2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

අන්තරේ ගැන අතුරු කතාවක්!

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

“අන්තරය” සහ “ශිෂ්‍ය අරගල” යනු මේ දවස්වල ඇති ජනප්‍රියම මාතෘකාවලින් එකකි. ඉතින් වැස්සකට වගේ අපිත් කැම්පස් ගොඩවී ඇති නිසා මේ ගැන යමක් නොකියා ඉන්නට අමාරුය. හතරවටේ ඒ ගැන ලියවෙන, කියවෙන දෑ ඇසූ විට කට කසන්නට ගනී. ඉතින් ඒ කැසිල්ලට පිළියමක් ලෙස මේ කතන්දරය ලියවෙන්නේය.

මේ කතන්දරය කියන්නේ නිකම්ම නොවේ. වසර 2010 දී සබරගමුවට යන මට ඉගෙනගන්නට සිදුවූයේ කුකුළු කූඩු වැනි දේශන ශාලා තුළය. වසර 4ක සිසුන් 400 දෙනකුට පමණ එහි තිබුණේ දේශන ශාලා 4ක් පමණය. එයිනුත් එකක් වෙනත් පීඨයකට අයත් එකකි. ඊට වඩා විශාල හොඳ පන්ති කාමර අපේ ඉස්කෝලේ තිබුණේය. අපි මාරුවෙන් මාරුවට දේශන ශාලා සොයා යමින් විශ්වවිද්‍යාලයේ එහා කොණටත් මෙහා කොණටත් ඇවිද්දෙමු. 2008 මුලදී පොරොන්දු වූ පීඨ සංකීර්ණයේ මුල්ගල ඉහළට එසවුණේ ඉතා සෙමිනි. ඒ සඳහාත් නොනවතින අරගල රැල්ලක් විශ්වවිද්‍යාලය තුළ ඇතිවිය. දිනෙන් දින ඉදිකිරීම පමාවුණු එය යථාවක් කරගැනීම සඳහා තවත් වසර දෙකකට වඩා ගත විය.  අවුරුදු ගණනාවක් පැවති මේ අරගල රැල්ලේ සිටි බොහෝ දෙනාට අලුත් පීඨයේ පොළොවට පය තැබීමේ වාසනාවක් උදාවුණේ නැත. ඔවුන්ගේ ඉගෙනුම් කාලය පුරාම එය සිහිනයක් උදෙසා සටන් කිරීමෙන් පමණක් ගතවිය. සබරගමුවේ අද පවතින පීඨ සංකීර්ණ සියල්ල පාහේ දීර්ඝ කාලීන ඉල්ලීම් සහ සටන්වලින්, කොළඹ පොළොව රත්කළ පාගමන්වලින් උපත ලද ඒවාය. සමහරෙක්ට මෙය විහිළු කතාවක් ලෙස සලකා “ඕවා උඹලා කෑගැහුවත් නැතත් ලැබෙනවා” යැයි බැහැර කළ හැක. ඒත් ඒවා විහිළු නොවූ බව, වසරේ එක් කාලයකට වතුර නැතිකමින් වහන්නට සිදුවුණු සරසවියක ඉගෙනුම ලැබූ සහ සටනේ යෙදුණු බොහෝ දෙනා දනිති. ලංකාවේ වි.වි බොහෝ ප්‍රමාණයකට මේ කතාව වලංගුය.

දින කිහිපයකදීම මට 2008ට පෙර කාලයේ සිටි ආදි සිසුන් සරසවියට පැමිණි විට මුණගැසී ඇත. ඔවුන් සියලු දෙනාගේම පාහේ මුවින් පිටවූ මුල්ම වචන ටික වූයේ යමුද “අපේ” facultyය බලන්න කියන එකය. ඒ කිසිවක් ඔවුන් සරසවිය තුළ පය ගසා සිටි සමයේ බිහිවූ පීඨ සංකීර්ණයන් නොවේ. නමුත් ඔවුන් පය ගසා සිටි හැම දවසක් පාසාම සිහින දුටුවේ ඒවා ගැනය. ඒ සිහිනය හැබැහින් තම පයට දැනෙන විට, හැබැහින් තම දෑස ඉදිරියේ තිබෙනු දුටු උන්ගේ නෙත්වලට ඉනූ සතුටු කඳුළු මට තවමත් මතකය. ඒ කඳුළු මේ දැන් මගේ ඇස්වලින් ගලන්නේය. ඒවා නොදුටු පරපුරක යහපත උදෙසා කළ සටන්වලින් උපත ලද කඳුළු වන්නේ  එසේය.

පහුගිය කාලයේ සිදුවූ 6% අරගලය, සයිටම් අරගලය යනු සමස්ත අධ්‍යාපන ගැටලු මුල්කරගත් ජාතික මට්ටමේ අරගලයන්ය. ප්‍රශ්නය වන්නේ මෙවැනි අරගල හේතුකොටගෙන සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන බලපෑමයි. ඒ නිසා මේ පන්නයේ විරෝධතාවලට යම් ස්වයං විනයක් හා පාලනයක් අවශ්‍ය වන්නේය. නමුත් වැදගත් කරුණක් වන්නේ සාමාන්‍ය ජනයාට හිරිහැරයක් නොවන ලෙස මෙවැනි අරගලයන් සිදුනොවීමයි. මේ පන්නයේ ඒවා සිදුකිරීමේ අරමුණ වන්නේ රජය අපහසුතාවට පත් කරමින් රජයේත්, රටේ ජනතාවගේත් අවධානය අදාළ ගැටලුව සඳහා යොමුකර ගැනීමයි. රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලවීම යනු රජයක් අපකීර්තියට හා අපහසුතාවට ලක්වෙන සිදුවීමකි. එමෙන්ම එය රටේ ආර්ථිකයට අහිතකරය. ඒ නිසා රජයකට ඒ ඒ අරගලයන්ට හේතුවන ගැටලු විසඳීම සඳහා බල කෙරෙන්නේය. මෙය එක් අතකින් බැලුවහොත් යම් ත්‍රස්තවාදී එළඹුමක් ලෙස වුවද නම් කළ හැක. එනිසා ජනදිවිය අඩාල කරන අරගල එළඹුම්වලට සෑහෙන තරමේ විනයක් අවශ්‍ය වේ. එනම් ඒවා සිදුවිය යුත්තේ ගත හැකි අවසන් ක්‍රියාමාර්ගයක් ලෙස මිස සතියෙන් සතිය කළ යුතු දේව මෙහෙයක් පන්නයෙන් නොවේ.

පහුගිය කාලය පුරා සිදුවූ සයිටම් අරගලය තුළ එවැනි හික්මීමක් තිබුණාදෝයි සැක සහිතය. කෙටි කාලයක් තුළ වැඩි උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රමාණයක් සංවිධානය විය. එය ජයග්‍රහණයෙන් කෙළවර වූ පසු වෙනත් ඉල්ලීම් මුල්කොටගත් උද්ඝෝෂණ ව්‍යාපාරයන් පෙර තීව්‍රතාවෙන්ම සිදුවන්නේය. අවසානයේ රටේ පොදු ජනයා හැමතිස්සේම පාහේ බැටකන තත්ත්වයට පත්වන්නේය. ඒ නිසා අන්තරය ප්‍රමුඛ සරසවි සිසුන් කියන යම් සත්‍ය කරුණක් වේද, එය යට ගොස් තරහව, අපහාසය පමණක් පොදුජන සිත්වල පැළපදියම් වෙන්නේය. මෙය අන්තරයත්, සමස්ත සරසවි ශිෂ්‍ය ප්‍රජාවත් හොඳින් තේරුම් ගත යුතු වන්නේය. අනෙක් කරුණ අන්තරය යනු සහමුලින්ම අහිංසක ඉල්ලීම් උදෙසා සටන් කරන ව්‍යාපාරයක් නොවේ. එයට අදාළ දේශපාලන පක්ෂ මූලයන් තිබෙන්නේය. ඉතින් සමහර අර්බුද කාලවලදී මේ දේශපාලන මූලයන්හී යටි අරමුණු අන්තරය හරහා වි.විවලට රිංගා ඒවායේ තත්ත්වය අවුල් කිරීම යනු විය හැකි දේවල්ය. වි.වි සිසු ප්‍රජාව ඒවා ගැන සවිඥානික විය යුතුය. අන්තරය යනු හොඳ මිතුරකු මෙන්ම තත්ත්වයන් අවුල් කළ හැකි ලෝකයෙකු බවද සිත්හි තබාගැනීම වැදගත්ය.

මේ සියලු කරුණු මෙසේ තියෙද්දී පසුගිය දවසක විජේදාස රාජපක්ෂ උන්නැහේ නවක වදය සම්බන්ධයෙන් අන්තරයට හොඳටම දෙහි කැපුවේ, තවත් වල්භූත චෝදනා කුට්ටියක්ද සමඟිනි. ඒ වල්භූත ඒ තරම් ගණන් ගත යුතු ඒවා නොවුණත් නවකවදය යනු අමතක කර අත පිහදාගත හැකි මාතෘකාවක් නොවේ. වාර්තාවලට අනුව පසුගිය වසර දෙක තුළ 2000කට ආසන්න පිරිසක් නවකවදය නිසා වි.විද්‍යාල හැරගොස් ඇත. දෙදහක් නොව එක් අයකු වුවද නවකවදය නිසා වි.වි හැර යනවානම් එය සරල කරුණක් නොවේ. ළහිරු වීරසේකර මේ සම්බන්ධයෙන් කියන්නේ අන්තරය නවක වදයට විරුද්ධ බවත්, රටම කුණු වී ඇති තත්ත්වයක් තුළ වි.විද්‍යාල තුළ මෙවැනි පසුගාමී තත්ත්වයන් ඇතිවීම ගැන මහා කතිකාවක් අවශ්‍ය බවත්ය. ඔහුට අනුව අන්තරයට පමණක් එය නැවැත්විය නොහැක. ඒ සඳහා සරසවි ඇදුරන්ගේත්, විද්වතුන්ගේත්, සමාජයේත් සහාය සපිරි කතිකාවක් අවශ්‍යය. ඒ කතාවේ ඇත්තක් ඇත. නමුත් පසුගිය වසර ගණනාවක් පුරා අන්තරේ කැඳවුම්කරුවන් ඔය නවකවද ප්‍රශ්නය ගැන කියන්නේ ඔය ටිකය. විද්වත් සමාජයේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය විය යුතු වුණත් ඔය නවකවද කෙරුවාව පාලනය කරනවා නම් එහි අතිවිශාලම බලපෑම කළ හැක්කේ අන්තරයට මිස වෙන කාටවත් නොවේ. ඒත් නවකවද මාතෘකාව ගැන කතාවෙද්දී අන්තරය හරි අබල දුබලය. නමුත් තමන්ගේ අනික් ප්‍රශ්නවලදී ආණ්ඩුවේ හැම බලයක් සමඟම හැප්පෙන්නට තරම් අන්තරය ශක්තිමත්ය. නවකවදය සම්බන්ධයෙන් අන්තරය මේ දිව දෙකේ කතාවලින් වැළකී ඍජුව මැදිහත්වීම අත්‍යවශ්‍ය වන කාලයක් උදාවෙමින් ඇත. රට පුරා ඇති සරසවි හා උසස් තාක්ෂණ ආයතන තුළ විවිධ තීව්‍රතාවයන්ගෙන් යුත් නවකවද ක්‍රියාවලීන් සිදුවන්නේය. ඉන් සමහරක් ඉතා සුන්දර සිනහමුසු ඒවා වෙද්දී අනික්වා සමාජයට ලීක්වුණොත් රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යන්නට බැරි තරම් ජුගුප්සාජනකය, හිංසාකාරීය.  තමන්ගේ පාර්ශ්වයේ ඇති මේ ලොකුම කැතකමට එරෙහිව සැබෑ සංගායනාවක් අරඹන්නට හැකිනම්, ළහිරු... වීරයා උඹය.

දසුන් සිල්වා

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00