2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

බලිබිලි පිළිකෙව් කළ හේන්පිටගෙදර නාහිමි

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 173

මාගේ ජීවිතයේ වටිනාම අත්දැකීමක් වන්නේ මෙරට සුප්‍රසිද්ධ සංඝ පීතෘවරුන් බොහෝමයක් ළඟින් ඇසුරු කිරීමට ලැබීමයි. ඒ සියලුදෙනාම පාහේ පාලි, සංස්කෘත හා සිංහල බස පිළිබඳ හසල දැනුමක් ඇති අය වූහ. උන්වහන්සේලාගේ පාලි භාෂා දැනුම තුළින් බුද්ධ වචනය නිරවුල්ව අවබෝධකර ගැනීමට මට හැකියාව ලැබුණි. ඊට අමතරව කුඩා කළ පටන් පන්සල් ජීවිතයට හුරුපුරුදු වූ අය වූයෙන් මේ හිමිවරු ගරුතර ගුරු හිමිවරුන්ගෙන් ධර්මය ඉගෙන ගැනීම සඳහා වනපොත් කිරීමටද අවස්ථාවක් ලබාගත් අය වූහ. මේ හිමිවරුන් සියලුදෙනාම බුදුදහම නිර්වචනය කළේ පුදපූජා හා බලිබිලිවලින් තොරවූ නිර්මල බුද්ධිගෝචර දහමක් හැටියටයි. පුදපූජා වෙනුවට සියලුදෙනාම අවධාරණය කළේ ධර්මයේ ඇති සංකීර්ණ හා බුද්ධිමත් පැත්තයි. මේ සංඝ පීතෘවරු සිය ජීවිත අවසානය දක්වා තමන්ට ප්‍රත්‍යක්ෂ වූ ගැටලු පිළිබඳ සහෝදර උගත් සංඝයා සමඟ සාකච්ඡා කර එම ප්‍රශ්න විසඳා ගැනීමට සාමුහිකව කටයුතු කළෝය. හතරලියද්දේ වෙලගම පන්සලේ දිවංගත ප්‍රධාන නායක හිමියෝ මාගේ මිතුරෙක් වූහ.  උන්වහන්සේ මට කීවේ ඇතැම්විට ගැටලු විසඳීමට මහ රෑ වුවද සහෝදර සංඝ මිත්‍රයන්ට දුරකථනයෙන් කතාකර අවබෝධයක් ලබාගන්නා තුරැ නින්ද නොගිය බවයි.  හික්කඩුවේ සුමංගල හිමියන් ගේ ලිපි අහුරක්ම යගිරල පඤ්ඤානන්ද හිමියන්ගේ “සුමංගල චරිතයේ” පළකර තිබේ. එම ලිපිවලින් බොහෝමයක් ධර්මයේ ගැටලු නිරාකරණය කර ගැනීමට සහෝදර පණ්ඩිත හිමිවරැන්ට හා අන්දිරියස් බටුවන්තුඩාවේ පඬිතුමාට ලියන ලද ලිපි වෙයි.

මා ඇසුරුකළ සංඝ පිතෘවරැන් කිසිවිටෙක බාහිර පුදපූජා කිරීම අනුමත කළේ නැත.  තමන්ගේ පන්සල් තුළ බුදු පිළිමයකට පහනක් පත්තු කිරීම හා ගිලන්පස පූජා කිරීම වැනි සරල සිරිත් විරිත්වලට වඩා උන්වහන්සේලා කාලය යෙදවූයේ නැත.  එසේ බලිබිලි නොකිරීමෙන් ලද නිදහස උන්වහන්සේලා යෙදවූයේ ධර්ම පුස්තක කියවීමට හා ශාස්ත්‍රීය ගැටලු නිරාකරණය කර ගැනීමටයි.

ලංකා සිවිල් සේවයේදී මාගේ මුල් පත්වීම ලැබුණේ රත්නපුර කච්චේරියටයි.  රත්නපුරයේදී මට හේන්පිටගෙදර ඥානසීහ, හේන්පිටගෙදර ඥානවාස, කිරිඇල්ලේ ඥානවිමල සහ හාල්දඬුවන ධර්මරක්ෂිත වැනි හිමිවරැන් ළඟින්ම ඇසුරු කිරීමට ලැබුණි. කිරිඇල්ලේ හිමි පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ගුරු හිමි වූ අතර, දෙදෙනාම පුරාවිද්‍යාව ගැන මනා දැනුමකින් පොහොසත් වු අය වූහ.  කිරිඇල්ලේ හිමියන් “සබරගමු ලිපි” යන ග්‍රන්ථයේ උන්වහන්සේගේ පුරාවිද්‍යා සොයාගැනීම් ගැන මත ප්‍රකාශ කර තිබේ.

රත්නපුරේ රජයේ සේවකයන් වූ අපි බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ශාස්ත්‍රීය කවයක සාමාජිකයින් වූවෙමු. අප අතුරින් මුල් තැනක් ගත්තේ එවකට පළාත් පාලන සහකාර කොමසාරිවරයෙක් වූ එච්.ඒ.පී. අබේවර්ධනයි. එහි ක්‍රියාකාරි සාමාජිකයෙක් වූයේ ප්‍රේමතිලක මාපිටිගමයි.

මසකට වරක් අපි බොදු දහමේ එක් අංශයක් පිළිබඳ අනුශාසනාවක් කිරීමට ප්‍රසිද්ධ උගත් බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට ආරාධනා කළෙමු. බොහෝවිට අපගේ තේරීම වූයේ හේන්පිටගෙදර ඥානසීහ හිමියනුයි. මුද්දුව පිරිවෙනේ අධිපති වූ උන්වහන්සේ කැපී පෙනෙන සංස්කෘත හා පාලි දැනුමක් ඇති පඬිරුවනක් වූහ. එපමණක් නොව උන් වහන්සේ ඉතාම එඩිතර භික්ෂුවක් වූහ. එකල සිටි සියලුම රාජ්‍ය නායකයින් පාහේ ඥානසීහ හිමියන්ට ගෞරවයෙන් සැලකුවෝය.

1956 විප්ලවයට මුල පිරූ තැනැත්තෙකි ඥානසීහ හිමි. 1950 ගණන්වල රත්නපුර දිසාවේ මහ දිසාපති හැටියට රාජකාරි කරනු ලැබුවේ ඇන්. කිව්. ඩයස් ය. ඔහුත් ඥානසීහ හිමිත් එක්ව බණ්ඩාරනායක මහතාට නානාවිධ උපකාර කළෝය. සර් ජෝන් කොතලාවලගේ උදහසට ඩයස් ලක්වුවද එකල සිරිත නිසා ඔහු ස්ථාන මාරු කිරීම සඳහා ක්‍රියා කිරීමට මැලි විය. එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන් ඩී.ඇස්. සේනානායක මහතා සමඟ උරණ වූ සැටි ඥානසීහ හිමි වරක් මට පැහැදිලි කර දුන්හ. නිදහසට පෙර පවත්වන ලද මහජන ඡන්දයේදී එකල එක්සත් ජාතික පක්ෂයත් වාමාංශික පක්ෂයත් අතර, තියුණු තරඟයක් විය. සමසමාජ පක්ෂය විසින් ඉදිරිපත්කරන ලද සේනානායක පවුලේ ළඟම ඥාතියෙක් වූ එඩ්මන්ඩ් සමරක්කොඩි සිය මාමා වූ ඩී.ඇස්.ට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. කැලණිය වාමාංශික භික්ෂූහු සමසමාජ පක්ෂය වෙනුවෙන් ක්‍රියාකාරීව සහභාගී වූහ. එවකට ඩී.ඇස්. තරඟ කළ මීරිගම ආසනයට ඥානසීහ හිමිගේ නිජබිම වූ දිවුලපිටිය ද ඇතුළත් විය. තරගය නරක අතට හැරෙනු දුටු ඩී.ඇස්. ඥානසීහ හිමියන් හමු වී තමා වෙනුවෙන් දේශපාලනයට එක්වන ලෙස ආරාධනා කළේය. ඒ ආරාධනාව පිළිගත් අපේ හිමි කැලණි භික්ෂුන්ට ප්‍රබල දර්ශනාත්මක අභියෝගයක් යොමු කළහ.  වල්පොල රාහුල හිමියන් විසින් “භික්ෂුවගේ උරුමය” නමැති ග්‍රන්ථය දොරට වැඩීමෙන් පසුව එය විවේචනය කරමින් ඥානසීහ හිමි “භික්ෂුවගේ උරුමය කුමක්දැයි” ග්‍රන්ථයක් සැපයූයේ බුද්ධ ධර්මය මෙන්ම සාසන ඉතිහාසය මනා ලෙස විග්‍රහ කරමිනි.  ඥානසීහ හිමිට ඕනෑම විෂයයක් යටතේ ග්‍රන්ථයක් ලිවීමට අවශ්‍ය වුයේ ටික කලකි. උන්වහන්සේ ඇවිදින ධර්ම සංග්‍රහයක් බඳු වූහ.  එජාපයට සහාය දීමට පෙර ඥානසීහ හිමියෝ ඩී.ඇස්. ගෙන් එක ඉල්ලීමක් කළහ.  එනම් තමාගේ සිහිනය වූ තරැණ භික්ෂු මධ්‍යස්ථානයක් ඇති කිරීමට රජයේ සහාය ලබා දිය යුතු බවයි. තරගයක පැටලී සිටි ඩී.ඇස්. කිසිම පැකිලීමක් නොමැතිව එම පොරොන්දුව දුන්නේය. ඥානසීහ හිමිගේ සහයෝගය ඇතිව ඔහු තම ආසනය දිනා ගත්තේය.

එහෙත් ඡන්දයෙන් පසුව ඔහු ඥානසීහ හිමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. “ඔබ වහන්සේගේ ඉල්ලීමට එකඟ වුවහොත් කතෝලික බුද්ධිමතෙක් වන පීටර් පිල්ලේටත් රජයෙන් පුහුණු මධ්‍යස්ථානයක් ලබාදෙන්නට වෙනවා” යැයි ඔහු අකාරුණිකව කියා සිටියේය. “අගමැතිතුමා කැමති දෙයක් කරන්න. මම කෙසේ හෝ භික්ෂු ආයතනය හදනවා” යැයි ඩී.ඇස්. ගේ මුහුණටම කී හිමියෝ දිවුලපිටියද අතහැර රත්නපුරයට පැමිණ මුද්දුව පිරිවෙනේ පදිංචි වූහ.

ඥානසීහ හිමි හා මා අතර කිට්ටු සම්බන්ධතාවයක් ඇතිවීමට තවත් හේතුවක් විය.  එවකට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ ඇන්.කිව්. ඩයස් මට කතාකර පාතකඩ භික්ෂු මධ්‍යස්ථානය ඉදිකිරීමට රජයේ සහාය ලබාදෙන ලෙස කීවේය. ඒ අනුව එම මධ්‍යස්ථානය වෙනුවෙන් රජයෙන් පිරිනමන ලද රැපියල් ලක්ෂයක චෙක්පත භාරදෙන ලද්දේ මා විසිනි. එය රජයෙන් දුන් පළමුවැනි පරිත්‍යාගය යැයි සිතමි.

ඥානසීහ හිමි කිසිදවසක පුදපූජා හා බලිබිලි පන්සල්වලට වැද්ද ගැනීම අනුමත නොකළහ. උන්වහන්සේ නිතරම මහන්සි ගත්තේ පුනරුත්පත්තිය, ගන්ධබ්බ ලෝකය ආදිය ගැන ධර්මය විස්තර කිරීම හා පින් පව් ආදිය ගැන ගැඹුරැම පර්යේෂණයක යෙදීමයි.  වෙසෙසින්ම රාමඤ්ඤ නිකාය මේ පුදපූජා, බලිබිලි වැනි අවශේෂ කාර්යයන්වලට අනුබල දෙන නිකායක් නොවේ.  බෞද්ධ ධර්මානුකූලව අල්පේච්ඡ ජිවිතයක් ගත කිරීමට අනුබල දෙන නිකායකි එය.  මා ගරැ කළ ඥානසීහ හිමි සහ උන්වහන්සේ ගේ සහෝදර ඥානවාස හිමි අද සිටියානම් මේ බලිබිලි බුදු දහම උපහාසයට ලක් කරනු නොඅනුමානය.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00