2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

තුරුම්පු විතරද?

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

දැනට රටේ ලොකුම මාතෘකාවක් බවට පත්ව තිබෙන බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව කතාව ඇරැඹෙන්නේ 2015 පෙබරවාරි 27 වැනිදායින් පසුවය. එම ගනුදෙනුව සිදුවී දින කීපයක් ගත වෙන්නටත් පෙර එය ගනුදෙනුවක මුහුණුවරින් සිදුවූ වංචාවක් බවට චෝදනා නැගීම ඇරැඹුණි. ඒ කතාබහ යහපාලන ආණ්ඩුවේ පළමු දින සීයේම ඇරැඹුණද එය මෙතරම් දුරදිග යන නොනවතින කතාබහක් වනු ඇතැයි ආණ්ඩුව නම් කවදාවත් නොසිතූ බව පැහැදිලිය.

බැඳුම්කරය ගැන කතාබහ පවතිද්දීම තවත් ගනුදෙනුවක් ඒ ආකාරයටම සැප්තැම්බර් මාසයේදී සිදුවීම හේතුවෙන් නිවෙමින් තිබූ බැඳුම්කර ගින්න යළි ඇවිළුණේය. එහි රස්නය යහපාලන ආණ්ඩුවේ ඉස්මුදුනටම දැනුණේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙකී ගනුදෙනුවට අදාළව කෙළින්ම ඇඟිල්ල දිගුවූ අර්ජුන මහේන්ද්‍රන්ට ඔහු දැරෑ මහ බැංකු අධිපති පදවිය අහිමි විය. ඔහු ඉවත් කෙරුණා නොව නියමිත කාලය සම්පූර්ණ වීමෙන් පසුව යළි පදවියට පත් නොකෙරිණි. පසුව ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති පදවියට පත් කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. මේ වෙනස සිදුවූයේද නිකම්ම නොවේ. අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව බැඳුම්කර ගනුදෙනුවට අදාළව ඍජුවම චෝදනා එල්ල වූ බැවින් ඔහු යළි පදවියට පත් නොකරන්නැයි ජනාධිපතිවරයාට ශ්‍රී.ල.නි.ප. මැති ඇමතින්ලාගෙන් ලොකු බලපෑමක් එල්ල විය. එයට ආණ්ඩුව බිහිකිරීමට දායක වූ සිවිල් කණ්ඩායම් ද එකතුවීම නිසා දැඩි තීන්දුවක් ගතයුතු තැනකට ජනාධිපතිවරයා තල්ලුවී සිටියේය. එකී වෙනස සිදුවූයේ ආණ්ඩුවේ යූ.එන්.පී. කණ්ඩායමේ ලොකු ලොක්කන්ගේ නිහඬ විරෝධය මැද යැයි පැවැසීම වඩාත් නිවැරැදි වනු ඇත. නමුත් කතාව එතැනින් නතර වූයේ නැත.

කෝප් කමිටුවේ වාර්තාව එළියට ඒමත් සමඟ බැඳුම්කර බට කැළේට යළි ගිනි ඇවිළුණේය. එම වාර්තාව එළියට ඒමට සමගාමීව වූ ඇතැම් සිද්ධීන් ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශවයේ ප්‍රධානීන්ගේ මනාපයට හේතු නොවූ බව පෙනෙන්නට තිබුණි. යූ.එන්.පී.ය දිගින් දිගටම දැරෑ ස්ථාවරය වූයේ බැඳුම්කරයේ කිසිදු වංචාවක් සිදුවී නැති බවය. මීට වඩා සැකසහිත රටට විශාල වශයෙන් පාඩු ගෙනදුන් වංචනික ක්‍රියා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ පාලනය යටතේ සිදුවී ඇති බවත් ඒවාද සෙවිය යුතු බවත් යූ.එන්.පීය වරින් වර කියයි.

කෙසේ වුවද කෝප් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් ලබාදීමට ආණ්ඩුව එකඟ විය. එම විවාදයේදී ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී පාර්ශවයේ මැති ඇමැතිවරුද බැඳුම්කර ගනුදෙනුවේ විශාල වංචාවක් සිදුවී ඇති බවට චෝදනා කළහ. ආණ්ඩුව බලයට ගෙන ඒමේ සටනේදී වේදිකාවෙන් ඉවත සිට සහාය දුන් ජ.වි.පෙ. ද බැඳුම්කරයට දැඩි ලෙස පහර දුන්නේය. එතැනින්ද සිද්ධිය අවසන් වනු ඇතැයි යූ.එන්.පී. නායකයන් තුළ කිසියම් බලාපොරොත්තුවක් වී නම් එයටද ඉඩක් නැති බව දැනෙන්නට ඇත්තේ ජනාධිපතිවරයා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමෙන් පසුවය. ශ්‍රේඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සහ හිටපු නියෝජ්‍ය විගණාකාධිපතිවරයකුගෙන් සමන්විත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ අධිකරණ සංකීර්ණයේ පිහිටුවා තිබේ. කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් කටයුතු කරන සුමතිපාල උඩුගමසූරිය මහතාගේ නමින් පුවත්පත්වල “මහජනයා වෙත කෙරෙන දැනුම් දීමයි* වශයෙන් පළ කෙරුණු දැන්වීමක අංක 1 යටතේ මෙසේ සඳහන් වී තිබිණි.

2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව.
01. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය) අංක 02 වගන්තියේ විධිවිධානවලට අනුකූලව 2017 ජනවාරි 27 දිනැති අංක 2003/41 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ කර පළ කරන ලද 2017 ජනවාරි 27 දිනැති ප්‍රකාශයේ වඩාත් සවිත්තරව සඳහන් පරිදි පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා ඉහත කොමිෂන් සභාප පත් කර ඇත.
01. (අ) 2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව (මෙහි මින්පසු එම භාණ්ඩාගාර බැඳුම්කර යනුවෙන් හඳුන්වනු ලබන) සහ විශේෂයෙන්ම,
එම එක් එක් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් සපයා ගැනීමට අපේක්ෂා කළ මුදල් ප්‍රමාණය.

එම එක් එක් භාණ්ඩාගාර බැඳුම්කර මත ගෙවිය යුතු පොලී අනුපාතය හෝ ගෙවිය යුතු පොලී අනුපාතය නිගමනය කිරීමේ ක්‍රමවේදය.
එම එක් එක් භාණ්ඩාගාර බැඳුම්කර මත පොලිය ගෙවිය යුතු දිනයන්
එම එක් එක් භාණ්ඩාගාර බැඳුම්කර මුදල් ගෙවා බේරුම් කරගනු පිණිස එකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ නිදන් අරමුදල් දායක මුදලක් වශයෙන් ඒකාබද්ධ අරමුදලෙන් සහ ශ්‍රී ලංකාවේ වත්කම්වලින් මුදල් ලබාගත හැකි අනුපාතිකය සහ එසේ මුදල ලබාගත හැක්කේ කවර කාල සීමාවන් අවසානයේදීද යන වග සහ එකී දායක මුදල ආරම්භ විය යුත්තේ කවර දිනයක සිටද යන වග.
එම එක් එක් භාණ්ඩාගාර බැඳුම්කර නිදහස් කිරීමේ දිනය (Date of redemption)
(ආ) ප්‍රාථමික ගැණුම්කරුවන් / වෙළෙඳුන් (Primary Dealers) සෘජුව සහභාගීවන්නන් (Direct Participants) හෝ සෘජු වශයෙන් සහභාගීවන වෙළෙඳුන් (Dealer Participants) විසින් එම භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කිරීම.
එහි අංක 2 යටතේ ඉහත සඳහන් කාරණා පිළිබඳව ශ්‍රී ලංකා මහබැංකුවේ කළමනාකරණය, පරිපාලනය සහ කටයුතු පවත්වාගෙන යාම ඇතුළු අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් (එම කරුණු සවිස්තරාත්මකව දැන්වීමේ පළකර තිබේ) ලිඛිත නියෝජන, පැමිණිලි, ප්‍රකාශ හෝ තොරතුරු ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට / පුද්ගලයන්ට හෝ සංවිධානයකට හෝ සංවිධාන වලට ඇරියුම් කර තිබේ. එම සියලු පැමිණිලි, ප්‍රකාශ දැන්වීම් සහ තොරතුරු පෙබරවාරි 28 වැනිදා හෝ ඊට පෙර කොමිෂන් සභාවේ ලේකම් වෙත එවිය යුතු බවද සඳහන්ය.

අප මුලින් සඳහන් කළත් මෙන් බැඳුම්කර ගනුදෙනුව මුලින්ම සිදුවු 2015 පෙබරවාරි 27 වැනිදා එම ගනුදෙනුවට අදාළ කිසිදු පාර්ශ්වයක් ඊට වසර දෙකකට පසුව එනම් 2017 පෙබරවාරි 28 වනවිට එම ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ආරම්භ වනු ඇතැයි කිසිසේත් සිතන්නට නැත. එපමණක් නොව ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශවය දැන් පවසන්නේ රාජ්‍ය ආයතන 15ක කෝටි 11000ක් පාඩුවට සමාන පාඩුවක් බැඳුම්කර වංචාවෙන් සිදුවී ඇති බවය. මේ ගැන මුදල් අමාත්‍යංශයේදී පසුගිය බ්‍රහස්පතින්දා (09) පැවැති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා කිව්වේ මෙසේය. 

කෝප් කමිටු වාර්තාවට අනුව රාජ්‍ය ආයතන 15කින් ගතවූ වසර දෙක ඇතුළත සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 11000ක්. ඊට සමාන මූල්‍ය පාඩුවක් මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සිදුවී තිබෙනවා. 
මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති විගණන වාර්තාව සම්බන්ධයෙන් කිසියම් හෝ ඇමැතිවරයකු විගණකාධිපතිවරයාට බලපෑම් කරනවා නම් එය වැරදි ක්‍රියාවක්. 
මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳව මේ වනවිට තවත් අභ්‍යන්තර විගණන දෙකක් සිදුවෙනවා.

විගණකාධිපතිවරයා වගකිව යුත්තේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නිවැරදිව රාජකාරි කරන අවංක නිලධාරියෙක්. යහපාලනය හා විගණනය යා යුත්තේ එකටයි.
ඊට අමතරව හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදේශ සංචාර පිළිබඳ වියදම් සහ අනෙකුත් වියදම් පිළිබඳ විගණන පසුවිපරමක් සිදුකර තිබෙනවා. එහිදී ඔහු විසින් කර ඇති අයථා ගනුදෙනු රාශියක් පිළිබඳව තොරතුරු එළිදක්වා තිබෙනවා. 
මෙය ඔහු පිළිබඳව ලබාදී ඇති පැහැදිලි සහතිකයක්. මෙම අභ්‍යන්තර විගණන වාර්තාවට ඔහු පිළිතුරැ දිය යුතුයි. 
මෙපමණක් නොව මහ බැංකුවේ හිටපු අධිපතිට එරෙහිව මහබැංකුවේ අභ්‍යන්තර විගණක දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ විදේශ සංචාර සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කළ යුතු බව මුදල් රාජ්‍ය ඇමැති ප්‍රකාශ කර තිබුණි. විගණන වාර්තාවෙන් මුදල් අවභාවිත චෝදනාවක්ද යොමුකර ඇතැයිද ප්‍රකාශ විය. මේ අතර වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය කුමාරස්වාමි පසුගිය 08 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ ගනුදෙනු සීමා කිරීමට මුදල් මණ්ඩලය පියවර ගෙන ඇති බවය.

ඇමැති මණ්ඩලයේ මාරුවක් පිළිබඳව කතාබහ ඇදී යන්නේ මේ පසුබිම යටතේය. මෙවැනි රටට දැනෙන වෙනසක් පිළිබඳව පසුගිය සතියේ සිකුරාදා (03) ඉහළ මට්ටමින් පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රටේ වංචා හා දූෂණ මුලිනුපුටා දමන්නට තමන් පියවර කීපයක් ගැනීමට අදහස් කරන බවය. එය ඇමැති මණ්ඩල වෙනසක් පිළිබඳව අදහස් මතුකිරීමක් බව සමහරුන්ගේ මතය විය. එය පසුව තවත් ඉහළ මට්ටමින් සාකච්ඡාවට ගැනුණුද ජනපතිවරයා කිසියම් හේතුවක් හෝ හේතු ගණනාවක් නිසා ඇමැති වෙනසකට අත තබන්නට ගියේ නැත. මේ වෙලාවේ ඇමැතිමාරුවක් සිදු කිරීම සුදුසු නැතැයි යන මතය දරණ අගමැතිවරයා ප්‍රමුඛ යූ.ඒ.පී. ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ අයි.එම්.එෆ් ණය දෙවැනි වාරිකය ලැබීමට නියමිත වීම සහ ජිනීවා මානව හිමිකම් සැසිය හේතුවෙන් මේ අවස්ථාවේ එවැනි මාරුවකට අත තැබීම අවාසිදායක වන බවය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඇතැම් දේශපාලන විචාරකයන් පවසා තිබුණේ ඇමැති මාරුවක් සිදු නොකිරීමට මේ හේතු දෙකම බල නොපාන බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබාදෙන්නේ රටක ආණ්ඩුවට මිස ඇමැතිවරයකුගේ මූණ බලා නොවන බව කියන ඔවුන් ජිනීවා සැසියේද ප්‍රශ්නවලට මුහුණ දිය යුත්තේ ආණ්ඩුව මිස පුද්ගලයන් නොවන බවද පෙන්වා දී තිබිණි. ජනාධිපතිවරයා ඇමැතිමාරුව කල් දැමීමට පොරොන්දුවක් දුන්නා දැයි හරියටම දැනගන්නට නැත. එහෙත් පෙනෙන්නට තිබෙන්නේ ඇමැති මාරුව ලබන මැයි මාසය තෙක් කල්යනු ඇතැයි යූ.එන්.පී. ඇමැතිවරුන්ගේ මතය වී තිබෙන බවයි. මැයි මාසයේ දී මෙවර කොළඹ පැවැත්වෙන ජගත් වෙසක් උළෙලට ඉන්දියා අගමැති මෝදි පැමිණිමට නියමිතය. කල් දමමින් තිබෙන පුංචි ඒ ඡන්දය ද ජූනි මාසයේ පැවැත්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් වේ. එසේනම් ඇමැතිමාරැව මැයි මාසය වනතුරු කල්යන බවට කරන ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ මේ වසර තුළදී එවැනි මාරුවක් සිදුනොවන බවට යූ.එන්.පී. ඇමැතිවරුන් තුළ බලාපොරොත්තුවක් තිබෙන බවය.

බලාපොරොත්තු එසේ වුවද ඇමැති මාරුව සිතෙනවාට වඩා කළින් සිදුවීමටද ඉඩ තිබේ. සමහරු කියන්නේ පසුගිය දින කීපය තුළ ශ්‍රී.ල.නි.ප.යේ මෛත්‍රී පාර්ශවයේ ඇමැතිවරැන් බැඳුම්කර ගනුදෙනුව ඇතුළු විවිධ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳව වැඩි වැඩියෙන් කතා කරන්නේ ඒ සඳහා පාර කැපීමට බවය. මුදල් ඇමැතිධූරය මෙසේ ඇමැති මාරුවේදී වියහැකි එක් වෙනස් වීමක් බව තිරය පිටුපස ප්‍රබල කතාවක් තිබුණේය. බැඳුම්කර චෝදනා ගැන කතාකරන විට මුදල් ඇමැති ධූරය නිතැතින්ම එයට ඈඳෙයි. එපමණක් නොව මුදල් අමාත්‍යංශයේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ බලවතුන් තුළ එතරම් ප්‍රසාදයක් නැති බවද පෙනෙන්නට තිබේ. ලොතරැයි ටිකට් මිල රුපියල් 30 කිරීම ළඟදීම එළියට ආ එවැනි එක් ගැටලුවක් විය. එයට අවසානයේ විසඳුම ලබාදුන්නේ ජනාධිපතිවරයාය. එම විසඳුම මුදල් ඇමැති රවිගේ සතුටට හේතු නොවූ බව පැහැදිලිවම පෙනුණේය.
ඇමැති මාරැව හිතන තරම් කල්යන්නේ නැතිනම් බැඳුම්කර ඇතුළු විවිධ මුදල් කටයුතු සම්බන්ධව නැගෙන චෝදනා හේතුවෙන් මුදල් ඇමැති පදවියේ වෙනසක් සිදුවන බව පැහැදිලිය. වෙනත් ආකාරයකට කියන්නේ නම් මුදල් ඇමැති ධූරයේ වෙනසක් සිදුනොවන්නේ නම් ඇමැති මාරැවක්ද සිදුවීමට ඉඩක් නැත.

මේ ගැන හෝඩුවාවක් ලැබුණේ ජනාධිපතිවරයා ඉහත කී ඉහළ පෙළේ රස්වීමේදී තමන් අතට පත්ව තිබූ සමීක්ෂණ වාර්තාවක් පිළිබඳව කළ සඳහනේදීය. පවතින පාලනය පිළිබඳව මහජන අදහස් විමසමින් සිදුකර තිබූ එම සමීක්ෂණ වාර්තා ආණ්ඩුවට හිතකර තත්ත්වයක තිබුණේ නැත. එයට එක් හේතුවක් වශයෙන් දැක්වුණේ දූෂණ සහ වංචා පිළිබඳව දිගින් දිගටම එල්ල වන චෝදනා බවද කියති.
මේ සමීක්ෂණ වාර්තා දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ කුමක් වුණත් දූෂණ ක්‍රියා සහ මුලින් පිටුදැකීමට කටයුතු කිරීම අවශ්‍ය බවය. ආණ්ඩුවේ ප්‍රතිරෑපය යළි ගොඩ නංවා ගැනීමට යම් පියවර ගත යුතුව ඇතිබවද ඔහු කියා තිබිණි. නැත්නම් අපි අපේම වළ කපාගැනීමක් වෙනවා යනුවෙන්ද ඔහු එහිදී කියා තිබුණේය. නමුත් දැනට නම් පෙනෙන්නේ යම් පියවර ගැනීම ඇමැති මාරුව නම් එය දැන්ම නොකෙරෙන බවය. 
මේ අතර ආණ්ඩුවට සයිටම් අර්බුදය හේතුවෙන් විශාල පීඩනයකට මුහුණ දීමටද සිදුවිය. සයිටම් විරෝධය දිගුකලක් තිස්සේ තිබුණත් පසුගිය 31 වැනිදා අභියාචනාධිකරණය මගින් ලබාදුන් තීන්දුවක් සමඟ එය අළු ගසා දමා නැගිටින බවක් පෙනිණි. වෛද්‍ය පීඨ සිසුන් අත තිබූ සයිටම් විරෝධී සටන් පාඨය මේ වනවිට ජවිපෙත් ඒකාබද්ධ විපක්ෂයේත් සටන් පාඨය වී තිබේ. සයිටම් ගැටලුව මේ තරම් උණුසුම් වූයේ රජයට එරෙහි දේශපාලන බලවේග සියල්ලම එකවිට පීඩනය මුදාහැරීමට මේ සටන්පාඨය යොදාගැනීම නිසා බව සමහරැන්ගේ මතයයි. රජය ජනප්‍රිය මට්ටමක සිටියා නම් මේ ගැටලුව මෙතරම් දරුණු තත්ත්වයට පත් නොවනු ඇති බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

තම අත තිබූ ජනතාවගේ විශ්වාසය ටිකෙන් ටික දිය වෙන්නට ඉඩහැරීමේ පළ විපාක අද ආණ්ඩුවට විඳින්නට සිදුවී තිබෙන බව පැහැදිලිය. බැඳුම්කර ගැටලුවට අදාළව ගත යුතුව තිබූ පියවර ආණ්ඩුව විසින් එදා ගෙන තිබුණා නම් විපක්ෂයත් ආණ්ඩුවේ පාර්ශ්වයකුත් එක දිගට පට්ට ගසන බැඳුම්කර ගනුදෙනුවට වසර දෙකක් පිරෙන ලබන 28 වැනිදා ආණ්ඩුවට මේ තරම් හිසරදයක් නොතිබෙන්නට හොඳටම ඉඩ තිබිණි. පුද්ගලයකු හෝ දෙදෙනකු රැකගන්නවාද ආණ්ඩුවේ හොඳනම රැක ගන්නවාද යන ගැටලුවට ආණ්ඩුව හරි පිළිතුරක් ලබා දී තිබුණා නම් අද ආණ්ඩුවත් ගොඩය. රටත් ගොඩය.

I ශශින්ද්‍ර

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00