2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

ලක් සරසවි හා ජපන් සංස්කෘතිය

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

ගිය සතියේ පුවත්පත්වල බුද්ධිමත් පාඨකයන්ගේ ඇඟ කිළිපොලා යන දැන්වීමක් පළකර තිබුණේය.  පිටු කීපයකට දිවෙන ඒ දැන්වීමෙන් හෙළිකරන ලද්දේ ලංකාවේ සරසවිවල පත්වීම් ලබා විදේශ රටවල වැඩිදුර ඉගෙනගැනීමට ගොස් ආපසු නොපැමිණි කථිකාචාර්යවරැන්ගේ නම් ගම්ය. එම ලැයිස්තුව නූතන ලංකාවේ ඛේදවාචකය මොනවට පැහැදිලි කරයි.  නිදහස් අධ්‍යාපනය ලබා සතයක්වත් වියදම් නොකර අපේ සරසවිවල තනතුරු ලබා එම ආයතනවල ප්‍රධානීන් සහ ඇපයට අත්සන් කරන කළ සගයන් හා නැදෑයන් පාවා දී වෙනත් රටවල පදිංචි වී විදේශ විනිමය එක්රුස් කර තමන් පමණක් ජය කණුව වෙත යෑමට තැත් කරන නරුමයන්ගේ ලේඛනයකි ඒ. පුදුමයට හේතුව නම් ඔවුන්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට සරසවි පරිපාලනය අසමත් වීම පමණක් නොව තම ආයතනයට වූ මූල්‍යමය පාඩුව පුරවා ගැනීමට ද සරසවි පාලනය අපොහොසත් වීමයි. එම උදාසීනත්වය තුළින් තවත් නරැමයන් බෝවන බව සරසවි නිලධාරීන් අමතක කර ඇති බව පෙනේ.

මේ කරුණු මා සිතට පිවිසියේ අප සරසවියේ සිටි කාලයේ කටයුතු කොතරම් ක්‍රමානුකූලව කරන ලද්දේ දැයි මෙනෙහි කිරිමෙන් පසුවය. එකල දැන් මෙන් එක් අංශයක සිය ගණන් ගුරුවරුන් සිටියේ නැත.  පළමුවැනි පංතියේ හෝ දෙවැනි පංතියේ උසස් සාමාර්ථයක් ලබා ගැනීම කළුනික සෙවීම වැනි දුෂ්කර කාර්යයක් විය. එපමණක් නොව එකල ප්‍රශ්න පත්‍ර නැවත පිරික්සීමක් සඳහා විදේශ සරසවිවලට යවන ලදින් ලෝකයේ උසස්ම ගුරුවරුන්ගේ වර්ගීකරණය අපට ලබා ගත හැකි විය. 

මා මේ කරුණු සඳහන් කරන්නේ එකල සරසවිවල ජ්‍යෙෂ්ඨ ගුරු මණ්ඩලය තරුණ කථිකාචාර්යවරුන්ගේ වැඩිදුර උගැනුම තම විද්‍යාංශයේ අවශ්‍යතාවයන් අනුව සකස් කළ අයුරු ගැන හෙළිදරව්වක් කිරීමටයි. ඒ පිළිබඳ නිදසුන් දෙකක් මෙතැන ඉදිරිපත් කළ හැකිය. අප පේරාදෙණියට පිවිසීමට පෙර පටන්ම ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ ගුරැවරැන් තම අංශයේ බුද්ධිමය හිස්තැන පුරවාගෙන තිබුණි. ඒ අනුව ලංකාවේ අධිරාජ්‍ය යුගයේ ඉතිහාසය විග්‍රහ කිරීමට උප කථිකාචාර්යවරැන්ට විශේෂ ගවේෂණ මාතෘකා ලබාදී තිබුණි. ආචාර්ය ටිකිරි අබේසිංහව තෝරාගෙන තිබුණේ “පෘතුගීසි යුගය” ගැන පර්යේෂණ කිරීමටය. පෘතුගීසි බස ඉගෙන ගෙන ලිස්බන් නගරයේ ගොනුකර තිබූ  ලිපි හා සටහන් විභාග කරමින් අබේසිංහ එම යුගය ගැන සම්පූර්ණ විමර්ශනයක් කොට ඉංග්‍රීසි හා සිංහල භාෂාවලින් ග්‍රන්ථ සැපයුවේය. ඊළඟට ඕලන්ද යුගය දෙකට බෙදා මුල් යුගය ආචාර්ය කාල් ගුණවර්ධනටත් දෙවැනි යුගය ආචාර්ය සින්නයියා අර්සරත්නම්ටත් විභාග කිරීම සඳහා වෙන් කරන ලදී. ඉන් ඉක්බිතිව ඉංග්‍රිසින්ගේ ආගමනයත් සමඟ ඇති වූ වෙනස්කම් මුල් කරගෙන පර්යේෂණ කිරීමට නියම කරන ලද්දේ ආචාර්ය කිංස්ලි ද සිල්වාටය. එම යුගයේ ව්‍යවස්ථානුකූල වෙනස්කම් ගැන විශේඥයා වූයේ මහාචාර්ය ලැබරෝයිය. මේ අනුව 1505දී පටන්ගත් ලංකාවේ අධිරාජ්‍ය ඉතිහාසය ඉතාම ක්‍රමානුකූලව පර්යේෂණයට හා සාකච්ඡාවලට ලක් කරන ලදී. මේ ග්‍රන්ථ බොහෝමයක් තවමත් සිංහල හා දෙමළ බසට පෙරළා නැති බව දක්වන්නේ දැන් එම විෂය උගන්වන්නේ අර්ධ දැනුම මත පිහිටා යැයි සනාථ කිරීමටයි.

මහාචාර්යවරු වූ හෙට්ටිආරච්චි, සරච්චන්ද්‍ර හා ආරියපාල යන තුන් කට්ටුව ද සිංහල අංශයේ අනාගතය සුරක්ෂිත කරගන්නා අයුරින් සිය තරැණ කථිකාචාර්යවරුන්ගේ පර්යේෂණ හසුරවන්නට දැඩි වෙහෙසක් ගත් බව පෙනේ. මට මතක හැටියට 1958 – 59 කාලයේ සිංහල අංශයේ දීප්තිමත්ම සිසුන් දෙදෙනා මනා කුසලතාවයකින් හෙබි අය වූ බව අපි දැනගෙන සිටියෙමු. හේමපාල විජයවර්ධන අරුණාචලම් ශාලාවේ ලැගුම් ගෙන සිටි අතර, ආරිය රාජකරුණා සිටියේ රාමනාදන් ශාලාවේ උඩුමහලේය. මා ඔහු හමුවීමට ගිය සෑම විටකම ඔහු පොතක් පාඩම් කරනවා දුටුවා පමණක් නොව වචන කිහිපයක් දොඩා මා ඉක්මනින් පිටත්කර යවා නැවතත් පොත් පාඩම් කිරීමට ඔහු පටන් ගත්තේය.  

අප අපේක්ෂා කළ පරිදිම විජේවර්ධන හා රාජකරුණා යන දෙදෙනාම පළමුවැනි පංතියේ සාමාර්ථයන් ලබාගත් හෙයින් සිංහල අංශයේ සහකාර කථිකාචාර්යවරුන් හැටියට ඉක්මනින් බඳවා ගන්නා ලදි. ඒ දක්ෂ සිසුන් දෙදෙනාගෙන් සිංහල අංශයට ලබාගත හැකි දායකත්වය ගැන මහාචාර්ය හෙට්ටිආරච්චි හා සෙසු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සාකච්ඡාවල යෙදුණි. ඒ අනුව හේමපාල ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලයටත් රාජකරැණා ජපානයේ ශාස්ත්‍රාලයන්ටත් යැවීමට ජ්‍යෙෂ්ඨයෝ සැලසුම් කළහ. දීප්තිමත් සිසුන් දෙදෙනා ද එම ඉල්ලීමට එකඟ වූවා පමණක් නොව පසුව ඔවුන් දෙදෙනාම ලංකාවේ ඉහළම තැනට පත් වූ මහාචාර්යවරු බවට පත් වූහ.

හේමපාල පූනාවලට ගියේ සුප්‍රසිද්ධ මාහාචාර්ය බන්ඩර්කාර් එහි උගැන් වූ නිසයි. ඒ අනුව ඔහු සංස්කෘත විචාර ඉතිහාසය හා එහි මූලික සාධක පිළිබඳ අධ්‍යයනයක් කොට ලංකාවේ අංක එකේ ශාස්ත්‍රවන්තයෙක් බවට පත්විය.

ආරිය රාජකරුණා, සරච්චන්ද්‍රගේ උපදෙස් පරිදි ජපානයට ගොස් එහි සාහිත්‍ය හා කලා ගැන පර්යේෂණ කළේය.  ඔහු ජපන් භාෂාව මැනවින් ඉගෙනගෙන ග්‍රන්ථ කිහිපයක්ම සිංහල බසට පරිවර්තනය  කළේය. සරච්චන්ද්‍රගේ ජපන් ගමනින් පසුව අපි සියලු දෙනාම ජපන් නවකතා, නාට්‍ය හා කෙටිකතා ගැන විමසිලිමත් වූවෙමු. මිෂිමා, කවබාතා හා දසයි ඔසමු වැනි නවකතාකරැවන්ගේ කෘති අපි කියවීමට පටන් ගතිමු. කුරෝසාවාගේ චිත්‍රපටි නැරඹීමට ගියෙමු. මිෂිමාගේ “රන් දෙවොල” නවකතාව සුප්‍රසිද්ධ ජපන් පන්සලක් තරුණ භික්ෂුවක් විසින් ගිනි තැබීම වස්තුව කරගෙන ලියන ලද්දකි. පසුගියදා මම ජපානයේ සංචාරය කරන අතර එම “රන් දෙවොල” ද නැරඹීමට ගියෙමි.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00