2022 මැයි 08 වන ඉරිදා

ලිංගික එකතුවීමේදී ලොකු වේදනාවක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 477

පුතාගේ උදරය එක්වරම නෙරා ඒම ප්‍රශ්නයක්

මගේ පුතාගේ වයස අවුරුදු 13 යි. පුතා සාමාන්‍යයෙන් ක්‍රියාකාරී දරුවෙක්. නමුත් මෑතක ඉඳලා මට පුතාගේ වෙනසක් දැනෙනවා. පුතාගේ උදරය වෙනදාට වඩා ඉදිරියට නෙරා ඇවිත් තියෙනවා. එයා තරබාරු දරුවකුත් නෙවෙයි. ආහාර රටාවේවත් ගන්න ආහාරවලවත් ප්‍රමාණයේවත් වෙනසක් වුණේ නැහැ. වෙනත් රෝග ලක්ෂණ මොනවත් පෙන්වන්නෙ නැති වුණත් මෙය රෝගී තත්ත්වයක් දැයි මට තරමක බයක් දැනෙනවා. දරුවාගේ   උදරය එක්වරම ඉදිරියට නෙරා ඒම මට ප්‍රශ්නයක්. පුතාගේ මෙම තත්ත්වය සාමාන්‍යද?

නිල්මිණි - පානදුර

උපදෙස 

දරුවාගේ වයසේ හැටියට තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය අඩු වුණාමත් උදරය නෙරා එන්න පුළුවන්. වෙනත් රෝගයක් නොමැතිව උදරය පමණක් නෙරා එනවා නම් අනිවාර්යයෙන් පරික්ෂා කර ගන්න ඕනෑ. මෙයට කළ යුතු සුදුසුම දේ ප්‍රමාද නොකර කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කර ගන්න. එහිදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමෙන් මෙම තත්ත්වය කුමක්දැයි තහවුරු කර ගැනීමට පුළුවන්. මේ ආකාරයට කටයුතු කිරීමෙන් උදරයේ ගෙඩියක් ද, වෙනත් අවයව වර්ධනයක් ද එසේත් නැතිනම් වෙනත් රෝගී තත්ත්වයක්දැයි සැක හැර දැනගන්න හැකිවෙයි.

පාන්දරට අත් හිරිවැටෙනවා

මම වයස අවුරුදු 72ක පස්දරු මවක්. තරමක කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. මෑතක සිට මගේ කන් ඇසීමේ දුර්වලතාවක් තිබෙනවා. මට කන් ඇහෙන්නේ නැහැ කියලා දරුවො තමයි කියන්නේ. ඒ අය සමහර වෙලාවට එකම දේ තුන් හතර වතාවක් කිව්වාමයි මට ඇහෙන්නේ. ඒත් මෙය හැම වෙලාවකම වෙන්නෙ නැහැ. මගේ වම් ඇස නලියන ස්වභාවයක් සහ අත් හිරිවැටෙන ස්වභාවයක් තිබෙනවා. සාමාන්‍යයෙන් දවසකට පස් වතාවක් පමණ ඇස නලියනවා. පෙනීමේ වෙනසක් නැහැ. පාන්දර අවදි වෙන වෙලාවට අත් දෙකම හිරිවැටිලා. මේ නිසා ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කරන්නත් මට අමාරුයි. මෙයට කළ යුතු ප්‍රතිකාර මොනවාද?

ගුණසේකර - නිකවැරටිය

උපදෙස 

ඔබ එවා ඇති ප්‍රශ්නයේ සඳහන් වන ඇස් නලියන තත්ත්වය (myo kyimia) සාමාන්‍ය දෙයක්. එය නිරෝගී අයටත් ඇතිවිය හැකි සාමාන්‍ය තත්ත්වයක් බව පළමුව කිව යුතුයි. පෙනීමේ වෙනසක් නැත්නම් මෙය එතරම් සැලකිය යුතු රෝගී තත්ත්වයක් නොවෙයි. එහෙත් අත හිරිවැටීම පරීක්ෂා කරගත යුතු වෙනවා. ඔබ විස්තර කරන ආකාරයට පැහැදිලි වන්නේ අතට ගමන් කරන ස්නායුව මැණික් කටුව ළඟින් තෙරපුමක් වෙන්න පුළුවන්. එයට කාපටනල් සින්ඩ්‍රෝම් (Carpal tunnel syndrome) යැයි කියයි. කායික රෝග වෛද්‍යවරයකුට මේ තත්ත්වය පරීක්ෂණ කිහිපයක් මගින් අවබෝධ කර ගැනීමට හැකියි. ඉන්පසු ස්නායු ගමනයේ බාධාවක් තිබේ නම් එය සැත්කමක් මගින් සුවකර ගැනීමට හැකිය. මෙය බොහෝ දෙනා නොසලකා හැරියත් කාලයක් යද්දී දැඩි බලපෑම් එල්ල වෙන්නත් පුළුවන්. මේ සඳහා සුදුසුම දේ කායික රෝග වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගත යුතුයි. 

බස් එකේ යද්දි ඔළුව කැරකෙනවා

මගේ වයස අවුරුදු 24 යි. අවිවාහකයි. පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. බසයක යද්දි මගේ ඔළුව කැරකෙනවා වගේ දැනෙනවා. විශාල ගොඩනැගිල්ලක් ඇතුළේ ඉන්නකොටත් ඇතැම්විට මේ තත්ත්වය දැනෙනවා. හිතට බයක් දැනුණාමත් මාව කැරකෙනවා වගේ දැනෙනවා. ගොඩනැගිලි තුළ ලයිට් එළිය බලන්නත් අමාරුයි. වංගු සහිත පාරවල්වල වාහනයකින් යන්න අමාරුයි. බස් එකේ යද්දි ෆෝන් එක දිහා බලාගෙන යන්නත් අමාරුයි. එහෙම අවස්ථාවලදී මම කරන්නේ ඇස් දෙක වහගෙන ඉන්න එක. මේ නිසා මම ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මෙය රෝගී තත්ත්වයක්ද? ප්‍රතිකාර තිබේද?

දිලිනි - සූරියවැව 

උපදෙස 

මිනිසා දෙපාවලින් කෙළින් ඇවිදින තත්ත්වයට පත්වුණාට පසුව ශරීරයේ සමබරතාව පවත්වාගන්න ශරීරයේ කොටස් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. මොළයෙන් ගමන් ගන්නා ස්නායු 12 න් 8 වැනි ස්නායුවෙන් තමයි අපේ සමබරතාව පාලනය කරන්න ක්‍රියාත්මක වෙන්නේ. ඒකට සම්බන්ධ අවයවය තිබෙන්නේ මැද කණේ. ඊට අමතරව කුඩා මොළයෙන් සහ ඇස්වලින් සමබරතාව ලබා දෙනවා. අපේ ශරීරයේ සමබරතාව රැකිලා තිබෙන්නේ මෙවැනි සංකීර්ණ ස්නායු ක්‍රියාකාරීත්වයකින්. මේ මා කී ඕනෑම අංශයක දුර්වලතාවක් නිසා සමබරතාව ගිලිහෙන්න පුළුවන්. බොහෝ දුරට දකින්න ලැබෙන්නේ 8 වැනි ස්නායුවේ මැද කණේ ක්‍රියාකාරීත්වය වෙනස් වුණාම වෙන දුර්වලතාවයි. මෙය ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුවකර ගත හැකියි. උගුර කණ, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීමෙන් මෙය සුව කරගත හැකි තත්ත්වයකි. මෙය ඊට එහා ගිය වෙනත් ගැටලුකාරී තත්ත්වයක් නම් පමණක් සීටී හෝ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාවක් මගින් මෙයට ප්‍රතිකාර ලබාගත හැකිවෙයි. පළමුව උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගන්න.

වේදනාව නිසා ලිංගික ජීවිතය එපාවෙලා

මගේ වයස අවුරුදු 25 යි. විවාහක තරුණියක්. විවාහ වී මාස හතරකට ආසන්න කාලයක් ගත වෙනවා. සැමියා සමඟ ලිංගිකව එකතු වීමේදී අධික වේදනාවක් හටගන්නවා. විඳ දරාගත නොහැකි වේදනාවක් දැනෙනවා. විවාහ වූ දිනයේ සිටම වේදනාවේ වෙනසක් නැහැ. මෙය අපි දෙදෙනාටම ගැටලුවක්. මේ නිසා මට ලිංගික ජීවිතය එපාවෙලා. ලැජ්ජාව නිසා මේ ගැන අපි වැඩිහිටියන්ට කිව්වෙවත් ප්‍රතිකාර ගන්න උත්සාහ කළේවත් නැහැ. මෙයට කළ හැකි විසඳුම කුමක්ද?

තාරුකා - නුවරඑළිය 

උපදෙස 

පළමුව කිව යුතු වන්නේ මේ තරම් කාලයක් බලා සිටීම වරදක්. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් උපදෙස් ගත්තා නම් මෙය සුවකර ගන්න පුළුවන්. ඇතැම් කාන්තාවන්ට තිබෙනවා යෝනි මාර්ගයේ වියළි බවක් (dryness). ඔබට සිදුව තිබෙනවා යැයි සිතෙනුයේ මේ වේදනාව නිසා ඒ ගැන හිතනකොටත් මානසික පීඩනයක් මට්ටමට ඇවිත් තිබෙන බවයි. මෙම වියළි බව නැති කරන්න ප්‍රතිකාර තිබෙනවා. යම් වෛද්‍ය නිර්දේශ මත පමණක් භාවිත කළ යුතු ඖෂධීය ආලේපන තිබෙනවා. ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයෙන් මෙය පහසුවෙන් සුව කරගත හැකියි. හැකි ඉක්මනට නාරිවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.

සුමානයකට වතාවක් බිව්වාට කමක් නැද්ද?

මම වයස අවුරුදු 79 ක් වන කෙනෙක්. ක්ෂය රෝගය වැළඳීමෙන් නියමිත බෙහෙත් මාස 6ක් පාවිච්චි කර දැනට සුවය ලබා සිටිමි. සුමානයට වරක් හෝ මත්පැන් පානය කිරීම අහිතකරද? ක්ෂය රෝගය බෝවෙන්නේ ආසාදිතයන්ගෙන් පමණක්ද? නැත්නම් කෑම බීම වලින්ද? මේ ගැන පැහැදිලි විස්තරයක් මට කියා දෙන්න. 

රණසිංහ - පරගහතොට

උපදෙස 

මත්පැන් ශරීරයට අහිතකරයි. බොහෝ දෙනා මත්පැන් කුඩා ප්‍රමාණය මනින්නේ බෝතලයකින් දෙකකින්. එහෙයින් මත්පැන් පොඩ්ඩක්වත් පානය කිරීම ශරීරයට අහිතකරයි. එය අනුමත කරන්න බෑ. ක්ෂය රෝගය වැළඳී ප්‍රතිකාර ලබාගෙන සිටින අයකු නම් ශරීරය දුර්වල වී තිබිය හැකියි. එය යථා තත්ත්වයට පත්කර ගැනීම වැදගත්. ක්ෂය රෝගය වැළඳුණු බොහෝ දෙනා කෘෂ නැතිනම් කෙට්ටු වෙනවා. රෝගය සුව වුවත් සාමාන්‍ය තත්ත්වයට ශරීරය පත්වීමට කල්ගත වෙනවා. ඒ කාලය ඇතුළත වෙනත් ආසාදනවලට ලක්වීමට ඉඩ තිබෙනවා. එවැනි කෙනකු ශරීරයට අහිතකර දෙයක් ගැනීමෙන් සිදුවන්නේ හානියක්. ඔබ මත්පැන් පානයට යෙදවීමට සිටි මුදල හොඳ සමබර පෝෂ්‍යදායී ප්‍රෝටීන අඩංගු ආහාරවේලක් ලබාගැනීමට යොදවන්න. එය නිරෝගී දිවියකට හිතකරයි.

ඔබේ ප්‍රශ්න යොමු කරන්න

කාලයක ඉඳන් සුව නොවූ සිතට වදදෙන කියාගන්න බැරි සෞඛ්‍ය ප්‍රශ්නයක්ද? ඔබේ ප්‍රශ්නයට විශේෂඥ වෛද්‍ය උපදෙස් නොමිලයේ ලබාදීමට අප සූදානම්. ඔබේ ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයක් අපට එවන්න. පිළිතුරු පළවිය යුතු නමද සඳහන් කරන්න.
සංස්කාරක

විශේෂඥ වෛද්‍ය හමුව 
දොස්තරට කියන්න
දේශය පුවත්පත,
නො: 08,
හුණුපිටිය හරස් පාර,
කොළඹ 02


 සසංක චලන ගිම්හාන