2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ආණ්ඩුවේ සුද්දයක්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 453

 I ගයාන් ගාල්ලගේ

පිරිසුදු පාලනයක් ගෙනයාමේ අරමුණින් පිහිටවූ යහපාලන ආණ්ඩුව මේ වනවිට අපවිත්‍ර වී ඇති බැවින් ආණ්ඩුව ඉකිමණින් සුද්ද කොට පිරිසුදු පාලනයක් ඇති කරන බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප. සමස්ත ලංකා කාරකා සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් අපිරිසුදු පාලන තන්ත්‍රයක සිට එළියට ආවේ පිරිසුදු ආණ්ඩුවක් ඇති කිරීමට බව පැවසූ ජනාධිපතිවරයා කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුව අපවිත්‍ර වීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කළේය. එබැවින් කවුරුන් කුමක් කීවත් කුමන අභියෝග පැමිණියත් ආණ්ඩුව සුද්දකොට පිරිසුදු පාලනයක් පිහිටුවීමට තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් කීය. ඒ සඳහා බලය සහ වරම ඇත්තේ තමන්ට බවත් ඕනෑම මොහොතක අවශ්‍ය වෙනස්කම් කිරීමට තමන් පසුබට නොවන බවත් ජනාධිපතිවරයා දැඩිම අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ආණ්ඩුවේ ප්‍රබල වෙනස්කම් ගණනාවක් ඉදිරියේ සිදුවිය හැකි බවයි. අමාත්‍යධුර ගණනාවක සංශෝධන අපේක්ෂා කළහැකි බවත් ඔහු පැවසීය.