♦ ජනතාව ඉල්ලන්නෙ දිනන අපේක්ෂකයෙක්
♦ අයවැය පැරදුනාම පන්නරය ලැබුව කියල කියනව
♦ අයවැය පැරදුන දවසෙ යූ.ඇන්.පී. මන්ත්‍රීල සභාවට ආවෙ නැහැ
♦ රාජපක්ෂල අතරෙ බල අරගල නැහැ
♦ චම්පික ඇමැතිතුමා කරු ජයසූරිය මහතා ජනාධිපතිකමට යෝජනා කළා
♦ 20 වැනි සංශෝධනයට අපි විරුද්ධයි
– හම්බන්තොට දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
පසුගියදා ආණ්ඩු පක්ෂයේ අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ දෙකක් විරුද්ධ පක්ෂය විසින් පරාජයට ලක් කරනවා. ඔබ හිතන්නේ මේක විරුද්ධ පක්ෂයේ ජයග්‍රහණයක් කියලාද?
මේක ආණ්ඩුව රතු එළියක් හැටියට වටහා ගන්න ඕන. මේ ආණ්ඩුව 2015 කිව්ව දේවල් නෙමෙයිනේ අද කරන්නේ. පසුගිය දවසක මන්ත්‍රීවරු 122ක් අත්සන් කරලා උසාවියටත් දුන්නා ආණ්ඩුවට ඉන්න බහුතරය පෙන්වලා. නමුත් වැය ශීර්ෂය දවසේ හිටියේ 22යි. මේක හරහා රටට යන පණිවුඩය තමයි ආණ්ඩුව කොච්චර අස්ථාවරද කියන එක. මේ අස්ථාවර භාවය නිසා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේ ආණ්ඩුව විසුරුවන්න තීරණය කළේ. ඒ අස්ථාවරභාවය ඊයේ පෙන්නුවා. අපි ඇත්තටම පෙන්නුවේ මේ මැතිවරණ කල්දැමීමට එරෙහි විරෝධය.
එහෙමද නැත්නම් අය වැය පළමු ඡන්දයේදී ඔබලාට ජයග්‍රහණය කරගන්න බැරිවෙච්ච නොහැකියාව වහ ගන්නද මේක කළේ?
අය වැය ජයග්‍රහණය කිරීමට ඇති නොහැකියාව තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව බලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුත් දෙමළ ජාතික සන්ධානයත් එකතුවෙලා අයවැය ජයග්‍රහණය කරන්න. ඇත්තටම මේ අයවැය ජයග්‍රහණය කළත් පරාජය වුණත් ඇතිවෙන්නේ රටේ අස්ථාවරත්වය විතරයි. හැබැයි එහෙම වුණා කියලා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩු වෙනසක් වෙන්නේ නැහැ.
සභානායක අමාත්‍ය කිරිඇල්ල මහත්තයා නම් කියන්නේ පක්ෂ නායකවරුන් විසින් වැයශීර්ෂ ඡන්ද විමසීමක් ගන්නේ නෑ කියලා ගත්ත තීන්දුවක් විරුද්ධ පක්ෂය විසින් කඩකළා කියන එක?
ඉතින් සභානායකවරයා ඇතුළට ආවෙත් නැහැනේ. තව වෙන මොන කතාද?
හැබැයි සභානායකවරයා කියන්නේ මේක ආණ්ඩුවට හොඳ පන්නරයක් කියලා?
එතුමලා ඉතින් අවුරුදු 4ක ඉඳලා ඔය පන්නරය ගන්නවානේ. පන්නරයක් ගන්න ඕන නම් ඡන්දෙකට එන්න කියන්නකො? අපි කියන්නේ ජනතාව අතරට ගිහිල්ලා පන්නරයක් ලබාගන්න කියලා. එහෙම නැතිව ආණ්ඩුවේ වැය ශීර්ෂ පරාජය වෙවී පන්නර ගන්න එපා.
අයවැය පළමුවැනි ඡන්දයේදී ඔබලාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසත් ඡන්දයට ආවේ නෑනේ. ඔබලා අතරත් තවම එකමුතුවක් නෑනේ?
මම හිතන්නේ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ගත්ත තීන්දුවක්. මොකද එදා උදේත් ඒ අය තීන්දුවක් අරගෙන තිබුණේ නැහැ. මම හිතන්නේ ඒ අයගේ පෞද්ගලික කාරණා හින්දා ගත්ත තීන්දුවක් වෙන්න ඇති. හැබැයි පොදුවේ අපි සියලුදෙනාම මේ ආණ්ඩුව වෙනස් විය යුතුයි කියන තීරණයේ ඉන්නවා.
ඔහොම හිතුවාට නැවත ජාතික ආණ්ඩුවකට යන්න කට්ටිය සූදානම් වෙනවානේ?
ඕවගේ කතා යනවා කියලා අපටත් ආරංචි වෙනවා. අපි ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ ගිලෙන්න යන ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පනියි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.
ඔහොම හිතලා තමයි එකපාරකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා ඔබලාට වැරදුණේ කියලා පක්ෂයේ අයම කියනවා?
නෑ කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා අපට වැරදුණේ නැහැ. ඒවා මේ එක එක දේශපාලන තීන්දු මත සිදුවුණු දේවල්.
ශ්‍රීලනිපයත් එක්ක එකට ඉන්නවා කිව්වාට තීණ්දු තීරණ ගනිද්දී ඒකාබද්දෙ කට්ටිය විතරක් වෙනම නේද කටයුතු කරන්නේ?
ඒකාබද්ධ විපක්ෂයේ අයට වෙනම තීන්දු ගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම විරුද්ධ පක්ෂය හැටියට ශ්‍රිලනිපය එක්ක එකතු වෙලා තීන්දු අරගන්න අවස්ථාව තිබෙනවා. මැතිවරණවලට මුහුණ දෙන අවස්ථාවලදී අපි එකමුතුව ඒ තීන්දු තීරණ ගන්නවා.
හැබැයි අපිට නම් ආරංචි ඔබලත් එක්ක එකතුවුණ ශ්‍රීලනිප ගාල්ල මාතර පැත්තේ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ අයගෙන් කැපිලි කෙටිලි එනවා කියලා?
එහෙම කිසිම කැපිලි කෙටිල්ලක් නැහැ. ශ්‍රීලනිපයේ ප්‍රධානියෙක්නේ මහින්ද අමරවීර මහත්තයා. ඔහු හම්බන්තොට. ඔය කිසිම කැපිලි කෙටිල්ලක් නැහැ. හැබැයි යම් යම් අවස්ථාවල මහින්ද රාජපක්ෂ මහත්තයාව අත්හැරලා ගියා කියලා ගමේ මිනිස්සු අතර කතා තියෙනවා. මොකද ඒ ජනතාව මහින්ද මහත්තයාට ආදරෙයි. ඒ නිසා ඒ අයගෙන් යම් යම් වචන හුවමාරු වෙන්න පුළුවන්. ඒවා දේශපාලන වශයෙන් සැලසුම් සහගත දේවල් නෙමෙයි.
ඔබ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්. ඔබට හිතෙන්නේ නැද්ද ඔක්තෝබර් 26 වැනිදා හදිසියේ ගත්ත තීණ්දුව නිසා මහින්ද මහත්තයා සමඟ ජනතාවගේ විශ්වාසය බිඳුනා කියලා?
කිසිසේත්ම නැහැ. එදා අපි ගත්තේ තීරණාත්මක දේශපාලන තීන්දුවක්. ඒ අවස්ථාවේ විශාල ජයග්‍රහණයක් රටට ලැබුණා. එදා එය අපි ලබානොගත්තා නම් මේ වෙනකොට මේ රට ෆෙඩරල් ක්‍රමයකට ගිහිල්ලා. ඒ දැවැන්ත අවදානම මකාලන්නට තාවකාලිකව අපට අවස්ථාව ලැබුණා. ඒ වාගේම අපිට විපක්ෂයක් හැටියට ශක්තිමත් වීමේ හැකියාවක් ලැබුණා. මේ දේශපාලන තීන්දුව එක එක විදිහට අර්ථකථන කරන්න පුළුවන්. මොකද මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ ඉන්න පරිණතම දේශපාලන නායකයා. ඉතින් එතුමා තීන්දු තීරණ ගන්නේ හොඳට හිතලා මතලා.
ඇත්තද මේ හදිසියේ බලය ගත්තේ රාජපක්ෂවරුන්ට තිබුණ නඩු හබ ඉවත් කරගන්න කියලා කියන්නේ?
අපි බලය අරගෙන දවස් 51ක් හිටියා. ඒ දවස් 51 ඇතුළත අපි පොලිසිත් ගියා උසාවිත් ගියා. අදටත් යනවා. මේ කතා කරන අවස්ථාවේදීත් මම උසාවි ගිහිල්ලා එන ගමන්. නඩු එහෙම අයින් කර ගන්නවානම් අපට දවස් 51ක් තිබුණා.
තව කතාවක් යනවා මේ බලය හුවමාරුවේ යටිපෙළ ජනාධිපති අපේක්ෂකත්වයක සම්බන්ධයෙන් ගිවිසුමක් තිබුණා කියලා?
කිසිසේත්ම නැහැ. ජනාධිපතිවරණයක් සම්බන්ධව හිටපු ජනාධිපතිතුමත් වර්තමාන ජනාධිපතිතුමත් එකඟතාවයකට ආවේ නැහැ. ඒ හැම අවස්ථාවකදීම අපි සාකච්ඡා කළේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් නැවත ගොඩනගා ගන්න. එනිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් නිසි ගෞරවය දෙන්න ඕන. කිසිම කොන්දේසියක් එතුමාගේ පාර්ශ්වය පැත්තෙන් දැම්මේ නැහැ.
එතකොට ඔබලාගේ අපේක්ෂකයා ඇත්තටම කව්ද?
අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියලා ජනාධිපතිවරණය කැඳෙව්වාම අපි තීරණය කරනවා. ඒකට වෙලාවක් තියෙනවා. ඒකට තැනක් තියෙනවා සහ නාමල් රාජපක්ෂටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුටවත් අපේක්ෂකයා තීරණය කරන්න බැහැ. ඒකට ඉන්නවා අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. ඒ වගේම පක්ෂ නායකවරු ඉන්නවා. ඒ අය නිසි කලට නිසි වෙලාවට කියයි.
ඒ වුණාට හැමෝගේම කටේ තියෙන්නේ ඊළඟ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා?
නොයෙක් මත තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැනත් බලාපොරොත්තු තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා ගැනත් බලාපොරොත්තු තිබෙනවා. චමල් රාජපක්ෂ මහත්තයා ගැනත් කතා කරනවා. කුමාර වෙල්ගම මහත්තයාගේ නමත් කතාවෙනවා. ඒ විතරක් නෙමෙයි දිනේශ් ගුණවර්ධන මහත්තයා ගැනත් කතා වෙනවා. අපේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ නායකයෝ ගොඩක් ඉන්න තැනක්. ඒ නායකයන්ගේ නම් නොයෙක් නොයෙක් අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා. අපි ජයග්‍රහණය කරන්න පුළුවන් සුදුසුම අපේක්ෂකයා කවුද කියලා වෙලාව ආවාම කියයි.
කුමාර වෙල්ගම මහත්තයා නම් කියන්නේ රාජපක්ෂවරු නම් මහින්ද රාජපක්ෂ විතරයි නායකයා වෙන්න ඕන කියලා. ඒක ඇත්තද?
එතුමා විතරක් නෙමෙයි, රටේ බහුතර ජනතාව කියන්නේ මහින්ද මහත්තයා කියන කෙනාට ඡන්දෙ දෙනවා කියලා.
නෑ මහින්ද මහත්තයා කියන කෙනාට නෙමෙයි එතුමා කියන්නේ මහින්ද මහත්තයාට විතරයි උදව් කරන්නේ කියලා?
යථාර්ථය මේ රටේ බහුතරයක් ආදරය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඉතින් වෙල්ගම මහත්තයත් එහෙමයි.
ඇයි මේ රාජපක්ෂවරු විතරමද මේ රටට ඕනේ?
මහින්ද මහත්තයා කියනවානේ පක්ෂ නායකවරුන්ට කතා කරලා සුදුසු නායකයෙක් තෝරමු කියලා. රටේ ජනතාව ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා නම් බහුතර කැමැත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා නම් පක්ෂ නායකයෝ තීන්දු කළොත් රාජපක්ෂ කෙනෙක් නම් ඒක ඒ විදිහට තීන්දු වෙයි. යම් විදියට හිතුවොත් රාජපක්ෂ කෙනෙක් නෙමෙයි කියලා ඒකත් මහින්ද මහත්තයා තීන්දුවක් ගනියි.
හැබැයි මේ රාජපක්ෂවරුන්ගේ නම් ගම් නිසා පක්ෂය ඇතුළෙත් කට්ටිය බෙදිලා?
අදහස් යෝජනා බොහොමයක් එනවා. ඔය පක්ෂ නායකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවානේ. රාජපක්ෂ කෙනෙක් ඕනෙයි කියලා අපි කියන්නේ නැහැනේ. කිසිම රාජපක්ෂ කෙනෙක් කියන්නේ නැහැ. එනිසා අපේ පවුලේ කිසිකෙනෙක් පවුලේ කෙනෙක්ගේ නමක් යෝජනා කරන්නේ නැහැ. පක්ෂයේ නායකයෝ අතර නම් තිබෙනවා. හැබැයි රටේ ජනතාව ඉල්ලන්නේ දිනන නායකයා.
ශ්‍රීලනිපයේ මහ ලේකම් කියන්නේ අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල මහත්තයා. ඒකට පොහොට්ටුවේ අයට එකඟ වෙන්න වෙනවා කියලයි. ඔබලා එකඟද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපෑමක් කරන්න තිබුණා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සියයට 45ක් වගේ ඡන්ද ප්‍රමාණයක් ගත්තා නම්. මන්දා සියයට 13ක් වගේ ප්‍රමාණයක් අරගෙන බලපෑම් කරන්න පුළුවන්ද කියලා. එහෙම ප්‍රමාණයක් අරගෙන සියයට 45ක ඡන්ද ප්‍රමාණයකට බලපෑමක් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා අවසාන තීන්දුව තියෙන්නේ ජනතාව අතරේ.
ඒ කියන්නේ එන අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැමැත්තෙන් එන නායකයෙක් නොවී රාජපක්ෂවරුන්ගේ නායකයෙක් විතරද?
අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ සහ වර්තමාන ජනාධිපතිතුමත් එක්ක අපිට අවබෝධතාවයක් තිබෙනවා. එනිසා මේ සියලුම නායකයෝ එකතුවෙලා සාකච්ඡා කළයුතුමයි.
ඔබලා ඔහොම කිව්වාට ආණ්ඩු පක්ෂය ඉදිරි මැතිවරණයට එන්නේ පුළුල් සන්ධානයකින්. ඔබලාගේ මේ කැඩීයාම ආණ්ඩුවට වාසියක් වෙන්න පුළුවන් නේද?
අපි දැක්කනේ ඔය පුළුල් සන්ධානෙ කට්ටියගෙ වැඩ වැයශීර්ෂ පරාජය වෙච්ච මොහොතේ. චම්පික මහත්තයා කිව්වා කරු ජයසූරිය මහත්තයා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයාට සුදුසු කියලා. අන්තිමට මන්ත්‍රීවරු බාගෙට බාගයක් ආවේ නෑ එතුමාට ඡන්දෙ දෙන්න. කබීර් හෂීම් මහත්තයා එහෙම ඡන්දෙ ඉවර වෙනකම් ඉඳලා තමයි ඇතුළට ආවේ.
අපි දැක්කා අර හම්බන්තොට තෙල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔබ දැඩි විවේචනයක් එල්ල කරනවා. මොකක්ද ඔච්චර තිබෙන තරහ?
මෙහෙමයි. රටට ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් අපට විවේචනයක් නැහැ. හැබැයි ආයෝජන ගෙන එන ක්‍රමවේදයක් තිබෙනවා. ඔය කියන ආයෝජනයේ අයිතිකාරයා මේ වෙනකොට ප්‍රකාශ කරලා තිබෙනවා ඔහු ළඟ සල්ලි නැහැ කියලා. එතකොට තව අවුරුද්දක් යනවා කියලා තියෙනවා ආයෝජන හොයාගන්න. එතකොට පැහැදිලිවම පෙනෙනවා ඉඩම් අක්කර හය හත්සීයක් මංකොල්ල කාලා ව්‍යාපෘතියක් රට වටේ අරගෙන යනවා ආයෝජකයෝ හොයාගන්න. එතකොට මේකට සම්බන්ධ ආයෝජකයෝ ඉන්න සිංගප්පූරුවේ යුවළක් කියනවා ඒ අය සම්පූර්ණයෙන් මේ ආයෝජනයෙන් ඉවත් වුණා කියලා. සම්පූර්ණයෙන් මේ ආයෝජනය පිටුපස ඉන්නේ තමිල්නාඩු දේශපාලනඥයෝ.
ඕවා ඇත්තම කියන්නේ කොහොමද?
ඇත්ත තමයි කියන්නේ. ව්‍යාපෘතියක් තිබෙනවා ආයෝජකයෝ නැහැ. අනෙක ඔය ව්‍යාපෘතියට පරිසර වාර්තා නැහැ. මිරිජ්ජවිලයි හම්බන්තොට වරායයි යා කරලා තෙල් නළ පද්ධතියක් ගහනවා. ඒ කියන්නේ නරගය මැද්දෙන්. හිතන්න යම් අවස්ථාවක තෙල් නළ කාන්දුවක් සිදුවුණා. මුළු නගරයම විනාශ වෙනවා. මේකට තව අවුරුදු 10කින් අපේ පරම්පරාවට සාප දේවි මිනිස්සු. අනික එක පැත්තකින් බූන්දල වනෝද්‍යානය. මේකෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට වැඩියි. මේකට යනවා කූලින් වෝටර් සිස්ටම් එකක්. එතකොට ඔය රස්නෙ වතුර පිටකරන්න තැනක් නැහැ. මුහුදට දැම්මොත් මාළු මැරෙනවා. බිමට දාන්නත් බැහැ.
ඒ කියන්නේ මේක කරන්නේ වගකීමක් නැතුවද?
කිසි දෙයක් බලන්නේ නැතිව මේක කරලා තියෙන්නේ. අපිට කාලයක් කිව්වා ඩුබායි මෙරියට් හෝටලයේ අයිතිකාරයා රාජපක්ෂ කෙනෙක් කියලා. හැබැයි ඒකෙ අයිතිකාරයා සිංහල බෞද්ධයෙක්. අන්තිමට ඔහුව අල්ලස් එකට ගෙනිච්චා. එෆ්.සී.අයි.ඩී. ගෙනිච්චා. ඇහුවේ එක දෙයයි. රාජපක්ෂවරුන්ගේ සල්ලි නේද මේවා කියලා. දැන් ඔහු තමයි මේ වැඩේ එක ආයෝජකයෙක් වෙන්නේ. ඔහු ආයෝජකයා නම් ඔය පොලිසියේ ටික කියන්න ඕන එයාගෙ සල්ලි රාජපක්ෂවරුන්ගේ සල්ලි නෙමෙයි කියලා. එහෙම නොකියා ඔහුට රට වටේම ඉඩම් දීලා. දුන්නට කමක් නැහැ ආයෝජනයක් වෙනවා නම්. අනිත් එක සිමෙන්ති කම්හල. ඒක නිසා සම්පූර්ණයෙන්ම හම්බන්තොට විනාශ වෙනවා. ඒ නිසා වගකීමක් නැති ආණ්ඩුවක් කෙරෙහි අපට වගකීමක් තිබෙනවා හොයලා බලන්න.
ඔබ කියන මේ චෝදනාවලට නලින් බණ්ඩාර මහත්තයා කියනවා කවදා හරි මේක හැදිච්ච දවසක ඔබට ලැජ්ජා වෙන්න වෙන්නේ කියලා?
මේක හදනවා නම් මේකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ කියලා සඳහනක් වෙනවා නම් නාමල් රාජපක්ෂ ලැජ්ජ නෙමෙයි ඔලුවෙන් හිටගෙන හරි අඬන්නම්. මොකද මේක රට වෙනුවෙන් සිදුවෙන දෙයක් නම්. මොකද මට තියෙන්නේ මම අඬන එක ගැන නෙමෙයි මගේ ගමේ මිනිස්සුට අඬන්න වෙයි කියලා. මොකද ඒක බලන් අඬන්න මම සූදානම් නැහැ.
හැබැයි ආණ්ඩුවෙන් කියන්නේ රාජපක්ෂවරු කරපු දේවල් වගේ නෙමෙයි මේ දේවල් කියලා?
රාජපක්ෂවරු හදපු වරායක් නිසා තමයි මෙහෙම ආයෝජකයෝ ආවේ. ඔය නලින් බණ්ඩාර ඇමැතිතුමාම බැන්නනේ හම්බන්තොට වරායටම. ඔබතුමා මේක ලියන්න අද නලින් බණ්ඩාර ඇමැතිතුමා අපිට බනිනවාට වඩා හොඳයි කිව්වේ හම්බන්තොට වරායයි මත්තල ගුවන්තොටපොළයි හදපු එක ගැන. ඒකට ආයෝජකයෝ ගේන්න ඕන කියලා ඔහු කිව්වා. අපි අවුරැදු ගාණක් තිස්සේ හරියි කියලා පිළිගත්ත දේ අද එක්සත් ජාතික පක්ෂය පිළිගන්නවා.
හැබැයි ඔබලා කරපු දේවල් පාඩු ලබන ආයතන හැටියට පිළිගන්නේ?
ඔව් ඉතින්, මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළාම එහෙම තමා.
ජනතා විමුක්ති පෙරමුණත් එක්ක මහින්ද මහත්තයා විධායකය අහෝසි කරන් සාකච්ඡා යන්නේ අගමැති පුටුවේ වාඩිවෙන අරමුණින් කියලා තමයි යන්නේ. ඒක ඇත්තද?
එතුමා විපක්ෂනායකයා හැටියට විපක්ෂයේ කාර්යභාරය සිදුකළා. එතැන සාකච්ඡාවක් විතරයි සිදුවුණේ. හැබැයි මගේ පෞද්ගලික අදහස තියෙන්නේ විධායකය අහෝසි කරනවාද විධායක අගමැති කෙනෙක් පත් කරනවාද කියලා නෙමෙයි. සම්පූර්ණයෙන්ම මේ රටේ සිස්ටම් වෙනස් කරන්න ඕන.
ඒ කියන්නේ විධායකයක අහෝසි කරනවා කියන කතාව ඇත්ත?
මහින්ද මහත්තයා කියන්නේ රටේම විපක්ෂනායකයා. අපි මුල ඉඳන්ම කියලා තියෙන්නේ 20 වැනි සංශෝධනයට විරුද්ධයි කියලා. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඔබ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක්. අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ඇත්තටම රාජපක්ෂ පවුල ඇතුළේ බල අරගලයක් තිබෙනවාද සහෝදරයින් අතරේ?
රාජපක්ෂවරු හැමදාමත් සටන් කළේ ජනතාවට බලය දෙන්න. අප අතරේ එහෙම කිසිම අරගලයක් නැහැ. අපි තවත් උත්සාහ කරන්නේ ජනතාවට බලය දෙන්න. අපිට තනතුරු තානාන්තර නැතිවුණත් ජනතාව වෙනුවෙන් හදන ආණ්ඩුවක් පිටුපස්සේ රාජපක්ෂවරු අනිවාර්යයෙන් ඉන්නවා.
►ගයාන් ගාල්ලගේ