2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

හාරසියයේ බෙහෙත් හාරදාහට අරන්

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 138

 කූඨ මිලදී ගැනීම් 286ක් 

ගයාන් ගාල්ලගේ I

2019 සිට 2022 අතර කාලය තුළ රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4000කට පමණ බව වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු අනුකමිටුවට අනාවරණය වී තිබේ.

මෙලෙස එම කාලය තුළ හදිසි මිලදී ගැනීම් 286ක් සිදුවී ඇති අතර ඒ සියල්ලම දූෂිත ගනුදෙනු බවට වාර්තා වී තිබේ. එම හදිසි මිලදී ගැනීම් කොරෝනා සමයෙන් පසුව සිදුවී තිබීමද විශේෂත්වයක් බව එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පැවසීය.

රුපියල් 400ක් පමණ වටිනා ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 1950 සිට 4000 දක්වා මිල ගණන් යටතේ විවිධ මිල ගණන්වලට විටින් විට මිලදී ගෙන ඇති බවට මෙහිදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ කාලයකදී ප්‍රතික්ෂේප කළ ව්‍යාපෘති සඳහා පසු කලෙකදී අනුමැතිය ලැබී ඇති බවත් එම ව්‍යපෘති සඳහා ඩොලර් මිලයන ගණනින් වැය කර ඇතත් කිසිදු සෙතක් සිදුවී නොමැති බවත්ය.

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව වාර්ෂිකව ටෙන්ඩර් 10000 කට (දස දහසකට) ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඉන් බහුතර ගනුදෙනු ප්‍රමාණයක් දූෂිත බවත් එම කමිටුවේදී හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් සකසන ලද පූර්ණ වාර්තාවක් මෙම අනුකමිටුව පත් කළ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ලබාදීමට නියමිතව ඇත.