ඡන්ද එන්නේ වසරකින්
කොට්ඨාස ක්‍රමය හඳුන්වාදෙයි
පළාත් 9 ඡන්දය එකවර

මේ වසරේ සැප්තැම්බර් මස නිල කාලය හමාරවන පළාත් සභා තුනක මැතිවරණ වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට නියමිතය. දැනටමත් එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම රජයේ නීති අංශ විසින් ආරම්භ කර තිබේ.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන උපදේශකයන්ගේ උපදෙස් අනුවය. රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් දේශය මේ පිළිබඳව විමසූ කළ ඔහු සඳහන් කළේ පළාත් සභා මැතිවරණ කඩින් කඩ නොපවත්වා සභා 9ට මැතිවරණ එකවර පැවැත්වීම රජයේ අරමුණ බවයි. එසේම පළාත් සභා ඡන්දද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම ගැන රජයේ අවධානය යොමුව ඇතැයි හෙතෙම වැඩිදුරටත් කීය.
නව තීරණය අනුව මේ වසරේ නිල කාලය හමාර වන සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද වසරකින් පමණ කල් දැමේ. එම පළාත් සභා තුනේත් සෙසු පළාත් සභා හයේත් මැතිවරණ ලබන වසරේ අප්‍රේල්වලින් පසු එකවර පවත්වන බවද රජයේ ප්‍රකාශකයා කීය. රජය දැනටමත් පළාත් පාලන මැතිවරණ වසරකට වැඩි කාලයක් තිස්සේ කල් දමා තිබේ. පවත්නා දේශපාලන ව්‍යාකූලතා හේතුවෙන් ප්‍රධාන පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න සමතයට කාලය ලබාගැනීම සහ ජනමතය දිනාගැනීම පිණිස මෙම කල් දැමීම උපයෝගී වන බව රජයේ ආරංචි මාර්ග කියයි.
දේශපාලන වාර්තාකරු |