
රජයේ පැවැත්ම පිළිබඳ පෙරැළිකාර තීන්දු රැසක් ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් ගණනාවකගේ සහභාගීත්වයෙන් අතිශය රහසිගත සාකච්ඡාවක් පසුගිය බදාදා රාත්‍රී පවත්වා තිබේ.
එ.ජ.නි.ස. මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කොළඹ නිල නිවසේ එදින රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 4ක් ඉතා රහසිගතව පවත්වා ඇති සාකච්ඡාව සිදුකෙරෙන අවස්ථාවේ ආරක්ෂක අංශ සාමාජිකයන් පවා එම ස්ථානයෙන් ඉවත්කර තිබිණි.
ජනාධිපතිවරයාට අමතරව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රීල.නි.ප. මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු ඇමැතිවරැන් 5 දෙනෙක් පමණ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එ.ජා.ප.ය හා ශ්‍රීල.නි.ප.ය අතර සම්මුතිවාදී ආණ්ඩුව සඳහා ඇතිකරගත් ගිවිසුම සම්බන්ධව බරපතළ ප්‍රකාශ ගණනාවක් මෙහිදී සිදුව ඇතැයි කියැවේ. ඇමැති මණ්ඩල සංශෝධනයෙන් ඇමැතිවරැන්ට විෂයයන් සහ ආයතන පැවරීමේදී ජනාධිපතිවරයා සතු බලතල උපයෝගී කරගත යුතු යැයි එහිදී සාකච්ඡා වී තිබේ. ඒ අනුව ඉදිරි කාලයේ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ තවත් ආයතන ගණනාවක් පවත්නා අමාත්‍යංශ විෂය පථයන්ගෙන් ඉවත් කෙරෙනු ඇතැයි සඳහන්ය. මේවා පෙරළිකාර වෙනස්කම් බවද කියැවේ.
පළාත් පාලන ඡන්දය ඉදිරි මාස තුන තුළ පැවැත්වීම, පළාත් සභා ඡන්දයද කොට්ඨාස ක්‍රමයට තැබීම සහ තවදුරටත් අනාවරණය නොවූ රාජ්‍ය පාලනයට අදාළ වැදගත් තීන්දු ගණනාවක්ද මෙම රැස්වීමේදී ගෙන තිබේ.
I දේශපාලන වාර්තාකරු