2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

නයිපෝල්ගේ සංචාරක සටහන් කලාව

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

මෑත කාලයේදී විශ්ව සාහිත්‍යයට නව අංගයක් එක්කාසු වී තිබේ. එනම් විවිධ දේශාන්තරවල ගමන්කර ඒ පිළිබඳ සාහිත්‍ය කෘති රචනා කිරීමයි. මෙම රචනා ශාස්ත්‍රීය නිබන්ධනවලට සම්පූර්ණයෙන්ම වෙනස්ය.  එම ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් අදහස් වන්නේ යම් තර්කයක් පිළිබඳ සංඛ්‍යා ලේඛන ඇතුළත් විස්තර ඉදිරිපත් කිරීමය. දැන් ජාත්‍යන්තර ගමන් වැඩිවී ඇති බැවින් එවැනි ග්‍රන්ථ සංචාරකයාගේ අත් පොතක් බවට පත්වෙයි.  බොහෝවිට එම ග්‍රන්ථ පළකරනු ලබන්නේ රටවල්වලට වඩ වඩාත් සංචාරකයන් ඇද ගැනීම පිණිසයි.

මා සඳහන් කරන සංචාරක සාහිත්‍යය එයට හාත්පසින්ම වෙනස්ය. මේ රචනා ඉදිරිපත් කරන ලෝ සුපතල ලේඛකයෝ යම් රටක සංචාරය කර තමන් විසින් හඳුනා ගන්නා සිද්ධි සුමුට බසින් විස්තර කරති.  එක් අතකින් එය දේශය පිළිබඳ විස්තරයක් වන අතර භාෂාමය අතින් ස්වතන්ත්‍ර කෘතියක් වෙයි.  මේ රචනා ක්‍රමයේ පරමාදර්ශ ග්‍රන්ථය වන්නේ ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවරයානයයි. ගලිවර් නම් නැවියා හා ඔහුව බැඳ තබන්නට තැත් කරන ලිලිපුටියන්ව ස්විෆ්ට් විස්තර කරන්නේ මිනිස් සමාජයට එල්ල කරන කර්කශ උපහාසයක් හැටියටය.  ගලිවරයානය අද සෑම බසකටම පාහේ පෙරළා ඇති බැවින් එහි සිද්ධි ලොව පුරා කුඩා ළමුන් පවා හොඳින් දන්නා කෘතියකි. එහෙත් දුම්රිය, නැව් හා ගුවන්ගමන් සියලුම ජනකොටස් යොදා ගන්නා වර්තමානයේ වෙන රටවල් හා සමාජ ගැන දැන ගැනීමට ඇති කුතුහලය වැඩිවී තිබේ. මීට පෙර උසස් පන්තියේ අයට පමණක් සීමාව තිබුණ දේශ දේශාන්තර සංචාරය දැන් කම්කරැ පංතිය ද ප්‍රයෝජනයට ගෙන තිබේ.  දියුණු වූ කර්මාන්ත ඇති එම රටවල කම්කරුවන් ඔවුන් දිනාගෙන ඇති නිවාඩු හා අතිරේක වැටුප් නිසා දුප්පතුන්ට පවා සංචාරක සමයක් උදාවී තිබේ. අද යුරෝපයේ සෑම සතිඅන්ත පුවත්පතක පාහේ සංචාරකයන් සඳහා අතිරේකයක් පළ කෙරේ. එම අතිරේකවලට ලිපි සැපයීමට සුප්‍රසිද්ධ සාහිත්‍යකරුවන්ට ආරාධනා කරනු ලැබේ.

රුවල් නැව් යොදා ගන්නා කාලයේදී ලංකාවේ ගාලු තොටුපොළ ජාත්‍යන්තර මර්මස්ථානයක් විය. ඉන්දියාව සිට ආ රුවල් නැව් මීළගට නැංගුරම් ලෑවේ ගාල්ලේය. ඒ අනුව මේ මුහුදු ගමනාගමනය කේන්ද්‍රකර ගනිමින් ඉබිකටු මාල කැටයම් ද, මැණික් ඔබ්බපු ස්වර්ණාභරණ, කැටයම් කරන ලද අලි ආදි විසිතුරු භාණ්ඩ ගාලු කාර්මිකයන් විසින් නිර්මාණය කර රුවල් නැව්වලින් පැමිණි සංචාරකයන්ට විකුණන ලදී. ගාල්ලේ කාර්මිකයන්, වෙසෙසින්ම මාගල්ලේ ජනතාව, ආසියාවේ සෑම තැනකටම සංචාරය කොට විවිධ රටවල වෙළඳ ආයතන විවෘත කළහ. ඉංග්‍රීසින් මැලේසියාව හා සිංගප්පූරුව පාලනය කළ කාලය තුළ එරටවල්වල ස්වර්ණාභරණ වෙළඳාම සතුව තිබුණේ මාගල්ලෙන් ගිය වෙළඳ ව්‍යාපාරිකයන්ටය. ගාල්ල නගරය මැණික් කර්මාන්තය ඇතුළු සුළු කර්මාන්තවල ආසියානු මධ්‍යස්ථානයක් ලෙස සලකන ලදී.

ගාල්ල කොතරම් වැදගත් නගරයක් වූයේද යත් අමෙරිකන් තානාපති කාර්යාලයක් මෙන්ම පෙරදිග ජාත්‍යන්තර වෙළඳ ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන නගරයක් විය. සුප්‍රසිද්ධ ඉංග්‍රීසි නවකතාකරුවෙක් වූ ජෝශප් කොන්රාඩ් විස්තර කළේ මේ ගාලු තොටුපොළට සමාන පෙරදිග තොටුපොළවල් අසල විසූ ජනතාව පිළිබඳ කතා ගොන්නකි. 1950 ගණන්වලදී සුප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වූ කැරල් රීඩ් විසින් කොන්රාඩ්ගේ නවකතාවක් මුල් කරගෙන චිත්‍රපටියක් නිපදවීමට තීරණය කළේය. එයට පසුබිම වශයෙන් තෝරාගන්නා ලද්දේ ලංකාවයි. ඒ අනුව කොළඹ වරාය කොන්රාඩ් විස්තර කරන පෙරදිග තොටුපොළක් බවට පරිවර්තනය කරන ලදී. ප්‍රසිද්ධ ඉංග්‍රීසි නළුවන් කීපදෙනෙක් ද අලුතින් සොයාගන්නා ලද නිළියක් වූ කෙරීමා ද රෑගත කිරීම සඳහා ලංකාවට පැමිණියේය. ඒ මඟින් ලංකාවත් ජෝසප් කොන්රාඩ්ගේ ඉතිහාසයත් අතර සබඳතාවයක් ගොඩනැගුණි.

ඉහත සඳහන් සංචාරක පසුබිම ඉදිරිපත් කරන ලද්දේ මෑතකදී මිය ගිය විශිෂ්ට ගත්කරැ වී. එස්. නයිපෝල්ගේ තවත් කාර්යභාරයක් ගැන සඳහන් කිරීමටයි. ඔහු සංචාරක රචනා සාහිත්‍යය උච්ඡ අවස්ථාවකට ගෙන ආවේය. යටත් විජිතයක් වූ කැරිබියන් රටක ඉපදී හැදුණ වැඩුණ ඔහුට විවිධ ජාතීන් හා සංස්කෘතින් අතර සංකලනය අරැමයක් නොවීය.  ට්‍රිනීඩෑඩ්හි පිහිටි උක් වතුවල වැඩ කිරීමට ගෙනෙන ලද අප්‍රිකානු වහලුන්ගේ පරම්පරාවලින් පැවත එන්නන් ද එම ප්‍රදේශයට රැකියා සොයමින් සංක්‍රමණය වූ ඉන්දියානුවන්ගේ දරු මුණුබුරන් ද ඔවුන් පාලනය කළ සුදු කළමනාකරැවන් හා සුදු පරිපාලකයන් ද ඔවුන්ගේ එක්වීමෙන් බිහිවු මිශ්‍ර දරුවන් ද සියල්ලටම මේ කුඩා සමාජය තුළ විසූහ. ට්‍රිනිඩැඩ් ජාතිකයන් කතා කළ ඉංග්‍රීසි බස එංගලන්තයේ වහරන බස නොව විවිධ ජාතීන්ගේ භාෂාවලින් ණයට ගත් සංකලන වූ බසක් විය. එයට “පිජින් ඉංග්ලිෂ්” යැයි නම් කරන ලද්දේ මේ සංකලනය නොරිස්සු ඉංග්‍රීසි මහදැනමුත්තන් විසින්ය. එහෙත් මේ බස මනා ලෙස හඳුනාගත් නයිපෝල් එය විවිධ රසයන් නිපදවිය හැකි ශෛලියක පදනම් කරගත්තේය. නයිපෝල් එසේ සාහිත්‍යකරණයට ඇතුළු වුවද පසුව ඔහු සුපිරි ඉංග්‍රීසි බස ඉස්තරම් ලෙස හැසිරවිය හැකි රචකයෙක් බවට පත්විය. එහෙත් විවිධ වාග් විලාසයන් ගැන ඇති සංවේදීභාවය ඔහුගේ සෑම කෘතියකම ගැබ්වී තිබුණේය.

එංගලන්තයේදී නමක් හදාගත් නයිපෝල් මුලින්ම සංචාරක රචනාවක් ලීවේ සිය දෙමව්පියන්ගේ මව්බිම වූ ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසුවය. ඔහුගේ මුතුන්මිත්තන් පදිංචිව සිටි ගුජරාටයේ කුඩා ගම්මානයක් සොයමින් ඔහු මුලු ඉන්දියාව පුරාම සැරිසැරීය. එම ඉන්දියා සංචාරයෙන් පසුව රචනා කරන ලද ඔහුගේ ග්‍රන්ථය තියුණු විවාදයට ලක් විය.  මේ වනවිට නිදහස් ඉන්දියාව අගමැති නේරැගේ නායකත්වය යටතේ සාර්ථකව ඉදිරියට ගමන් කරන බවට මතයක් විය. නේරු ලෝක සමාජවාදීන්ගේ වීරයා විය. ඔහුගේ ගමන්මග යටත් විජිතයෙන් මිදුන සමාජවලට ආදර්ශයක් විය හැකි මාවතක් හැටියට හඳුන්වා දෙන ලදී. නයිපෝල්ගේ රචනය මේ දර්ශනයට එල්ල කරන ලද කුලුගෙඩි පහරක බඳු විය. ඔහු නිරූපණය කළේ දුප්පත්කම, අසාධාරණය, කුල පීඩනය හා දූෂණය ගහන ඉන්දියාවකි. ඒ විග්‍රහය තුළින් නේරැගේ ප්‍රතිරූපය කීතු කීතු විය. නයිපෝල් ඉන්දියාව ගැන රචනා කරන්නේ අද්විතීය ප්‍රාණවත් ඉංග්‍රීසි බසකිනි. එවැනි ප්‍රබල ශෛලීයක් මෙකල ඉංග්‍රීසියෙන් රචනා ලිවූ කිසිකෙනෙක් සතු නොවීය.

ඉන්දියාවෙන් පටන් ගත් එම රචනා සම්ප්‍රදාය අප්‍රිකාව, ලතින් අමෙරිකාව, මැදපෙරදිග හා යළිත් ඉන්දියාව දෙස නව ඇසක් යොමු කිරීමට සමත් විය. ඔහු කර්කශ වාර්තාකරැවෙක් වුවද ඔහුගේ දුෂ්ටිය මානව හිතවාදී එකක් විය. නයිපොල් විසින් අරඹන ලද මේ ගවේෂණාත්මක රචනා ශෛලිය තුළින් අද අලුත් සාහිත්‍ය අංගයක් වාර්තමාන ලෝකයට හඳුන්වා දී තිබේ.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00