- ෆැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන ෆැෆරල් සංවිධානය පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යෑමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කළ අතර මැතිවරණ සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් මූල්‍ය සීමා නීති සම්පාදන කටයුත්තකටද උර දී සිටී. මේ, එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහාත ලංකාවේ මැතිවරණ දේශපාලනය ගැන පළ කළ අදහස්ය.
ලංකාවේ මැතිවරණ යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘතියක්යැයි මීට වසර දෙකකට පෙරාතුව ඔබලා පැවැසුවා. හැබැයි දැන් විකෘති ලෙස හෝ මැතිවරණ නොපැවැත්වීම ගැන ජනතාව කනස්සල්ලෙන් සිටින්නේ. දැන් තත්ත්වය යහපත් ද?
පහුගිය මැතිවරණවලදී සැබෑ මහජන මතය නිරූපණය වුණාද, ඡන්දදායකයන් බුද්ධිමත් ලෙස ඡන්දය පාවිච්චි කළාද, මැතිවරණ සමබිමක් මත පැවැත්වූවාද, කෑලි කෑලි මැතිවරණ පැවැත්වීමෙන් බලය තිබූ පක්ෂයට කොච්චර වාසි අත්වුණාද යන මේ කියන ප‍්‍රශ්න ඔක්කොම තිබුණා. ඒ ඔක්කොම තිබුණත් ජනතාවට ඡන්දය පාවිච්චි කරලා තමන් කැමැති නියෝජිතයට මනාපය පළකිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකම අංගය වෙනවා. හැබැයි මේ වෙනකොට පහුගිය අවුරුදු දෙකක කාලයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඡන්දදායකයාට තමන් කැමැති පක්ෂය හෝ අපේක්ෂකයා තෝරාගැනීමේ ඉඩකඩ අහිමි වෙලා තිබෙනවා. පහුගිය රජය කාලයේ තමන්ට බලය ලබාගැනීමට මැතිවරණ කෑලි ක‍්‍රමයට පවත්වමින් රාජ්‍ය බලය උපරිමයෙන් යෙදෙව්වත් සංසන්දනය කරලා බැලුවාම මැතිවරණ නොපැවැත්වීම වඩා බරපතළයි. හැබැයි මීට බලපාන්නේ පවතින සුවිශේෂී තත්ත්වයක් බවත් අපි අමතක කරන්න නරකයි.
පවතින සුවිශේෂී තත්ත්වය කියන්නේ මැතිවරණ කොමිසමේ බලය අඩුවෙන තත්ත්වයක්ද?
නැහැ. මා අදහස් කළේ එය නෙවෙයි. මේක සුවිශේෂී තත්ත්වයක්. මේ ප‍්‍රශ්නය මතුවන්නේ අලුත් මැතිවරණ ක‍්‍රමයක් තුළයි. සාමාන්‍ය තත්ත්වය යටතේ මැතිවරණය කල්දැම්මා නම් ඊළඟ අවුරුද්දේදී ඡන්දය පැවැත්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට බලය ලැබෙනවා. එහෙත් අලුත් නීති පැනවීම් සමඟ සීමා නිර්ණය ගැසට් කළේ නැත්නම් නාමයෝජනා කැඳවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මොකද නාමයෝජනා කැඳවද්දී මැතිවරණ කොට්ඨාශත් ඒවායේ තරම ප‍්‍රමාණය අනුව කාන්තා නියෝජනයට ලැබෙන ඉඩ ප‍්‍රමාණ, සභික ධූර සංඛ්‍යාව ආදියත් මෙවර පැහැදිලිව සඳහන් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට සිදුවෙනවා. හැබැයි එයින් ආණ්ඩුවට නිදොස්වීමට බෑ. අපි දිගින් දිගටම දුටුවේ මැතිවරණය පැවැත්වීමට දේශපාලනිකව වුවමනාවක් නැතිකමයි.
නිරීක්ෂණ සංවිධානයක් හැටියට මැතිවරණය ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට පැෆ්රල් සංවිධානය කටයුතු කළා. ඡන්දයක් ඉල්ලගෙන උසාවි යන්න වුණේ ඇයි?
මුලින්ම කිව්වොත් පහුගිය රජයේ විෂය බාර ඇමැතිවරයා මේක නිවැරුදිව අවසන් කළේ නෑ. ඒ වගේම පනත සංශෝධනය කළේ මැතිවරණ දෙපාර්තමේන්තුව සමඟ යහපත් සංවාදයකින් නෙවෙයි. එනිසා මේ වැරැද්දේ මූලික වගකීම ගන්න වෙන්නේ පහුගිය රජයටයි. ඒක නිසා තමයි ඒ ආණ්ඩුව මාරුකළේ. හැබැයි පහුගිය අයට බැණ බැණ මැතිවරණය තවදුරටත් පමාකිරීමට මේ අයට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. අපි මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ බලාගෙන හිටියේ මැතිවරණය පැවැත්වීම සඳහා සාධාරණ උත්සාහයක් ගනීවි කියලයි. සාධාරණ කාලයක් දෙමින් අවස්ථා හත අටකදී අපිත් විවිධ උත්සාහ ගත්තේ මැතිවරණය පැවැත්වීමටයි. නිරීක්ෂණ සංවිධානයක් හැටියට මීට මාස හයකට පෙර අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ගොනු කළේ අවසානයේදියි.
මොනවද ඔබලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලන්නේ?
සීමා නිර්ණය අවසන් කරන කාල රාමුව ප‍්‍රකාශයට පත්කිරීම පළමුවැන්නයි. එය අවසන් වූ වහාම නිල වශයෙන් ගැසට් පත‍්‍රයක් මගින් කොට්ඨාස හා සභික ධූර සංඛ්‍යාව ප‍්‍රකාශයට පත්කිරීමයි. ඒ වගේම මැතිවරණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තාක්ෂණික ගැටලු සීමා නිර්ණය අවසන් කිරීමට ගත කරන කාලය ඇතුළත විසඳීමයි. මොකද එහෙම නැත්තන් ඊළඟට ආණ්ඩුව සීමා නිර්ණයෙන් පස්සෙ තාක්ෂණික ගැටලුවලට තවත් මාස තුනක් විතර ඉල්ලන බව අපි දන්නවා. තුන් වැනි ඉල්ලීම වුණේ මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට නිශ්චිත කාල රාමුවක් දෙන්න කියලයි.
ආණ්ඩුවේ නායකයන් මැතිවරණය ගැන විවිධ ප‍්‍රකාශ කළත් ඒවායේ ස්ථිරභාවයක් තිබුණේ නෑ. මෙවර ඔබේ විශ්වාසය අධිකරණය ගැනද?
මැතිවරණය මාසෙකින් දෙකකින් දෙන්නැයි නොකියා සාධාරණ කාලයක් තුළ එය ඉල්ලා සිටියේ එක හේතුවක් උඩයි. පහුගිය අවුරුද්ද පුරා කාලයේ අග‍්‍රාමාත්‍යවරයා මැතිවරණය පැවැත්වෙන කාලය ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයාත් ප‍්‍රකාශ කළා. විෂය බාර ඇමැතිවරයා අවස්ථා පහකදී කාල රාමු ප‍්‍රකාශ කළා. ඒ එකක්වත් ඉටුවුණේ නෑ. හැබැයි දැන් විෂය බාර ඇමැතිවරයා අධිකරණයට පොරොන්දුවක් දී තිබෙනවා. එනිසා අනිවාර් යෙන්ම මාසයක් තුළ කොට්ඨාස හා සභික ධූර සංඛ්‍යාව ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කළ යුතුමයි.
ගැසට් පත‍්‍රය නිසි කලට ආවොත් මැතිවරණ කොමිසම මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ඉඩ තිබෙන කාල රාමුව කවරාකාරද?
මැතිවරණ කොමිසම පසුගිය 31 වැනිදා දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන එකතු කරලා මේ ගැන සාකච්ඡාවක් පැවැත්වුවා. එතැනට පැමිණ සිටි ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා තාක්ෂණ ගැටලු 52 කැබිනට්ටුව හා පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයෙන් මාසයක් තුළ විසඳීමට අප හා එකඟ වුණා. ඇමැතිවරයාගේ ප‍්‍රකාශ විශ්වාස නැති නිසා සීමා නිර්ණය අවසන් කිරීමෙන් පසුවත් තාක්ෂණික ගැටලු නොවිසඳී තිබුණොත් මැතිවරණය පැවැත්වීමේ සූදානම ගැන අපි මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඇහුවා. ඔහු පැවසුවේ නීතිපතිවරයා විමසා තාක්ෂණික ගැටලු කළමනාකරණය කරගනිමින් මැතිවරණය පැවැත්වීමට ක‍්‍රියා කරනවා කියලයි. පළමු වැනි වතාවට පනතක් ක‍්‍රියාත්මක කරද්දී අදාළ අධිකාරින්ට ක‍්‍රමවේද සකසා ගැනීමේදී කිසියම අධිකාරි බලයක් ලැබෙනවා. ඒ අනුව බලය පාවිච්චි කරලා නීතිපති උපදෙස් සහිතව මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඇත්තෙන්ම අපි ඒ ගැන මහින්ද දේශප‍්‍රිය මහතාට ස්තුතිවන්ත විය යුතුයි.
ලංකාවට මැතිවරණ කැලැණ්ඩරයක අවශ්‍යතාව පැෆ්රල්හි තවත් ඉල්ලීමක් බවට පත්වුණා. මෙවැනි ඉල්ලීමක් වෙන්නේ ඇයි?
පහුගිය රජය කොටස් ක‍්‍රමයට මැතිවරණ පවත්වමින් එහි උපරිම වාසි තමන්ටගත්තා. මේ රජය තමන්ට ගැළපෙන මොහොත එනකන් මැතිවරණ කල් තබමින් වාසි ගන්න උත්සාහ කරනවා. ඇත්තටම මැතිවරණ ක‍්‍රමයේ වෙනසකට වඩා අවධානය යොමු විය යුතු කරැණු මේවායි. කුමන ආණ්ඩුවක් කුමන පුද්ගලයෙක් බලයේ හිටියත් මැතිවරණ කැලැණ්ඩරයකට අනුව මැතිවරණ පැවැත්විය හැකි නම් බොහෝ ප‍්‍රශ්න සීයට සීයක්ම විසඳගන්න අපිට හැකියාව තිබෙනවා. ඒ වගේම මුදල් තිබෙන අපේක්ෂකයන් සිය මූල්‍ය ශක්තිය පාවිච්චි කරද්දී අමතර වාසියක් ඔවුන්ට අත්වෙනවා. මේ නිසා අපේක්ෂකයන්ට මැතිවරණ මූල්‍ය සීමා පැනවීම ගැන නීති සම්පාදනයකටත් අපි යොමු වී තිබෙනවා.
මූල්‍ය පාලන සීමා නීති සම්පාදනය සිදුවන්නේ කොහොමද? එයින් අදහස් වෙන්නේ මොකද්ද?
අපි මේ ගැන මූලික ලේඛනයක් සකස් කළා. ඉන්පසුව දේශපාලන පක්ෂ නියෝජිතයන්, මැතිවරණ දෙපාර්තමේන්තුව, නිරීක්ෂන සංවිධාන, වෘත්තියවේදීන්, සිවිල් සංවිධාන හා තරුණ කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව රැසක් සමඟ ඒ ගැන සාකච්ඡා කළා. වාද විවාද කළා. එයින් පසුව මූලික කෙටුම්පතක් සකස් කළා. එහිදී ප‍්‍රමුඛතා තුනක් ගැන අවධානය යොමුකළා. ඒවා නම් අපේක්ෂක හා දේශපාලන පක්ෂවලට උපරිම මූල්‍ය සීමාවක් පැනැවීමෙන් ජනතාව අපේක්ෂා කරන්නේ මොකද්ද, මේ පනත ගෙන ඒමෙන් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට සාධාරණ පදනමක් යටතේ සමබිමක තරග කිරීමේ හැකියාව ලැබෙනවාද, මේ නීති පද්ධතිය ක‍්‍රියාත්මක කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවට කොපමණ හැකියාවක් තිබෙනවාද යන්නයි. මොකද මුලින්ම අපට ගේන්න ඕනෑකම තිබෙන්නේ අපේ රටේ දේශපාලන සාක්ෂරතාවයට ගැළපෙන පනතක් මිස ලෝකයේ හොඳම පනත නෙවෙයි. මූල්‍ය සීමා පැනැවෙන්නේ භූගෝලීය සීමා හා ඡන්දදායක අනුපාතය අනුවයි.
මුදල් වියදම් කිරීමේ සීමා ගැන කෙටුම්පතේ සඳහන් වෙන්නේ කොහොමද?
එක් අපේක්ෂකයකුට එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් සීයක උපරිම මුදලක්. ඒ කියන්නෙ ඡන්දදායකයන් දාහක් ඉන්න ඡන්ද කොට්ඨාසයකට රුපියල් ලක්ෂයක් වියදම් කිරීමට හැකියි. දිස්ත‍්‍රික්කයකදී නම් ලක්ෂ පනහ දක්වා ආදී වශයෙන් වැඩිවෙනවා. ජනාධිපතිවරණයකදී මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් බවට පත්වෙද්දී ඊට සාපේක්ෂව වැඩිවෙනවා. අපේක්ෂකත්වය හිමි වූ තැනැත්තා වෙනම බැංකු ගිණුමක් විවෘත කර මැතිවරණයට අදාළව තමන්ට ලැබෙන සියලු ආදායම් වියදම් ඒ ගිණුම හරහා සිදුකළ යුතුයි. ඒ වගේම එක් පුද්ගලයකුගෙන් මුදල් ලබාගැනීමට උපරිම සීමාවක් ලකුණු කර තිබෙනවා. මොකද එක අපේක්ෂකයෙකුට එක ව්‍යාපාරිකයකු සම්පූර්ණ වියදම දැරුවොත් අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයන් පසු ඔහු හැසිරවෙන්නේ ව්‍යාපාරිකයාගේ වුවමනා මතයි. ඒ වගේම මුදල් ලබා ගත නොහැකි පුද්ගලයන් හා ආයතන ගැනත් මේ කෙටුම්පතේ සඳහන් වෙනවා. මේ පනතේ මූලික ලියැවිල්ල මේ මාසය ඇතුළත මැතිවරණ කොමිසමට බාරදෙනවා. මැතිවරණ කොමිසමේද සහායෙන් මෙය කැබිනට්ටුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
නව මැතිවරණ ක‍්‍රමයෙන් බහු පක්ෂ ක‍්‍රමය දුර්වල වී ද්විපක්ෂ ශක්තිමත් වන බවටත් සුළු පක්ෂ අර්බුදයට යනු ඇති බවටත් ඇතැමුන් අදහස් පළ කරනවා. මෙහි ඇත්ත නැත්ත කුමක්ද?
අලුත් ක‍්‍රමය යටතේ කොට්ඨාසයට තේරී පත්වන පිරිස 77% ක් වෙද්දී සමානුපාතික ක‍්‍රමයෙන් තේරී පත්වන පිරිස 23% යි. සමස්තයෙන් 25% ක් කාන්තා නියෝජනය සමන්විත වෙනවා. ඔය 23%ක ඉඩ වෙන්කරලා තිබෙන්නේ කුඩා දේශපාලන පක්ෂවලටයි. නමුත් අවාසනාවකට මේ පනතේ තිබෙන විධිවිධාන බැලුවාම නැවත වරක් ප‍්‍රධාන පක්ෂ දෙකට තමයි මේ පනතේ වාසිය ලැබෙන්නේ. එක පැත්තකින් සීයට පහේ අවම ඡන්ද ප‍්‍රමාණයක් (cut off point) තිබෙනවා. මේ කුඩා පක්ෂවලට සෑම ඡන්ද කොට්ඨාසයකින්ම සීයට පහ ගන්න බැරි වුණොත් ඔවුන්ට ජයගැනීමට තිබෙන අවස්ථාව අහිමිවීමෙන් ඔවුන්ට විශාල අසාධාරණයක් වෙනවා. පරාජිත අපේක්ෂකයන් සඳහා වූ 23% කොටස හැම වෙලාවෙම ප‍්‍රධාන පක්ෂ දෙක අතරේ බෙදී යාමේ සම්භාවිතාවෙන් වැඩියි. හැබැයි ස්වාභාවික නායකත්වයක් ඇති පුද්ගලයන්ට ගම් පළාතේ ඇති ජනප‍්‍රියත්වය සමඟ තව පැත්තකින් ප‍්‍රධාන පක්ෂවලට අභියෝගයක් දී ජයගැනීමේ හැකියාවකුත් තිබෙනවා. නමුත් පොදුවේ ගත්තාම ඔබ කී ආකාරයට ද්විපක්ෂ ක‍්‍රමයට බර තැබෙන ක‍්‍රමයක් යන්න සත්‍යයයි.
මෙවර පළාත් පාලන මැතිවරණය පැරැණි ක‍්‍රමයට පවත්වා නව ක‍්‍රමය බරපතළ සංශෝධනයකින් පසුව ක‍්‍රියාත්මක කළ යුතුය යන මතය ජනතා විමුක්ති පෙරමුණ තදින්ම දරනවා. එම මතයේ සාධාරණ අසාධාරණ බව කෙබඳුද?
දකුණේදී සුළු පක්ෂ යැයි නම් කරන ඇතැම් පක්ෂ උතුරේදී නැගෙනහිරදී ප‍්‍රධාන පක්ෂය වෙනවා. දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග‍්‍රසය ඊට හොඳම උදාහරණයි. එනිසා මේ ප‍්‍රශ්නය මේ පක්ෂ දෙකට බලපාන්නේ නෑ. නව ක‍්‍රමයේ සාධාරණ නියෝජනය පිළිබඳ ප‍්‍රශ්නය වැඩි වශයෙන් බලපාන්නේ රට පුරා විසිරී සිටින ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවලටයි. මෙතැනදි ජවිපෙ ඉතාම දක්ෂ ජනප‍්‍රිය අපේක්ෂකයන් ඉදිරිපත් වුණොත් ගම් මට්ටමේදී ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් අභිබවා ජයගැනීමේ අවස්ථාවකුත් තිබෙනවා. හැබැයි සමස්තයක් හැටියට ගත්තාම එම පක්ෂවලට අසාධාරණයක් වෙනවා. එනිසා සීයට පහේ සීමාව ඉවත්කිරීම ගැන දැන් අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම මේ පනත ගෙනාවේ 2012දියි. වසර හතරක් පුරා මේ සීමා නිර්ණය කටයුතුවලට මහජන ධනය මිලියන ගණනින් වැයකරලා තිබෙන්නේ. මැතිවරණය වසර දෙකකට වඩා කල් ගිහිල්ලා. අද විපක්ෂයේ සිට මේ ගැන විවේචන කරන ඇතැම් කණ්ඩායම් මේ පනතම තමන්ගෙ ආණ්ඩුව ගෙනෙද්දි නිහඬව සිටියා. මේ බොහෝ ප‍්‍රශ්නවලට මේ දේශපාලන අන්තවාදයත් බලපා තිබෙන බව කිව යුතුයි.
♦ සංවාදය:- බිඟුන් මේනක ගමගේ