2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පේරාදෙණියේ සරච්චන්ද්‍ර සහ ජපානයේ කවබතා

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 209

සරච්චන්ද්‍රගේ ජපන් සංචාරයෙන් පසු පේරාදෙණියේ සරසවියේ සිංහල අංශය තුළ ජපන් සංස්කෘතිය ගැන අලුත් උනන්දුවක් ඇති විය. ඊට පෙර සිංහල අංශය වඩාත් සම්බන්ධ වී සිටියේ භාරතය සමඟයි. එයට හේතුව පාලි, සංස්කෘත හා වංග භාෂා හා සිංහල අතර තිබුණ එකමුතු බව පමණක් නොවේ.  සිංහල බසේ ව්‍යාකරණ ගැන වඩාත් අවධානය යොමුකළ ආචාර්යවරුන් තම පරමාදර්ශය ලෙස යොදාගත්තේ සකු වියරණයයි.  එබැවින් භාෂා නිරුක්තිය සෙවීම වැදගත් මෙහෙයක් ලෙස සැලකූ කල්කටා විශ්වවිද්‍යාලය හා පුනාහි පැවති ශාස්ත්‍රාලයන්ද අප භාෂා විශේෂඥයින්ගේද අවධානයට ලක්විය. මීට අමතරව ලන්ඩන් සරසවියේ ප්‍රාචීන භාෂා අංශයද මහත්කොට සැලකූවේ ව්‍යාකරණයයි. ඒ අනුව මහාචාර්යවරුන් වූ මලලසේකර, හෙටිටිආරච්චි, ඕ.එච්.ද.ඒ. විජේසේකර, විජයරත්න, ශ්‍රී රම්මන්ඩල හා කුලසූරිය වැනි අය ඒ කාලයේ ප්‍රචලිත වාග් විද්‍යාව මනා ලෙස හදාරා මෙරට ශිෂ්‍යයන්ට හඳුන්වා දුන්නෝය. එම අච්චුවෙන් ටිකක් හෝ ඉවතට පැන වෙනත් විෂයන් ගැන උගන්වන ලද්දේ පාලි හා සංස්කෘත අංශ විසිනි.  එම කාලයේ තරැණ ගුරැවරැන් අතර සාහිත්‍යය හා කලා ගැන උනන්දුවක් දැක්වූයේ සිංහල අංශයෙන් මිදී සංස්කෘත සිය ප්‍රධාන තේරීම බවට පත්කර ගත් සිරි ගුණසිංහ පමණි.

බටහිර භාෂා ශාස්ත්‍ර උගැන්වූ ප්‍රබල අධ්‍යයන අංශයක් තිබීමද සිංහල අංශයට බලපෑවේය. බටහිර භාෂා පිළිබඳ කථිකාචාර්යවරැන් හා ප්‍රාචීන භාෂා ගුරුවරුන් අතර පුද්ගලික සුහදකමක් තිබුණද ශාස්ත්‍රීය වශයෙන් ඔවුන් සමඟ සම්බන්ධයක් පැවතියේ සරච්චන්ද්‍ර පමණි. සරච්චන්ද්‍ර වාග් විද්‍යාඥයෙක් නොවීය. ඔහුගේ සගයින් මෙන් සිංහල ව්‍යාකරණය සිසු සිසුවියන්ට උගැන්වීමට ඔහු ඉදිරිපත් නොවීය. මුල් වර්ෂයේ මා සිංහල පංතිවලට ගියෙන් සිංහල ව්‍යාකරණ යනුවෙන් සතිපතා පීටර් සිල්වා හා විජේරත්න යන කථිකාචාර්යවරුන්ගේ දේශනවලට සවන්දීමට මට සිදුවිය. අප විසූ අරුණාචලම් ශාලාවේ සහකාර පාලක (පාලක වූයේ මහාචාර්ය හෙට්ටිආරච්චිය) හැටියටද කටයුතු කළ පීටර් සිල්වා ඉතාම කාරුණික පුද්ගලයෙකු විය. ඔහු කවදාවත් අපට නීති දැමීමට කටයුතු කළේ නැත.  සියලුම විනය කටයුතු ඔහු මහත් ගරුසරු ඇතිව හෙට්ටිආරච්චිටම පැවරැවේය. එසේ වුවද ඔහුගේ දේශන කෙරෙහි අපගේ අවධානය යොමු නොවීය. ඔහු ඉගැන්වූදේ පහසුවෙන්ම අපට පෙළ පොතකින් උකහා ගැනීමට පුළුවන් විය. පීටර් සිල්වා හෙළහවුලට සම්බන්ධ වූ කෙනෙක් හැටියට මට මතකය. එකල හෙට්ටිආරච්චිගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබූ සිංහල ශබ්දකෝෂයේ කාර්යාලය පිහිටා තිබුණේ පේරාදෙණිය සරසවි භූමියේය. එම හෙළ හවුලේ නායකයින් සැන්දෑවක පීටර් සිල්වාගේ කාමරයට සාකච්ඡා සඳහා ඇතුළුවෙනවා මා දැක තිබේ. ඒ යුගයේ සරසවියේ සිංහල අංශය ගැන වඩාත්ම විවේචන එල්ල කළේ හෙළ හවුලයි. ඔවුන්ගේ ප්‍රබලයන් කීපදෙනෙක්ම, විශේෂයෙන්ම වඩාත් කර්කෂ විවේචන එල්ලකළ අමරසිරි ගුණවඩු සිංහල ශබ්දකෝෂයේ සහකාර පර්යේෂකවරයෙක් ලෙස බඳවා ගැනීමෙන් පසුව සිංහල අංශය කෙසේවුවත් හෙට්ටිආරච්චි ශූරීන් ගැන කරන ලද විවේචන අවසන් විය. පීටර් සිල්වාගේ ආගමනයත් හෙට්ටිආරච්චිගේ ඒ ශූර බුද්ධියේ ප්‍රතිඵලයක් යැයි දැන් මට සිතේ.

පේරාදෙණියට සංක්‍රමණය වීමට පෙර පටන්ම සරච්චන්ද්‍ර ඉංග්‍රීසි අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය ලින් ලුඩොවයික්ගේ මිතුරෙක් විය. ඔවුන් දෙදෙනාම ගාල්ලේ උපන් අය වීම එයට එක හේතුවක් විය හැකිය. අනිත් අතට සරච්චන්ද්‍ර මුලදී නාට්‍ය පිළිබඳ ගුරුහරුකම් ලබාගත්තේ ලුඩොවයික්ගෙනි. විශේෂයෙන්ම සිංහලයට පරිවර්තනය කිරීමට සුදුසු බටහිර නාට්‍ය තේරීමට ලුඩොවයික් උපකාරීවූයේ යැයි සරච්චන්ද්‍ර කියා තිබේ. මොලියර් (ඉබේ වෙදා) හා ගොගෝල් (රහස් කොමසාරිස්) ගේ නාට්‍ය අප සමාජයට සරිලන ලෙස සකස් කර ගත හැකි යැයි උපදෙස් දෙන ලදි. එකී හාස්‍යෝත්පාදක නාට්‍ය සිංහල මැද පංතිය අතර ජනප්‍රිය විය. අනික් අතට ලුඩොවයික් ඔහුගේ නාට්‍ය නිෂ්පාදනය සඳහා තෝරාගත්තේද පෙරදිග නාට්‍ය කලාවට සමීප වූ බර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ නාට්‍ය කීපයක් මෙන්ම “මැටි කරත්තය” වැනි නිර්මාණයන්ය.

සරච්චන්ද්‍ර විසින් ජපන් කලාව කෙරෙහි යොමුකළ අවධානය එකල සරසවි සිසුන් වූ අපගේ මහත් ප්‍රබෝධයට හේතුවක් විය. මනමේ නාටකය පමණක් නොව ජපන් නවකතා, කෙටිකතා, නාට්‍ය හා සිනමාව කෙරෙහිද අපේ සිත් යොමුකරන ලදී. අපේ උනන්දුව වඩාත් හොඳින් පෙනුණේ ජපන් නවකතා හැදෑරීමේදීය. ජපන් නවකතා සියල්ලම පාහේ එකල සරසවිවල ගුරැතැන්හි රඳවා තිබුණ බටහිර නවකතා කලාවට අභියෝගයක් බඳු විය. දහස් ගණන් වදන්වලින් හා දිගින් දිගට ඇඳෙන පරිසර විස්තර මෙන්ම ඇල්මැරැණ කාමුකත්වයක් දැක් වූ එම නවකතා හා සසඳන විට ජපන් නවකතා සරල, සිත්ගන්නා, කාමුක සංකේතවලින් පිරැණු කෘති බවට අපට හැඟී ගියේය. ඒවා තුළින් පිළිබිඹු වූ රසඥතාවය හා අනුවේදනීය බව තරුණ අපට අලුත් අත්දැකීමක් විය.  මිෂිමා, දසයි, අකුතගාවා හා කවබතා වැනි නවකතාකරැවන්ගේ පොතපත කියැවීමට අපට මග පාදා දුන්නේ සරච්චන්ද්‍රය. එමෙන්ම එකල ඉංග්‍රීසි බසින් විස්තර සැපයූ ඩොනල්ඩ් රිචී වැනි විචාරකයින් හරහා එම කෘති රස විදීමට අත්වැලක්ද සපයන ලදී.  සරච්චන්ද්‍රගේ උපදෙස් අනුව අප උනන්දුවෙන් කියැවු නවකතාවක් වූයේ යසුනරි කවබතාගේ “ස්නෝ කන්ට්‍රි” හෙවත් “හිම පෙදෙස”යි. කවබාතාගේ මුල්ම නවකතාවක් වූ “හිම පෙදෙස” (ජපන් බසින් ‘යකිගුනි’) යුද්ධයට පෙර ජපන් සංස්කෘතියේ පැතිකඩක් අප වෙත ගෙන එයි. එහි ප්‍රධාන චරිතය වූ ශිමාමුරා තෝකියෝවේ වෙසෙන පොහොසත් මැදිවියේ කෙනෙකි. එහි ඔහුට භාර්යාවක් හා දරුවෙක් සිටී. එහෙත් ඔහු එකල පෙහොසත් නාගරික ජපනුන්ගේ සිරිතක් අනුගමනය කරමින් කලින් කලට නිගාටා යැයි නම් කර ඇති “හිම පෙදෙස”ට රේල්ලුවෙන් ගමන් කරයි. එහිදී ඔහුට කොමිකෝ නමැති තරුණියක් හමුවෙයි.  ඇය ගෙයිෂා කතක් හෝ උගත් කාමීනියක් වීමට වෙරදරන සුන්දර තරුණියකි. තෝකියෝවේ ගෙයිෂාවන් ගෞරවනීය විලාසිනියන් වුවද හිම පෙදෙසේ වෙසෙන කොමිකේ වඩාත් ළංවන්නේ වෙසඟනකටය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධයෙන් ශිමාමුරාගේ අපේක්ෂා භංගත්වයත් අවසානයේදී ඔවුන් දෙදෙනාට කවදාවත් එක්වීමට නොහැකි බව ප්‍රත්‍යක්ෂ වීමත් තුළින් අප තුළ කම්පාවක් ඇති කරයි.

කවබතාගේ “හිම පෙදෙස” මා කියන විට “මළගිය ඇත්තෝ” ලියන අතර එම නවකතාව සරච්චන්ද්‍රගේ සිතේ දෝංකාරයක් ඇති කරන්නට සමත්වී ඇතැයි සිතුණි. සරච්චන්ද්‍රගේ චරිත වන දෙවෙන්දොරා සං හා ඔහුගේ ප්‍රේමවන්තිය වූ නොරිකෝ අතර වූ සම්බන්ධය කවබතා නිර්මාණය කළ චරිත නැවතත් අප සිත් තුළ මවයි. මා මෙය කියන්නේ සරච්චන්ද්‍රගේ ගෞරවය පිණිසයි. “මළගිය ඇත්තෝ” කිසිසේත් කොපියක් නොවේ.  එක් නවකතාවක් අප සිත තුළ ප්‍රබෝධයක් ඇති කර අප සිත් සතන් තුළ කිඳා බැසීම එම නවකතාවේ බලවත්කම පිළිබිඹු කරන්නකි. ඒ සුන්දර එකමුතුව තුළින් නූතන සිංහල සාහිත්‍යයේ ඉහළම ගණයේ කතාවක් වූ “මළගිය ඇත්තෝ” නිර්මාණය වීම කෙතරම් ආශ්චර්යයක්ද?  එය කියවන්නන් වූ අපට අත් වූ මහත් වාසියක් නොවේද? එය වඩාත් වැදගත්වන්නේ 1967දී කවබතාට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමුන හෙයිනි.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00