| දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර අතිශය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශයට වාර්තා වෙයි.
පසුගිය බදාදා පෙරවරැවේ මෙම හමුව සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පවත්වා ඇත්තේ මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා නිරෝධායනය වන කොළඹ ෂැංග්‍රිල්ලා හෝටල් පරිශ්‍රයේය.
හමුව සඳහා සහභාගී වී ඇත්තේ බැසිල්-විමල් දෙදෙනා පමණි. අප වෙත ලැබුණ ආරංචි මාර්ග අනුව විමල්ට සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවද කියැවේ.
පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී මන්ත්‍රීන් හා විමල් හිතවාදීන් අතර පැවති දේශපාලන අරගලය නිමාකර පෙර මෙන් සමගියෙන් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම මෙම හමුවේදී සැකසුණු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව විමල් හිතවාදී කණ්ඩායමේ මතයද මෙහිදී බැසිල් විමසා ඇතැයි සඳහන්ය. ඒ ගැන තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු විරෝධයක් හෝ අහිතක් නැතැයි විමල් එහිදී කියා තිබේ.
පැය දෙකකට ආසන්න කාලයක් මෙම බැසිල්-විමල් හමුව පැවැත්විණි. විමල් සමඟ සාකච්ඡා කළ ආකාරයට උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟද සාකච්ඡා කරන බව බැසිල් රාජපක්ෂ මහතා විමල් අමාත්‍යවරයාට අවසානයේ දැනුම් දී තිබේ. එසේම උදය ගම්මන්පිල මහතාගේ විශ්වාසභංගය පරාජය කිරීමට එකඟතාවක් ඇතිවූ බවද සඳහන් වෙයි.
මෙම අතිශය රහසිගත හමුව අවසානයේ ඔවුන් දෙදෙනා විශේෂ තීන්දුවකට එළැඹිණි. යම් හෙයකින් මෙම රහස් හමුව ගැන මාධ්‍ය වාර්තා පළවුවහොත් බැසිල් විමල් දෙපාර්ශ්වයම එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන්න ඔවුන් එළඹුණු පොදු තීන්දුවයි.
මෙම හමුවෙන් පසු බැසිල් හිතවාදීන් හා විමල් හිතවාදීන් අතර පසුගිය කාලය පුරා හටගෙන තිබූ අතිශය බරපතළ මාධ්‍ය යුද්ධය හමාර වනු ඇතැයිද වාර්තා වෙයි.