2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ඇමැති දෙදෙනකුගේ තටු කැපේ

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1128

විදුලිබල සහ පුනර්ජනනීය ඇමැතිවරයාත් ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයාත් විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන බලතල සුපිරි බලශක්ති කමිටුවකට පවරාදීමට විශේෂ පනතක් ගෙන ඒම ගැන අදාළ අමාත්‍යංශවලින් විරෝධය එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළකරමින් විදුලිබල ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයාට ලිඛිතවම පැමිණිල්ලක් කළ බව එම සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා දේශයට පැවසීය.

විදුලි ඉංජිනේරු සංගමය පවසන පරිදි නව විදුලි බලාගාරවලට බලපත්‍ර දීම, පිටින් විදුලිය මිලදී ගැනීමේදී අදාළ මිල ගණන් තීරණය කිරීම, විදුලිය මීටර් පෞද්ගලික අංශයෙන් මිලට ගැනීම, ඛනිජ තෙල් සැපයුම් මිල තීන්දු කිරීම ආදිය විෂයභාර අමාත්‍යංශවලින් ඉවත්කොට යෝජිත බලශක්ති කමිටුවට පැවරේ.

දිගු කලක් තිස්සේ අත්දැකීම් බහුල විදුලි ඉංජිනේරුවන් විසින් සිදු කළ විදුලි ජනන සැලැසුම් සෑදීමද බාහිර නිලධාරීන්ගෙන් යුත් කමිටුවකට පවරා ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මෙතෙක් බලශක්ති මිල ගණන් තීන්දු කිරීමට මහජන උපයෝගිතා කොමිසම සතු වූ බලතලද නව පනතින් අහිමි කෙරෙන බව කියන එම සංගමය නව පනත මගින් මේ සියලු කටයුතු දේශපාලනීකරණයට ලක්කර ඇතැයි චෝදනා කරයි.

මෙයට වහා මැදිහත්ව ප්‍රශ්නය විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන විදුලි ඉංජිනේරු සංගමය රජය අදාළ පනත් කෙටුම්පත ඉවත්කර නොගතහොත් බරපතළ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව දැනුම් දී තිබේ.

l දේශපාලන වාර්තාකරු