වඩා හොඳ භාගය (Better half) කියන සංකල්පයෙන් අදහස් වන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ බිරිඳ ස්වාමියා හෝ වෙනත් වචනයකින් කිවහොත් සහකරු හෝ සහකාරිය හඳුන්වන වචනයක්. නිර්වචනය කරන්න අපහසු මානවීය හැඟීම් මේ ලෝකයේ තියෙනවා. කොන්දේසි විරහිතව ඇතිවෙන බැඳීම් මේ ලෝකයේ තියෙනවා. ආදරය කියන්නෙ එහෙම බැඳීමක්. කොන්දේසි සහගත ආදරයට පැවැත්ම අඩු වන අතර කොන්දේසි විරහිත ආදරයට පැවැත්මක් තියෙනවා. කොන්දේසි සහගත ආදරය කියන්නෙ මොකක්ද? සරලව කිවහොත් කොන්දේසි විරහිත ආදරය කියන්නෙ නූල් බැඳීමකින් තොර ආදරයක්. රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කිරීමක් පමණක් කොන්දේසි විරහිත ආදරය තුළ නොපවතී. රන්කෙන්දෙන් බැඳ ඇතැඟිලි එක් කළත් ආදරය කොන්දේසි සහගත නම් එතැන පැවැත්මක් නොමැත. එක විවාහයෙන් පසුව දෙදෙනා එක වහළක් යට ජීවත් වුවත් එම සම්බන්ධතාව තුළ ආදරයක් නොපවතී.
කොන්දේසි විරහිත ආදරය යනු ඔබ තවත් කෙනෙකුට නිදහසේ පිරිනමන ආදරයකි. යමෙකු ඔබ වෙනුවෙන් කරන දේ මත ඔබ එම ආදරය පදනම් නොකරයි. කොන්දේසි විරහිත ආදරය තුළ ඔබ සරලවම ඔහුට හෝ ඇයට ආදරය කරන අතර ඔහුගේ හෝ ඇයගේ සතුටට වඩා වැඩි යමක් ආදරවන්තයෙකු වශයෙන් ඔබට අවශ්‍ය නොවේ. මෙම ආකාරයේ ආදරය, සමහර විට දයානුකම්පිත හෝ අගාපේ (Agape) ආදරය ලෙස හඳුන්වන්න පුළුවන. අගාපේ (Agape) ආදරය යනු පරාර්ථකාමී ආදරයකි. මෙම හවුල්කරුවන් ආපසු කිසිවක් අපේක්ෂා නොකර තමන්ම ලබා දෙනවා. මෙවැනි පෙම්වතුන් සහකරුගේ සතුට තම සතුටට වඩා ඉහළින් තබනවා. සහකරුට යහපතක් කිරීම සඳහා ආත්ම පරිත්‍යාගශීලී වෙනවා.
කාල් යුංග් කියන මනෝවිද්‍යාඥයා ජීවන සහකරු හෝ සහකාරීය සම්බන්ධයෙන් වඩාත් ඔබිනා අදහසක් ඉදිරිපත් කර ඇත. ඒ කියන්නේ ඇනීම ඇනිමුස් යන සංකල්ප දෙකය. කාල් ජුංග් යනු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ශිෂ්‍යයෙකි. විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව යටතේ සාමූහික අවිඥානය යන සංකල්පය කාල් ජුංග් ඉදිරිපත් කර ඇත. මෙය සමස්තයක් ලෙස මානව වර්ගයාටම පොදු තත්ත්වයකි. සාමූහික අවිඥානය කියන වචනය කාල් යුංග් නම් මනෝවිද්‍යාඥයා භාවිත කළේය. ඒ අවිඥානයේ ස්වරෑපය පැහැදිලි කරන්නටය. මතක සහ ආවේගයන් අඩංගු මනසෙහි කොටස වන මෙය පරම්පරානුගතව උරුම වන බව කාල් යුංග් පවසයි. සාමූහික අවිඥානය තුළ ඇනිමා සහ ඇනිමස් යන අංශයක් ගැන මොහු පෙන්වා දෙයි. ඇනිමා යනු පුරුෂයෙකුගේ අවිඥානික කාන්තා පැත්ත. ඇනිමස් කියන්නෙ ස්ත්‍රියකගේ අවිඥානික පුරුෂ පැත්ත ලෙසත් පවසයි. සමාන මෙම පාර්ශ්ව දෙක එකට මුණ ගැහුනම දෙදෙනෙක් සම්පූර්ණ වන බව කාල් යුංග් දක්වා ඇත. තමාට ගැලපෙන ජීවන සහකරු හෝ සහකාරිය හමුවුණා කියන්නෙ එවිටයි.
ජීවිතය කියන්නෙ ආවෙ කොහෙ ඉඳන්ද යන්නෙ කොහාටද නොදන්න ගමනක්. ජීවත්වීම කියන්නෙ ඒ අවිනිශ්චිතය නිශ්චිතයන්ගෙන් පුරවන්න දරණ වෑයමක්. ඒ වෑයමේදී දැනෙන වෙහෙස සංසිඳුවා ගන්න, ජීවිතය ස්නේහයෙන් බෙදාගන්න, ජීවිතය මහා වෙහෙසකර විදිහට දැනෙන මොහොතක මහන්සිය නිවාගන්න අපි හොයනවා තමන්ගෙම කියලා දැනෙන හදවතක්. ආත්මීය ස්නේහයක් තමන්ගෙම ජීවිතයේ කොටසක් ලෙස දැනෙන කොන්දේසි විරහිත බැඳීමක් කොන්දේසි විරහිත ආදරයක් කියලා කියන්න පුළුවන්. එහෙම බැඳීමක් ආදරයක් හමුවුන තැන දැනෙනවා ජීවිතයේ තමාට තමාගේම කොටසක් වගේ කෙනෙක් හමුවුණා කියලා. එහෙම බැඳීම් හරිම සුන්දරයි. “Better half” කියන්නෙ ඒ ආදරණීය පංගුකාරකමට. හැම කෙනෙකුටම එහෙම ආදරයක් පංගුකාරකමක් ජීවිතයේ ලැබෙන්නෙ නැහැ.
එහෙම ලැබෙන ආදරය පරිස්සම් කරගන්න එකත් අසීරු කාරණයක්. යම් යම් නොගැලපීම් තිබෙන්නට පුළුවන්. ඒවා ගලපගන්න එම දෙදෙනා කටයුතු කිරීම වැදගත්. බොහෝ අවස්ථාවල ඇතිවන්නේ මත ගැටුම්. මත ගැටුම් විසඳාගන්න දෙදෙනා අතර සංනිවේදනය ඉතා වැදගත් වෙනවා. අදහස්, ආකල්ප, විශ්වාසයන්, චින්තනයන් පදනම් කරගෙන මත ගැටුම් ඇති වුණාම පළමුව ඇනහිටින්නෙ සංනිවේදනය. මෙවැනි ගැටුම් වළක්වන්නට සංනිවේදනය ඉතා වැදගත් වෙනවා. එවිට ජීවිතය ආදරයෙන්, සාමයෙන්, සමගියෙන් ගත කරන්න අවස්ථාව ලැබෙනවා.
තමාට ලැබෙන ආදරයකට වටිනාකම් පිරිනමන්නෙ කොහොම ද කියලත් දැනගැනීම වැදගත් වෙනවා. නන්දා මාලිනී ගයන ගීතයක් තියෙනවා “දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ප්‍රියයාණෙනි ඔබ සුරකිම් බැතින්” කියලා. දෙදෙනා සිතිය යුත්තේ තමාගේ සහකරු හෝ සහකාරිය දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසිනි. දෙදෙනා විසින්ම දෙදෙනාට වටිනාකමක් ලබාදිය යුතුයි. ආදරය ලැබීමට නම් ආදරය කළ යුතුය. තමාට ආදරය ලැබෙන්නේ තමා ආදරය කරන තරමටය. තමා ආදරය නොකර ආදරයක් අපේක්ෂා කිරීම අසාර්ථක බලාපොරොත්තුවකි. මට දුන්නෙ මට දෙන්නෙ මෙච්චරයි.. ඒ නිසා මම දෙන්නෙත් මෙච්චරයි කියලා හිතන්න එපා. දෙන දෙයක් යළි කිසිත් නොඉල්ලමින් දානයක් සේ දිය හැකි නම් ඒ තමයි වටිනාකම. ඒ තැනට හිත ගේන්න අමාරුයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් කොන්දේසි විරහිතව මනුෂ්‍යත්වය, ආදරය ඔබට දැනුණු දවසක ඔබට හිතෙයි එහෙම බැඳීමක් වෙනුවෙන් දෙන්න බැරි දෙයක් නෑ කියලා.
ජීවිතය කියන්නෙ භෞතික සාධක, භෞතික ඉලක්ක විතරක් නෙවෙයි. ආධ්‍යාත්මික වටිනාකම් ඒ භෞතික ඉලක්ක සමඟ සමපාත කරගන්න ඔබ කටයුතු කිරීම වැදගත්. හුස්ම වැටෙන නිසා ජිවත් නොවී, හුස්මක් වැටෙන බව දැනෙන්න ජීවත් වෙන්න. ජීවිතය ට හොඳ ම පංගුවක් ලැබුණු කෙනෙක්ට මම මේ කියන ජීවිතය හොඳින් දැනිලා ඇති ගෞරවය, ඇගයීම, විශ්වාසය එක්ක ඒ ආදරයට වටිනාකම් දීම වැදගත්. නොහිතන ප්‍රශ්න අවදානම් ජීවිතයට එන්න පුළුවන්. ආවදෙන්... ඒත් ඒ ආදරයත් එක්ක ජීවිතය ගැටගහගන්න. දෙන්නෙක් දෙන්නෙක් විය යුතු තැන දෙන්නෙක් වෙන්න. එක් කෙනෙක් විය යුතු තැන එක්කෙනෙක් වෙන්න.
සඳඑළිය කියන්නෙ සොබාදහම නිර්මාණය කළ නොකිළිටිම නිර්මලම දායාදයක්. කෙනෙක් ගේ ජීවිතය මත සඳ එළියක් සේ පායන්න පුළුවන් නම්. ඔබ මෙතෙන්දි ඔබට ලැබෙන දේ නෙවෙයි ඔබ දෙන දේ ගැන හිතන්න. කෘතවේදීත්වය දන්න කෙනෙක් නම් අර මම කලින් කියපු දෙවියන් විසින් දුන් පඬුරක් ලෙසින් ගීතයෙන් කියන තැනට මනස වෙනස් කරගන් පුළුවන්. ආදරයෙදි වදයක් වෙන්න එපා උදව්වක් වෙන්න. ගරහන්න එපා අගයන්න. විශ්වාසය ඉල්ලන්න එපා ඔබ විශ්වාසය රකින්න. දෙදෙනෙකුගේ ආදරයට බාධා එල්ලවිය හැකි ප්‍රබල හේතුවක් වශයෙන් විශ්වාසය පෙන්වාදෙන්න පුළුවන්. විශ්වාසය තිබෙන තැන සාර්ථක බැඳීමක් පවතින අතර විශ්වාසය කඩ වූ කල පිළියම් කිරීම අසීරුය. පුන්සිරි සොයිසා ගායනා කරන ගීතයක් තියෙනවා. “බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්...” කියලා. මේකෙන් ප්‍රකාශ වන්නෙ සිතක් බිඳුණු කල කොතෙක් කළත් ඔසු ඵලක් නොවන බවයි.
ඔබ සෑම විටම පුරුදු වෙන්න, ගැඹුරින් අනෙක් කෙනාව කියවන්න. එවිට දුර්වලකම් අඩුපාඩු හමුවෙයි. ඒත් ඉවසන්න පුළුවන් තැන ඉවසන්න. දරාගන්න පුළුවන් තැන දරාගන්න. කඳුළත් හිනාවෙන් දරාගෙන හිනාවෙන්න. එවිට ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා.
අපේ මහාචාර්යවරයෙක් පහුගිය දිනෙක අවසන් ගමන් ගියා. (මහාචාර්ය දයා එදිරිසිංහ) මෘත දේහය දවන්නට ආදාහනාගාරය ඇතුළට දාලා හැමෝම හැරිලා යනකොට, එකපාරටම හයියෙන් දොර වැහුවා. සර්ගෙ නෝනා ආපහු හැරිලා දොර දිහා බැලුවා. මම දැක්කා ඒ සිදුවීම. එතකොට මට ක්‍රිශාන්ත එරන්දක ගායනා කරන සින්දුවක් මතක් වුණා.
“අවසන් හුස්ම ගිලිෙහන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න.... ඒ තමයි ඒ ගීතය
සර් තමා සර්ගෙ නෝනගෙ බල කණුව. දැන් ඇය මේ ජීවන ගමන තනිව යායුතුය. මෙය පෙම්වතුන්ට, විවාහක යුවලකට යම් දිනක අත්විඳීමට සිදුවන තත්ත්වයක්. දෙදෙනාගෙන් දුක විඳින්නට සිදුවන්නේ ඉතිරි වූ පුද්ගලයාටය. මෙය ජීවිතයේ යථාර්ථය පසක් කරන ගීතයකි. මම මෙය වාරගණනක් ඇසුවෙමි. මාගේ ආදරණීය බිරිඳද කාමරයේ සිට වාර ගණනක් මෙය අසනු මට ඇසිණ. මා කලින් ගියොත් ඉදිරි ජීවන ගමන ඇය තනිව යායුතුය. ඇය කලින් ගියොත් ඉදිරි ජීවන ගමන මා තනිව යායුතුය. ජීවිතයේ යථාර්ථය මෙයයි. ජීවිතයේ යථාර්ථය පිළිබඳ අවබෝධයකින් ජීවන ගමන ගලා යන්නේ නම් එය ජීවිතය පහසු කරවයි.