2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

හැංගි හැංගි වෙස් බැඳිල්ල

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

 

මෛත්‍රීපාල - වික්‍රමසිංහ ආණ්ඩුව ඊයේ (4) යහපාලනයේ තුන්වැනි ජාතික නිදහස් දින උළෙල මහත් අභිමානයෙන් සැමරීමට සියලු කටයුතු යොදා තිබුණේය. ආණ්ඩුව තම මුල්ම නිදහස් දිනය 2015 පෙබරවාරි 04 වැනිදා පැවැත්වූයේද මහත් අභිමානයකිනි. එයට මහත් ජවයක් සහ උද්යෝගයක්ද එක් වී තිබුණු බවත් එම රූපරාමු දෙස නෙත් යොමන ඕනෑම කෙනකුට වැටහෙනු ඇත. ඒ වනවිටත් ආණ්ඩුව බලයට පත්වී අලුත් අගමැති සහ කැබිනට්ටුව දිවුරුම් දී ගතවී තිබුණේ යන්තම් සති තුනක් පමණි.

යහපාලන ආණ්ඩුවේ තුන්වැනි නිදහස් සැමරුම සිදුවෙද්දීත් ඒ අභිමානය ඒ අයුරින්ම තිබුණේය. එහෙම වුණත් එදා පෙනෙන්නට තිබූ ජවයත් උද්යෝගයත් ඒ ආකාරයටම තිබෙනවාදැයි යන්න නම් ගැටලුවකි. එකට එකතු වී එක ගමනක් යාමට පටන් ගත්තත් තම තමන්ගේ බොක්ක වෙනස් බව මේ වනවිට පාර්ශ්ව දෙකටම දැනී සිටීම එයට හේතුවකි. ටික කාලයක පටන් එකම කැබිනට්ටුවේ මැති ඇමැතින් අතර පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ වන්නට පටන් ගත්තේය. බැඳුම්කරය, නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බදු සහ බජට් වැනි සිදුවීම්වලදී මේ විරසක බව එළියටම පැන්නේය. හම්බන්තොට වරාය තුළ චීන ආයෝජන කලාපයක් ආරම්භ කිරීමේ උත්සවය ආණ්ඩුවට වසර දෙක සම්පූර්ණ වීමේ අවස්ථාව සිහිපත් කිරීමට යොදාගත්තත් අවසානයේ එය යූ.එන්.පී. ආණ්ඩුවක අයිටම් එකක් පමණක් බවට පත්වුණේය. අගමැති ඇවිත් හොඳ කතාවක්ද කර උත්සවය පැවැත්වුවත් එයට ජනපති සහභාගි වූයේ නැත. අඩුම වශයෙන් දකුණු පළාත නියෝජනය කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් හෝ එතැන සිටියේ නැත.

මේ තත්ත්වය ඊළඟට ඉහළටම මෝරාගිය අවස්ථාවක් ඉහත සතියේදී යෙදුණේය. එහි එක් පැත්තක් පසුගිය සතියේ මේ තීරැවේදී සඳහන් කළෙමු. එනම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද හිටපු ජනපතිට තද හිතවත්කමක් දක්වන නාරාහේන්පිට අභයාරාමයට ගොස් එහි අලුතින් හැදූ අවුකන අනුරුව විවෘත කොට මලක් පූජාකොට පිනක් දහමක් කරගන්නට ගොස් සිදුකළ දේශපාලන කතාවය. එහිදී එක් අවස්ථාවක ජනපති කිව්වේ බැඳුම්කර විවාදයේදි ආණ්ඩුවත් විපක්ෂයත් දෙපැත්තම නාගත් බවය. මේ කතාවට පිළිතුරක් විය හැකි කතාවක් පසුගිය සෙනසුරාදා අගමැති රනිල් අනුරාධපුර සාලියපුරදී පැවැති රැස්වීමකදී කිව්වේය.

අපි රට භාරගත්තේ ඇයි? මේ අය රට භාරගෙන වසරකින් අනාගත් පසු නැවත බලයට එන්න හැකිවේයැයි රාජපක්ෂ කල්ලිය හිතුවා. නමුත් අපි අනාගත්තෙ නෑ. අපි ආර්ථික කඩාවැටීම පාලනය කරගත්තා.

තමන්ගේ ආණ්ඩුව අනාගත්තේ නැති බව කිව්වේ අභයාරාමයේදී ජනපතිගේ කතාවට පිළිතුරක් වශයෙන් දැයි එක එල්ලේම කියන්නට බැරිය. එහෙම වුණත් රනිල් එහිදී මහින්දගේ පාලනයටත් දැඩිව පහර දුන්නේය. මේ වසරේදී ආණ්ඩුව පෙරළන බවට මහින්ද වසර මුලදී කතාවටද රනිල් දැඩිව පිළිතුරු දුන්නේ මේ රැස්වීමේදීය. තමන් විදේශගතවූ විට ආණ්ඩුව භාරගන්නැයි මහින්දට කිව්වත් ඔහු දැන් බලාගෙන සිටින බව කියන බවද පැවැසූ රනිල් ආණ්ඩුවක් ගන්න බලා ඉන්නේ කව්දැයි ප්‍රශ්න කළේය.

මහින්දගේ නුගේගොඩ රැළිය ගැනද රනිල්ට තද විවේචනයක් තිබුණි.

යහපාලන රජයේ ඇමැතිවරුන් නුගේගොඩ රැස්වීමට එන බව පැවැසුවා. නමුත් ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් ආවෙ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තරගයට ආවෙ නැත්නම් තමා විශ්‍රාම යාමට සූදානමින් සිටි බව නුගේගොඩ රැස්වීමේදී මහින්ද රාජපක්ෂ පවසා තිබුණා. මම ශ්‍රීලනිප සාමාජිකයකු නොවන නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ගැන මා කතා කළ යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළේ වාර දෙකකින් විශ්‍රාම යාමටයි. ඒ අනුව ඒ මහතා වාර දෙකකින් පසුව විශ්‍රාම ගියා. ඩී.බී. විජේතුංග මහතා එක්වාරයක් ජනාධිපති ධූරයේ සිට විශ්‍රාම ගියා. චන්ද්‍රිකා මහත්මිය වාර දෙකක් සේවය කර විශ්‍රාම ගියා. අප ව්‍යවස්ථාව නිර්මාණය කළේ ශ්‍රීලනිපයේ වුවත් එජාපයේ වුවත් වාර දෙකක් ධූරයේ කටයුතු කර විශ්‍රාම ගැනීමටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ගෙනැවිත් වාර දෙකේ ක්‍රමය සංශෝධනය කළේ ඇයි? ඒ ව්‍යවස්ථාව එහෙමම තබාගෙන විශ්‍රාම ගියා නම් කියන ප්‍රශ්න එකක්වත් එන්නෙ නැහැනේ? හිටපු ජනපති විශ්‍රාම නොගිය නිසා අපි පොදු අපේක්ෂක ඉදිරිපත් කළා. ඉන්පසු මහින්ද රාජපක්ෂ ජනතාව විසින් විශ්‍රාම යැව්වා. ආණ්ඩු මාරැකළේ හොඳ වෙලාවටයි. මහින්ද රාජපක්ෂ රටේ ආර්ථිකය විනාශ කළා. රටේ ආර්ථිකය විනාශ කර දැඩි සත්කාර ඒකකයට දමා තිබුණා. ඒ අසනීපෙට බෙහෙත් දෙන්න දැනගෙන හිටියෙ නෑ. අවසානේ ලෙඩා අමාරඅවේ දමා දොස්තර පැනලා ගියා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් මටත් ඒ ලෙඩා භාරගන්න වුණා.

කවුරඅහරි නටන්න ආවොත් එක්සත් ජාතික පක්ෂය සමඟ නටන්න වෙන ආකාරයට වැඩ කටයුතු පිළියෙළ කරන්නැයි මා පක්ෂ සභාපතිටත් මහලේකම්ටත් උපදෙස් දුන්නා.

මෑත කාලයේදී අගමැතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව තදින්ම කතා කළ අවස්ථාව එය විය. මහින්ද නුගේගොඩ රැළියේදී කියා තිබුණේ විශ්‍රාම යන්න හිටි තමා යළි දේශපාලනයට ඇදගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවය. ඔහු එහිදී කියා තිබුණේ තමාටත් තමන්ගේ පවුලේ අයටත් හිරිහැර කිරීමද තමා යළි දේශපාලනයට පැමිණීමට හේතු වූ බවයි.

නුගේගොඩ රැළියේදී කතා කළ කථිකයන් සියලුදෙනාම යූ.එන්.පී.යට තදින් පහර දුන් බව පෙනෙන්නට තිබිණි. එසේ වුවද ඔවුන් කිසිවකුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතින් හෝ තදින් විවේචනය නොකළ බවද පෙනෙන්නට තිබුණේය. මෙය මීට කලින් මහින්දගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැස්වීම්වලට වඩා වෙනසක් වූ බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල පාර්ශ්වයත් මහින්ද පාර්ශ්වයත් අතර කිසියම් කතාබහක් තිරය පිටුපස සිදුවෙමින් පවතින බවට පසුගිය දිනවල තිබූ ආරංචිය සමඟ නුගේගොඩ රැළියේ ශ්‍රීලනිප කථිකයන්ගේ හැසිරීමද ගැළපෙන බව ඔවුන්ගේ අදහසය. ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන්ගේ සහ සුසිල් ප්‍රේමජයන්තගේ සතුට ප්‍රකාශ කිරීමද ඊටම අදාළ බව පැහැදිලිය.

මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී. එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව පසුගියදා සිදුකෙරුණු හෙළිදරව්වද දේශපාලන ක්ෂේත්‍රය තුළ කිසියම් කැළඹීමක් ඇති කළේය. ඔහු ඝාතනය කිරීමට සිදුකළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින්නේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සිවුදෙනෙකි. ඔවුන්ට මේ වැඩේ බාරදී සල්ලි එවමින් සහාය ලබාදී ඇත්තේ නෝර්වේ, ප්‍රංශයේ, ඕස්ට්‍රේලියාවේ සහ මැලේසියාවේ වෙසෙන ඩයස්පෝරාවේ නායකයන් සිවුදෙනකු බවද පරීක්ෂණවලදී හෙළි වී තිබුණි. ඔවුන්ගේ සැලසුම්වලට අනුව සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට පළමු උත්සාහය තිබී ඇත්තේ පසුගිය දෙසැම්බර 30 වැනිදාය. ඉන් පසුව ජනවාරි 13 වැනිදාත් ඒ සඳහා යොදාගෙන තිබූ දිනයක් බව කියැවේ. ඔහු ගමන් කිරීමට නියමිත තිබු යාපනයේ මාර්ග දෙකක් අවට ක්ලේමෝ බෝම්බ අටවා ඝාතනය ක්‍රියාත්මක කිරීමට කර තිබු සැලසුම් කල්තබා හෙළි වීම නිසා ඔහු ඒ දින දෙකේදිම අදාළ ගමන් අවලංගු කර තිබිණි. දැන් ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීන්දුවක් අනුව සුමන්තිරන් මහතාට විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබේ.

මේ ඝාතන සැලැස්ම එළියට ආ දිනවලම යාපනයේ අවිගත් කල්ලියක් එහි ජනතාවට එරෙහිව මැර ක්‍රියා සිදුකොට පලායාමේ සිදුවීම් කීපයක්ද වාර්තා විය. එම කල්ලිය තියුණු ආයුධවලින් යාපනයේ වැසියන්ට පහර දිමත් වෙළෙඳසල්වලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සිදුකර තිබුණි. මේ කල්ලියේ කීපදෙනකු මීට කලින් සිට ක්‍රියාත්මක ආවා ගෘෘප් කල්ලිය සමග සබඳතා පවත්වන බවද හෙළි කර ගැනීමට හැකිව තිබේ. මේ කරුණු එකිනෙක අතර එකඑල්ලේ සම්බන්ධතාවක් තිබෙන්නේ යැයි පැවැසීමට තවම කල් වැඩිය. එහෙත් උතුරේ සිදුවනදේ ගැන හොඳින් ආරක්ෂක ඇස යොමුවන බව නම් පැහැදිලිය.

සුමන්තිරන්ගේ සිද්ධිය ඇතුළු උතුරේ සිදුවීම් මහින්දට කිසියම් පන්නරයක් ලබාදී තිබුණේය. අනුරාධපුරයේ රනිල් තැබූ රුස්වීමෙන් දින කීපයකට පසුව ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට ගිය මහින්ද එහිදී මාධ්‍යයට කිව්වේ මෙසේය.

දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතාට කොටි සංවිධානය සම්බන්ධ වූවන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබෙන බව පැවැසෙනවා. අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයන් දොළොස්දහසක් අපේ පාලන කාලයේ නිදහස් කළත් ඒ අයගෙන් කොටසක් පුනරුත්ථාපනය කළා. ඒ අතර සම්පුර්ණයෙන් පුනරුත්ථාපනය වූ අයත් බාගෙට වෙච්ච අයත් ඉන්නවා. එසේ නොවී එළියට පැමිණි පිරිසකුත් ඉන්නවා. මේ අය ගැන අපේ බුද්ධි අංශ හොඳ සෙවිල්ලකින් සිටියේ. ඒ වගේම අපි එදා හමුදා කඳවුරු ඉවත් කළේ නැහැ. මේ අය කිව්වේ ඔක්කොම නිදහස් කරන්න කියලයි.

එහෙම නිදහස් කරන්න කියලා කෑගහපු අය තමයි නිදහස් කළායින් පස්සේ කනවෝ... කනවෝ... කිය කියා දුවන්නේ. එදා කොටි සාමාජිකයන් නිදහස් කරන්නැයි කියා කෑ ගැසු සුමන්තිරන්ලාම අද තමන්ට කොටි සාමාජිකයන්ගෙන් මරණ තර්ජන එල්ල වෙලා කියා කෑගහසනවා. කොටි ත්‍රස්තයන්ගේ ක්‍රියාකලාපය ගැන අවබෝධයක් තිබෙන මට ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ*

ඔහු රනිල් එදා අනුරාධපුරයේ කළ කතාවේදී ආර්ථිකය ගැන කළ චෝදනාවලටද පිළිතුරු දුන්නේය. එසේ වුවද මහින්ද තමන් දේශපාලනයෙන් විශ්‍රාම යාම ගැන කිසිවක් නොකියා සිටීමට පරෙස්සම් වී තිබිණි. ආණ්ඩුවට අවුරුදු දෙකක් ගියත් තවම රාජපක්ෂ භිතිකාව ඉවත් වී නැති බව නම් මහින්ද කියා තිබුණේය.

කෙසේ වුවද සුමන්තිරන් මන්ත්‍රීවරයා එදා සිටම සැලකුණේ විකල්ප මතධාරී දේශපාලනඥයකු හැටියටය. රාජපක්ෂ පාලන සමයේදී කොටින්ට හිතවාදී මන්ත්‍රීවරයකු වශයෙන් හංවඩු ගසා තිබුණද රටේ ජාතික ගැටලුවට විසඳුමක් සෙවීමේ කාර්යභාරයේදී සුමන්තිරන් වඩාත් මධ්‍යස්ථ භාවයක් පෙන්නුම් කළ දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකි. කොටි සංවිධානයට සම්බන්ධ වී සිටි හිටපු කොටින්ගෙන් මරණ තර්ජන එල්ල වන්නේ ඔහුගේ එම මධ්‍යස්ථ අදහස් නිසා බවත් හිටපු කොටින්ට ඔක්සිජන් ලබාදීමට තැත්කරන ඩයස්පෝරාවේ කොටස් සහ වෙනත් පුද්ගලයන් විසින් ඔහු ඝාතනය කරන්නට සූදානම් වන්නේ ඔහුගේ මධ්‍යස්ථ භාවය විසින් ඇතිකර තිබෙන තත්ත්වය නිසා බවත් තේරුම් ගැනීම අවශ්‍යය. එය දේශපාලන අවියක් බවට පත් කර ගැනීමේදී වඩාත් ප්‍රවේශම් සහගත යුත්තේ එබැවිනි. දෙමළ ජාතික සන්ධානය තුළ උතුරේ පවතින බල අරගලයද ඇතිවෙමින් පවතින තත්ත්වයට එක් හේතුවක් බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහසය.

පසුගිය ඔක්තෝබර් 16 වැනිදා වවුනියාවේදී පැවැති මහජන රැස්වීමකදී සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ කියා තිබුණේය.
අමීර්තලිංගම් ද්‍රෝහියකු වශයෙන් නම් කොට ඔහු මරා දැම්මා. නීලන් තිරුචෙල්වම් ද්‍රෝහියකු වශයෙන් නම් කොට ඔහු මරා දැමුවා. පසුගිය අවුරුදු 30ක් තිස්සේ මේ සියලු පුද්ගලයන් අපට අහිමි වුණා. මේ ඔක්කොම මරා දැමීමෙන් පසුව මොනවද අපි ලබාගත්තේ? ඉතින් දැන් සුමන්තිරනුත් ද්‍රෝහියකු යැයි නම් කරලා මරා දාන්න ඔබට පුළුවන්. මට කියන්න... ඊට පස්සෙ අපි මොනවද කරන්න යන්නේ කියලා.

සුමන්තිරන් ඝාතන සැලැස්මක් ගැන අනාවරණය වන්නේ ඉන් මාස දෙක තුනක් ඉක්මයන්නටත් පෙරය.

උතුරේත් දකුණේත් දෙපාර්ශවයේම ජාතිවාදී කොටස් ජාතික ගැටලුවට විසඳුමක් සෙවීමේ උත්සාහයට එරෙහිව කඳවුරු බඳින්නට සූදානම් වන බවක් පෙනෙන්නට ඇතැයි සමහර විචාරකයන් පවසා ඇත්තේ මේ පසුබිම යටතේය. දකුණේ දැඩි මතධාරී දේශපාලනඥයන් පවසන්නේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හරහා රට බෙදා වෙන් කෙරෙන බවය. දෙමළ දැඩිමතධාරී පිරිසක් අලුත් ද්‍රෝහීන් සොයා අලුත් ගමනකට මඟ පාදා ගන්නා උත්සාහයක සිටින බව සුමන්තිරන්ගේ සිදුවීමෙන් පෙනී යයි. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ක්‍රියා කලාපය සිංහල - දෙමළ සමගියට දැඩි හානියක් වන බව දයාසිරි ජයසේකර ඇමැතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා (02) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කළ චෝදනාව මේ පසුබිමේ සිදුවූ වැදගත් අර්ථ කථනයක් විය. ඔහු ප්‍රකාශ කර තිබුණේ සිංහල ජාතිවාදීන් අවුස්සනු ලබන්නේ දෙමළ ජාතිවාදීන් බවය. මෙවැනි ජාතිවාදීන්ගේ කටයුතු නතර කළ යුතු බව කියු දයාසිරි විග්නේෂ්වරන් හැඳින්වුයේ බැඳ දැමිය යුතු සුනඛයකු වශයෙනි. 

විග්නේෂ්වරන්ලා කෙසේ වුවත් සුමන්තිරන්ලා දෙමළ අන්තවාදීන්ගේත් ඩයස්පෝරාවේත් වෛරයට පාත්‍ර වී සිටින්නේ ඔහු තානාපති ප්‍රජාවේත් අලුත් ආණ්ඩුවේත් සුරතලකු වශයෙන් හැඳින්වීමක් සමඟිනි. දෙමළ ජාතික සන්ධාන වත්මන් රජය බලයට පත්කිරීමේදී විශාල සහායක් ලබාදීමත් එයට හේතුවකි. කෙසේ වුවද විග්නේෂ්වරන්ලාට කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේත් කොටින්ට හිතවත්කම් දැක්වු විවිධ කොටස් වලත් සහාය ලැබෙන විට සුමන්තිරලා, එනම් ජ්‍රජාතන්ත්‍රවාදී ලෙස ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීමට උනන්දුවන මධ්‍යස්ථ මතධාරින් ද්‍රෝහීන් බවට පත්වීම ස්වභාවිකය. රටේ ඉදිරි ගමන් මඟ තීරණය කිරීමට රටට වඩාත් වැදගත් වන්නේ රටින් පිට සිට ක්‍රියාත්මක වන කොටි හිතවාදී පිරිස් වල ප්‍රේමවන්තයන්ද ඔවුන්ගේ වෛරක්කාරයන්ද යන්න තීරණය කිරීම වැදගත්ය.

වසර 30ක් තිස්සේ ඇදී ගිය යුද්ධය නිසා පොදුවේ රටටත් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලුම ජන කොටස් වලටත් සිදුව ඇති හානියෙන් තවමත් ගොඩ ඒමට හැකි වී නැත. දෙමළ ජන කොටස් අතීතයේදීත් ඔවුනොවුන් හතුරන් බවට පත්කර ගනිමින් එකිනෙකා මරාගත් ආකාරය දෙමළ ජනතාවට අමතක වන්නට ක්‍රමයක් නැත. එවැනි තත්ත්වයක් යළි ඇති වනු දකින්නටත් ඔවුන් තුළ කැමැත්තක් තිබිය නොහැක. උතුරේ හෝ දකුණේ කිසිදු ආකාරයක ජාතික සමගිය කඩවීමක් සිදුවීමට ඉඩක් නොතැබීම රටේ ජාතික නායකයන්ගේ වගකීමකි.

ගෙවී ගිය සතියේ දේශපාලන කරළියේ සිදුවීම් වලින් පෙනෙන්නේ කවුරු කවුරුත් හැංඟි හොරා වෙස් බඳිමින් සිටින බවය. ඒ කොහොම වෙස් බැන්දත් නටන්න වෙන්නේ නම් එළියේ බව සමහර නායකයන්ට මතක නැත.

♦ ශශින්ද්‍ර