2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ආණ්ඩුවේ නොනවතින අර්බුද සහ රටේ අනාගතය

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 78

ශ‍්‍රී ලංකාව බරපතළ දේශපාලනික, ආර්ථික සහ සමාජීය අර්බුදයන් රැසකට මුහුණ දී සිටින බවත් ඒ සඳහා මුහුණ දීමට නොහැකි තරම් ජරාජීර්ණ පාලන තන්ත‍්‍රයක් රටේ පවතින බවත් අප සමාජය තුළ විශේෂයෙන් කතාබහට ලක්වූයේ 2014  වසරේදීය. 2010 වන තෙක්ම යුද්ධය සහ ඉන්පසු රාජපක්ෂ කේන්ද්‍රීය පාලනයක් උදෙසා සිත් පහදවාගෙන සිටි සමාජයක් 2010 වසරේ සිට 2014 දක්වා කාලය තුළදී ආකල්පමය වශයෙන් සිදුකර ගනු ලැබූ වෙනස මහපොළව මත දේශපාලනික “වෙනස” උදෙසා  හේතු විය. එම කාලය තුළ පෙරකී ආකල්පමය වෙනස උදෙසා බලපෑ ප‍්‍රධානම කරුණ නම් රට මුහුණ දී සිටි අර්බුදයන්ය.

ලොව සමෘද්ධිමත්ම රාජ්‍ය සේම, ලොව දිළිඳුම රාජ්‍ය ද  අර්බුදවලට මුහුණ දී සිටියි. අර්බුදයන් යනු පාලනයේ පදනම වන අතර අර්බුද රහිත වූ තැන පාලනයක් අවැසි නැත. නමුත් සමාජයක පවතින අර්බුද ඒ සමාජයේ මිනිසුන්ට රෙදි ඇඳගෙන විලි ලජ්ජාවක් සිදුවීමෙන් තොරව විසඳුම් සෙවිය හැකි වියයුතු ඒවා විය යුතු සේම කලින් කලට එම අර්බුදයන්ගේ ස්වභාවයන් වෙනස් විය යුතුය. අර්බුදය අවසානයේ මහජනතාවගේ ජීවන මට්ටම් උසස් විය යුතුය.

රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගුණු සමාජ ප‍්‍රතිසංස්කරණවාදී ජනබලවේගය අවසානයේදී එදා මෙදාතුර මානව නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුක‍්‍රම සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණ යන විෂයන් සම්බන්ධයෙන් ආණ්ඩුවකට හිමිවිය හැකි  ශුද්ධවූම ජනවරම රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවට ලබාදීමට සමත් විය. මහින්ද පරාද වී මෛත‍්‍රී ජයග‍්‍රහණය කිරීම හුදු පුද්ගල බල හුවමාරුවක් බවට පත් නොවී සමාජයේ බහුතරයකගේ සිතීම් රටාව වෙනස් වූ  අවස්ථාවක් ලෙස සැලකිය හැක.

එතරම්ම පිරිසිදු/පැහැදිලි ජනතාවාදී ජනවරමක් සහිතව බලයට පත්වූ ආණ්ඩුවකට  මෙතරම්  අපිරිසිදු/අපැහැදිලි දේශපාලන ගමනක් යා හැකිද? ආණ්ඩුවට රට මුහුණ දී තිබෙන අර්බුද ගැන නිවැරදි දැනීමක් හෝ තැකීමක් නැද්ද? යන ප‍්‍රශ්න සබුද්ධික පුරවැසියන්ට ඇතිවීම නොවැළැක්විය හැකිය. ආණ්ඩුවට ඒ ප‍්‍රශ්නවලට පිළිතුරක් තිබේද?

ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය

ආරම්භයේදී ඉතා දැකුම්කළු වූ රනිල්-මෛත‍්‍රී ප‍්‍රතිසංස්කරණවාදී නවීන දේශපාලන දීගය වසර තුනක් අවසානයේදී ඉතා දරුණු කඩාවැටීමකට ලක්ව ඇති අතර එම දීගයට එරෙහිව ඊට සම්බන්ධිත පාර්ශව තුළින්ම සමාජ වෛරයක් නිර්මාණය වෙමින් පවතී.

ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩල සාමාජිකයෝ “කැබිනට් සාමුහික වගකීම” සහ එකිනෙකා අතර ශක්තිමත් සන්නිවේදනය සහසම්බන්ධතාවය යන වෙස්ට්මිනිස්ටර් පාලන සම්ප‍්‍රදායන් අමු අමුවේ මහ සභා මැද කඩා දමමින් එකිනෙකා කෙරෙහි කිසිදු ගෞරවයක් සහ අවනතියක් නැති ගොපල්ලා මියගිය හරක් රැළක් ලෙස හැසිරෙමින් සිටිති.

මේ ආණ්ඩුව විසින් මහජන ප‍්‍රශ්න විසඳනු වෙනුවට ඔවුන් විසින්ම නව ප්‍රශ්න නිර්මාණය කරමින්, ඔවුන්ම එම ප්‍රශ්නය විසඳමින් එක තැන පල්වෙමින් තිබේ. උදාහරණයක් ලෙස මුදල් අමාත්‍යවරයා විසින් වැඩි කරනු ලබන තෙල් මිල ජනාධිපතිවරයා විසින් පසුදා උදෑසන යළි පෙර මිලට ගෙන ඒමත් ඉන් සතියකට පසු යළි වැඩි කිරීමත් යන සරල කරුණ ගෙනහැර දැක්විය හැක.

අවසානයේ කෙසේ හෝ මහජනයා මතට තෙල් මිල පැටවී ඇති අතර එක්වර මිල වැඩි කොට විසඳාගත යුතු ප‍්‍රශ්නයක් මිනිස් පැය ගණනාවක් නාස්ති කරමින්, රට තුළ පුවත් මවමින් දින ගණනක් පුරා ඇදී යන මාලා නාටක බවට පත්ව ඇත. මේ අතරවාරයේ කරළියට පැමිණ තිබෙන වැදගත්ම කරුණක් වනුයේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයයි.

ලෝකයේ අනෙකුත් රටවල ජනාධිපති කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හෝ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ අයෙක් වෙත්නම් ඔහුට එරෙහිව විමර්ශන ඇරඹෙනුයේ අදාළ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. මේ ලිපිය ලියන මොහොත දක්වාම ඊට සම්බන්ධයැයි චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ වෙනත් කිසියම් පාර්ශවයක් අත්අඩංගුවට ගෙන නොමැති අතර  පුවත්පත්, ටීවී සහ ගුවන් විදුලි නාලිකා සිය මාධ්‍ය අවකාශයන් ඒ වෙනුවෙන් බොහෝ සෙයින් වැය කර ඇත. තවත් සති කිහිපයකින් මෙම කතාබහ ද යට යනු ඇති අතර  පොදුජන ප්‍රශ්න පිළිබඳව සාකච්ජා කළ යුතු අවකාශයක් රටට අහිමි වනු ඇත.

ආණ්ඩුවට තියන බොහෝ ප්‍රශ්න ආණ්ඩුවේ අයට තියන ප්‍රශ්න මිස පොදු ජනතාවගේ ප්‍රශ්න නොවීම  දේශපාලකයින් කෙරෙහි මහජනතාව තුළ වෛරයක් ඇතිකිරීමට සමත්ව තිබේ.

බස්නාහිර පළාත් සභාවට තියන ප‍්‍රධාන ප්‍රශ්නය එහි නව සභා ගර්භයේ දොර සහ මන්ත‍්‍රී ආසනවල වියදම වන අතර එම පළාතේම කොට්ඨාස රුසක පවතින ගුරු හිඟයට යොමුවී ඇත්තේ සුලු අවධානයකි.

රටට තියන ප්‍රශ්න

මෙම ලිපිය ලියන මොහොතේදී ඩොලරයේ අගය ඉතිහාසයේ දරුණුම කඩා වැටීමට ලක්ව ඇති අතර ආනයනික භාණ්ඩවල මිල අහස උසට ඉහළ යමින් තිබේ. සෘජු විදේශ ආයෝජන ලැබීම් දිනෙන් දින අඩු වෙමින් පවතින අතර ව්‍යාපාර සඳහා හිතකරභාවය පිළිබඳ ලෝක දර්ශකයන් සියල්ලන්හීම පාහේ ශ‍්‍රී ලංකාව පසුබෑමකට ලක්ව සිටියි.

පසුගිය වසර තුන පුරාම මෙරට ජාතික විදුලිය බල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් එකක විදුලි බලයක් අලුතින් එක් කිරීමට රජය අපොහොසත් වූ අතර 2020දී ඇතිවීමට නියමිත බලශක්ති අර්බුදය රටේ ආර්ථිකයට ඉතා දරුණු ප‍්‍රතිඵල අත්කර දෙනු ඇත. ආදායම් ව්‍යාප්ති විෂමතාවය ක‍්‍රමිකව ඉහළ යමින් තිබෙන අතර දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාවගේ මූලික පරිභෝජන භාණ්ඩ පැසෙහි මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් තිබේ. රටේ ආර්ථිකය සහ පුරවැසියන්ගේ අනාගත අපේක්ෂාවන් එක තැන පල්වෙමින් පසුගාමී සමාජයක් බිහි වී තිබේ.

පුරවැසියන් යායුතු මඟ

අපේ සමාජය දැන් අවිචාරමත් දේශපාලන තීරණ ගැනීම් නිසා හෙම්බත් වී තිබේ. තවදුරටත් මැතිවරණ සමයේදී සිය පාරම්පරික දේශපාලන පක්ෂය සොයායාම හෝ ජන්දය වර්ජනය කිරීම යන පසුගාමී දේශපාලන හැසිරීම් ද්විත්වයම පුරවැසියන් ලෙස අප ප‍්‍රතික්ෂේප කළ යුතුය.

2020 දී අනිවාර්යයෙන්ම පැවැත්වෙන මීළඟ ජාතික මැතිවරණවලදී පාලකයන් තෝරා ගැනීම සඳහා වන බුද්ධිමත් දේශපාලන කතිකාවතක් අප කඩිනමින් ඇරඹිය යුතුය.

2020න් එහාට ලෝකය අත්පත් කරගැනීමට නියමිත තාක්ෂණය ඉතා විප්ලවීය වන අතර අපේ සමාජයට ඒ හා අනුගත වීමට නොහැකි වුවහොත් ජාතියක් වශයෙන් ලෝකයෙන් කොන්වී හාමතේ මියයාමට සිදුවනු ඇත.

1960 - 70 දශකවලදී විසඳාගත යුතුව තිබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රශ්න, කජු ප්‍රශ්න, ආණ්ඩුවේ ප‍්‍රධානියා කවුද යන ප්‍රශ්නය, උතුරේ බලය බෙදීමේ ප්‍රශ්නය යන සම්ප‍්‍රදායික විපරීත ප්‍රශ්න වෙනුවට ලෝක ආර්ථිකයේ අපේ පංගුකාරීත්වය පිළිබඳව නිරන්තරව සිදුකෙරෙන දේශපාලනික සංවාදයක වැදගත්කම ඉතා විශාලය.

නොමිලේ ලැබෙන අධ්‍යාපනයකින් පසුව රස්සා ඉල්ලමින් පොදු දේපලවලට ගල් ගසන තාරුණ්‍යයක් වෙනුවට සිලිකන් වැලියේ ව්‍යාපාරවලට අභියෝග කරන තරුණ පරපුරක් නිර්මාණය කිරීමට ඒ දේශපාලන සංවාදයට හැකි විය යුතුය. මේ මොහොතේදී අපේ රටේ අනාගතය රැඳී ඇත්තේ නව සහශ‍්‍රකය ඇරඹෙත්ම ඉපදී මේ වසරේදී ජන්ද හිමි නාමලේඛනයට පිවිසෙන මිලියන 1.7ක නව යොවුන් පිරිසත් තිස්පහට අඩු පිරිසත් අතේය. ඒ පරම්පරා දේශපාලනික වශයෙන් සබුද්ධික කිරීම අනිවාර්ය සාධයක් වන අතර ඔවුන්ගේ නිද්‍රාශීලිභාවය අනාගතයේදී රටට බරපතළ හානි ගෙන දෙනු ඇත.

ෂේන් මහේන්ද්‍ර ප‍්‍රියවික‍්‍රම

 

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00