2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මරණයේ සහ මඟුලේ ගෙවී යන ජාතික දේශපාලනය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

මේ රටේ මහපුටුවේ වාඩිවෙලා ඉන්න කෙනාගේ ඉඳලා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා දක්වාම සියලු දේශපාලකයන් පත්වෙන්නේ මැතිවරණයකින් ලබාගන්න මහජන ජන්දය මත. ඒ සියලුම දෙනා වගකීමෙන් බැඳෙන්නේ මහජනතාවට. ඒ බැඳීම තියෙන්නේ මහජනතාවගේ පොදු සුබසිද්ධිය උදෙසා මිසක් පෞද්ගලික හිතවත්කම් උදෙසා නෙමෙයි.

සාමාන්‍යයෙන් ලංකාවේ ජාතික දේශපාලනයේ ජනාධිපති, අගමැති, මැති ඇමති සියල්ලගේම දවසේ වැඩි කොටසක් ගෙවෙන්නේ විවිධ උත්සවවලට සහභාගී වෙමින්.  ඒවායෙන් බහුතරයක් පෞද්ගලික ප‍්‍රිය සම්භාෂණ. එහෙමත් නැත්නම් මළ ගෙවල්.

ජනාධිපතිතුමාගේ දෛනික රාජකාරිවලින් බොහෝමයක් පාසල්වල තෑගි බෙදාදීම්, පන්සල්වල බුදු මැදුරු විවෘත කිරීම් වගේ දේවල් වෙනකොට අගමැතිවරයගේ දෛනික රාජකාරිවලින් බහුතරය පක්ෂයේ ගැටලු පිළිබඳ සාකච්ජා. කැබිනට් ඇමතිවරැ සහ මන්ත‍්‍රීවරු ගත්තත් ඒ සියල්ලන්ටම මළගෙවල්, මගුල් ගෙවල් සහ දාන සීල භාවනා වැඩසටහන් ගොඩයි. ඇත්තටම අපේ ජාතික දේශපාලනය මෙහෙම දියවෙලා යන්න ඕනද?

දේශපාලකයෙක්ගේ කාර්යභාරය
ප‍්‍රාදේශීය සහ පළාත් දේශපාලනය තුළ නම් සාපේක්ෂව කුඩා වපසරියක තමන්ගේ පාක්ෂිකයින් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලලා, මරණයේදී මඟුලෙඳී ළඟින් ඉන්න එක දේශපාලකයෙකුගේ යුතුකමක්. ඒක තරමක් දුරට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒත් ජාතික දේශපාලනයේදී දේශපාලකයෝ මහජනතාවගේ සහ විවිධ ආගමික නිකායන්වල පෞද්ගලික ජීවිතවල කොටස් කාරයෝ නොවිය යුතුයි යන්න තමයි ලෝකයේ පිළිගත් මතය.

ජාතික දේශපාලනයේ ප‍්‍රතිපත්ති සම්පාදනයේ නියැලිලා ඉන්න පිරිස පොත්පත් කියවිය යුතුයි. විද්වත් සංවාදවල නියැලිය යුතුයි. උපායමාර්ගික සැලසුම් සකස් කළ යුතුයි. ලෝකයේ නව ප‍්‍රවණතා පිළිබඳ සොයා බැලිය යුතුයි. පහළ තලයෙන් ඉහළට එන ජනතා ගැටලු පිළිබඳව සොයාබලා නවීන විසඳුම් සැපයිය යුතුයි.

මළගෙවල් තුනයි, පොත් බෙදාදීම් එකයි, පන්සලේ බුදු පිළිම නිරාවරණයයි, කෝවිලේ පූජාවයි ගැන හිතන්න ගියහම පෙර කියපු දේශපාලකයාගේ කාර්යභාරය කියන එක නිකම්ම මඟහැරෙන එක අහන්නත් දෙයක්ද?

ජනතාවගේ වගකීම
දේශපාලකයෙක් තමන්ගේ මඟුලට ගෙන්න ගන්න එක එයාගෙන් රටේ ප‍්‍රශ්න ටික විසඳගන්නවට වඩා අපේ මිනිස්සුන්ට වැදගත් නම් ඒක එතනින් එහාට කතාකරලා වැඩක් නෑනේ? “ඔය ඇමතියා අපේ අම්මගේ මරණෙට ආවේ නෑ” ආයෙන් නම් ඌට ඡන්දේ දෙන්නේ නෑ. ඉඳලා හිටලා හරි අපිට ඔහොම කතා අහන්න වෙනවා. ඉතින් එහෙම හිතන සමාජයක දේශපාලකයෝ රැයක් දවාලක් නැතුව මඟුල් සහ මරණ හොය හොයා ආසනේ වටේ දුවන එක සාධාරණයි.

අපේ පරම්පරාවේ වගකීම
කලින් කලට පැවැත්වෙන මහජන ඡන්දයෙන් තේරී පත්වෙන ජාතික දේශපාලනයේ ඉන්න චරිතවලින් පෞද්ගලික හිත්වත්කම් බලාපොරොත්තු නොවී ජාතික වශයෙන් එයා එයාගේ වගකීම ඉෂ්ඨ කරනවද නැද්ද කියන එක ගැන විතරක් සැලකිළිමත් වෙනවනම් අපිට පුළුවන් වෙයි මේ ක‍්‍රමය වෙනස් කරගන්න.

මේ රට යන රටාව වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරගත්තොත් විතරමයි. ඒ නිසා අපි වෙනස් වෙමු. එතකොට රට වෙනස් වෙයි.