතයි

මම 22 හැවිරිදි තරුණියක් වෙමි. මෑත කාලයේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටිමි. මම තරබාරු කෙනෙක් නොවුණත් මාගේ පාද සහ දෙඅත් තරමක් විශාලයි. අත් සහ පාද සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් මහතයි. ඇඟ සිහින් වුණත් අත් සහ පාද මහත්වීම මට ගැටලුවක්. අනෙක් අය මෙන් සාමාන්‍ය සිහින් සිරුරක් ලබාගන්න මටත් ආසයි. මෙයට කුමක් කළ යුතුද? 

සඳරු - වැලිගම 

උපදෙස:

අපි හැමෝම කැමැතියි ශරීරය ලස්සනට තියාගන්න. විවිධ අවස්ථාවලදී ජානමය ලක්ෂණ අනුව ශරීරයේ හැඩය වෙනස් වෙනවා. ඇතැමුන් සිටිනවා ආහාර කොපමණ ගත්තත් මහත් නොවන අය. ඒ වගේම තවත් සමහරු ආහාර සුළු ප්‍රමාණයක් ගත්තත් අධි ස්ථුලතාවට පත්වෙනවා.‍ අත් කකුල් පමණක් මහත අනුපාත වෙනස් වී පිහිටන්න පුළුවන්. ඒවා ජානමය වශයෙන් සහ හෝර්මෝන ක්‍රියාකාරීත්වය අනුව තීරණය වෙයි. අත් කකුල්වල අධික මේදය තැන්පත් වී ඇත්නම් ව්‍යායාම් මගින් එය පාලනය කර ගත හැකිය. අත් එල්ලා වැටෙන තත්ත්වවලදී ප්ලාස්ටික් සැත්කම් මගින් ප්‍රතිකාර කළ හැකි අතර ඔබ තුරුණු වියේ පසුවන්නියක නිසා ඔබ කළ යුතු සුදුසුම දේ යම්කිසි ව්‍යායාම පන්තියකට සහභාගී වී අධිකව මේදය තැන්පත් වී ඇති අත් කකුල්වල ඇති මහත අඩුකර ගැනීමයි.

• මාස් ශුද්ධියේදී වේදනාව උහුලන්න බෑ

36 හැවිරිදි මම එක්දරු මවක් වෙමි. දරුවාට දැන් වසර එකහමාරක්. දරුවා ලැබුණාට පසුව මාස් ශුද්ධිය ආරම්භ වී දැනට මාස හතරක් පමණ වෙනවා. මාස් ශුද්ධියේදී දැන් මට ඉවසන්නට නොහැකි තරමේ වේදනාවක් දැනෙනවා. එම දිනවලදී නිවෙසේ කිසිදු වැඩක්වත් දරුවාගේ වැඩවත් කරගන්නට මට නොහැකි වෙනවා. අධිකව රුධිරය පිටවීමක් තිබෙනවා. දරුවා ලැබෙන්න කලින් මට මේ වගේ අමාරුකම් තිබුණේ නැහැ. මෙසේ වීමට හේතුව කුමක්ද? වේදනාව අඩුකර ගැනීමට කළ හැක්කේ කුමක්ද?

ලසන්ති - පාදුක්ක

උපදෙස:

ඔබ මේ තරම් කාලයක් ප්‍රතිකාර නොගෙන සිටීම පුදුමයට කරුණක්. මෙය සියයට සියයක් සම්පූර්ණයෙන් සනීප කළ හැකි තත්ත්වයක්. ඔබට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඔබට ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙය සම්පූර්ණයෙන් සුව කර ගත හැකිය. මාස් ශුද්ධිය හැදෙන දිනවලදී ලබාගත හැකි ඖෂධ තිබෙනවා. එය දවස් 3-5 ආදී කෙටි කාලයකට ලබාගත හැකි ඖෂධ තිබෙනවා. අධිකව ඔසප් වීම සහ අධික වේදනාව ඇතිවීම වැළැක්වීමට හැකිය. ඒ ප්‍රතිකාරවලින් සුවයක් නොමැති නම් හෝර්මෝන ප්‍රතිකාර ලබාගත හැකිය. හේර්මෝන ප්‍රතිකාර මගින් එය ක්‍රමානුකූලව පාලනය කරගත හැකිය. එහිදීත් ප්‍රතිඵලයක් නොමැති නම් පමණක් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ගර්භාෂයේ පරීක්ෂණ සිදුකර ඒ හරහා නිර්ණය කරගෙන මෙය සම්පූර්ණයෙන් සුවකර ගත හැකිය. මේ තරමට වෛද්‍ය විද්‍යාව දියුණු වී ප්‍රතිකාර ක්‍රම තිබියදීත් ඒ සඳහා ඔබ යොමු නොවීම පුදුමයට කරුණක්.

• රැවුල නැති ලස්සන නළුවෝ කොච්චර ඉන්නවාද?

28 හැවිරිදි මම තවමත් අවිවාහකයි. මට තිබෙන ගැටලුව මුහුණේ සාමාන්‍ය පිරිමියකුගේ මෙන් රුවුල වැවී නොතිබීමයි. මෙය මට මහත් ගැටලුවක්. බොහෝ අවස්ථාවලදී මම මේ නිසා අපහසුතාවට පත්ව තිබෙනවා. ගැහැනු ළමයින්ගෙන් පවා විහිළු තහළුවලට ලක්වෙලා තිබෙනවා. තවමත් වයස අවුරුදු 16ක 17ක ළමයකුගේ මෙන් රුවුලක් තමයි මට තිබෙන්නේ. රුවුල ඉක්මනින් වවා ගැනීමට කළ හැකි ප්‍රතිකර්මයක් තිබේද?

ඕෂධ - කොච්චිකඩේ

උපදෙස:

එකිනෙකාගේ රුවුලේ වර්ධනය වීමේ සාධක බොහොමයක් තිබෙනවා. ආවේණික බව සහ ශරීරයේ පවතින හෝර්මෝන තත්ත්වය අනුවත් එය රැවුල වර්ධනයට බලපායි. රැවුල වැවීම තීරණය වන්නේ ටෙස්ටෙස්ටරෝන් කියන පුරුෂ හෝර්මෝනය මගින්. ඔබ මෙම යොමුකරන ප්‍රශ්නය අනුව එම හෝර්මෝන තත්ත්වයේ අඩුවක් දුර්වලතාවක් තිබේදැයි පරීක්ෂණ සිදුකර බැලීමට හැකිය. එසේ තිබෙනවා නම් හෝර්මෝන ප්‍රතිකාර අපි තාවකාලිකව ලබාදෙනවා. එමගින් මෙය පහසුවෙන් සුවකර ගත හැකිය. රැවුල වැවෙන්නේ නැතිනම් රැවුල නැතිව මුහුණ ලස්සනට තබාගන්න උත්සාහ කරන්න. මේ සම්බන්ධයෙන් අනවශ්‍ය විදිහට දුක් නොවන්න. ගැහැනු ළමයිනුත් ඔබට සිනහා වෙනවා කියා කියා තිබෙනවා. මට ඔබට විමසීමට ඇත්තේ රුවුල නැති ලස්සන නළුවෝ කොච්චර ඉන්නවාද?

• හිසකෙස් වැවෙන්න සාර්ථක ඖෂධයක් තවම සොයාගෙන නෑ

29 හැවිරිදි තරුණියක් වන මගේ හිසකෙස් අධික ලෙස ගැලවී යයි. කුඩා කාලයේදී ඉතාමත් ඝන හිසකෙස් තිබුණත් දැන් ඇත්තේ සිහින් කොන්ඩයකි. නමුත් ඉතාමත් වේගයෙන් හිසකෙස් වර්ධනය වේ. අධික ලෙස හිසකෙස් ගැලවී යාමට ප්‍රතිකාරයක් අවශ්‍යයි. 

කසුනි - කළුතර  

උපදෙස:

කෙස් වැවීමට සාර්ථක ඖෂධයක් ඇත්නම් එම ඖෂධය නිෂ්පාදනය කළ පුද්ගලයාට ලෝකයේ සිටින පළමුවැනි ධනවතා බවට පත්වෙන්න හැකියි. කාන්තාවන්ට එය ඒ තරමටම ප්‍රබල ප්‍රශ්නයකි. සාමාන්‍ය මිනිස් හිසක ගැහැනු පිරිමි භේදයකින් තොරව කෙස් ගස් 100ක් පමණ දිනකදී වැටෙන්නට පුළුවන්. එහෙත් සාමාන්‍ය තත්ත්වයේදී කෙස්ගස් 100ක් පමණ වර්ධනය වෙනවා. අද දිනයේ වර්ධනය වන කෙස් මූලයකින් කෙස් ගහ බාහිරට පැවතිලා කෙස් ගහක් විදිහට පෙන්නුම් කරන්න මාස 6ක් පමණ ගතවෙයි. එය සෙමින් වර්ධනයක් සිදුවන්නේ. හෘදයාබාධයක්, තද උණක්, දරු ප්‍රසූතියකදී ආදී අපේ ශරීරයට ලොකු පීඩනයක් ආවාම වර්ධනය වන කෙස් මූල වර්ධනය නවතී. එහෙත් කෙස් හැලෙන ප්‍රමාණය නොනවත්වා සිදුවෙයි. කෙටිකාලීන අඩුවුවත් යථා තත්ත්වයට පත්වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්ව අඩුවීම සහ වෙනත් හෝර්මෝන ක්‍රියාකාරීත්වය අඩුවීම නිසාත් ‍කෙස් වර්ධනය අඩුවිය හැකියි. එසේ නම් එයට ප්‍රතිකාර කළ හැකිය. මේ සඳහා සුදුසුම දේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හෝ සමේ රෝග වෛද්‍යවරයකු වෙත යොමු වී ප්‍රතිකාර ලබාගන්න. කෙස් වර්ධනය වනවා යැයි කියා අන්තර්ජාලයේ නොයෙකුත් වෙළෙඳ නිෂ්පාදන දැකිය හැකිය. ඒවාගෙන් රෝගියාගේ කෙස් වර්ධනය නොවන අතර නිෂ්පාදකයාගේ ආර්ථික තත්ත්වය වර්ධනය වෙයි. ප්‍රතිඵලදායක නිසි ඖෂධයක් මේ වෙනතෙක් සොයාගෙන නොමැති අතර විටමින් වර්ගවලිනුත් විටමින් ඌනතාවකට විසඳුමක් ලැබෙන මුත් කෙස් වර්ධනයට බල‍නොපායි.
 

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක

විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02

■   සසංක චලන ගිම්හාන

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00