2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

නයිපෝල් හා ඔන්ඩච්චි

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 273

නූතන ඉංග්‍රීසි සාහිත්‍යය උඩුයටිකුරු කළ නවකතාකරුවා හා රචකයා වූ වී.ඇස්. නයිපෝල් පසුගියදා අභාවප්‍රාප්ත විය. අවුරුදු අනූවත් පසුකර ජීවත් වූ ඔහු නවකතා, ලිපි, රට රටවල්වල සංචාරය කර ලියන ලද රචනා හා සාහිත්‍ය විවේචනය තුළින් අපේ කාලයේ සාහිත්‍ය වීරයෙක් බවට පත්විය. ඔහුගේ එම කාර්යභාරය පිළිගත් ජාත්‍යන්තර සංස්කෘතික සමාජය විසින් ඔහුට සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පමණක් නොව පිදිය හැකි සෑම ගෞරව බහුමානයක්ම පාහේ ලබා දුන්නේය. නයිපෝල් සිය උත්පත්තිය ලැබූ ට්‍රිනිඩැඩ් නමැති බටහිර කොදෙව් දූපත අතහැර එංගලන්තයට සංක්‍රමණය වූයේ තරැණ අවධියේදීය.  තමා විසින්ම තෝරාගන්නා ලද රට වූ එංගලන්තය විසින් ඔහුට නයිට් පදවියක් පිරිනමන ලදී. එසේ වූව ද ඔහු අවසානය දක්වාම විවාදාත්මක චරිතයක් වූයේ ඔහුගේ විරෝධාකල්ප අදහස් නොපැකිලිව ප්‍රකාශ කිරීම නිසාය. 

සාම්ප්‍රදායික ඉංග්‍රීසි සාහිත්‍ය ඇල්මැරුණු ස්වභාවයක් දරයි. බොහෝවිට එහි උසස්ම ගණයේ නවකථා හැටියට සලකන ලද සාම්ප්‍රදායික නිර්මාණ සීමිත පරිසරයක් තුළ වෙසෙන පවුලක අභ්‍යන්තර ගැටුම් හා හැඟුම් පමණක් නිරූපණය කරයි. නිදසුනක් වශයෙන් එමිලි බ්‍රොන්ටේ හා වර්ජිනියා වුල්ෆ්ගේ නවකතා බොහෝ දුරට එකම කල්ලියේ මිතුරු මිතුරියන් කිපදෙනෙක්ගේ සියුම් හැඟීම් විස්තර කිරීම තේමා කරගෙන තිබේ. එම සීමිත “සීත කාමරය” ක් තුළ කාන්තාවන්ගේ හැඟීම් හා සීමාවන් කෙරෙහි අවධානය යොමුවන ගමන් ඔවුන්ට ද මානුෂික ආවේග සහ හැඟුම් ඇතිවන බව අපට මුරගා කියයි. මේවා බොහෝදුරට සංවේදී වචන හරඹවලට සීමා වෙයි. ඒ සියල්ල පසුපස ඉංග්‍රීසි සමාජයේ පංති භේදය හොල්මන් කරයි. මේ ඇල්මැරුණ සහ ව්‍යංගයෙන් ප්‍රකාශ කරන දෑ නිරූපණය කළ ඉංග්‍රීසි නවකතාව තරමක් දුරට හෝ කැලැත්තීමට සමත් වූයේ ඩී. එච් ලොරන්ස්ය. එක් පංතියක් තුළ කෙරුණු ගනුදෙනු වෙනුවට පංති දෙකක් අතර ඇති ලිංගික සම්බන්ධතාවයන් ඉස්මතු කළ ඔහුගේ “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” වැනි නවකතා ඉංග්‍රීසි සාහිත්‍යය සම්ප්‍රදායට ආගන්තුක විය. එය සාම්ප්‍රදායික විචාරකයන් විසින් අවතක්සේරු කරන ලද නවකතාවක් වූව ද ලීවිස්ගේ “භාවිත විචාරය” ප්‍රචලිත වීමෙන් පසුව නව ඇගයීමකට ලක් කරන ලදී.   ලිවිස්ගේ විචාර කලාවේ අග්‍රඵලය ලෙස සැලකෙන ලෝරන්ස් සහ ටී. ඇස්. එලියට්ගේ කෘති ඔහු විසින් අධිතක්සේරැ කරන ලදී.

අප පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්නා කාලයේ සාහිත්‍ය විචාරයට නව අරැතක් හඳුන්වා දෙනු ලැබුවේ ලීවිස්වාදින් විසිනි. ලින් ලුඩොවයික් නමැති ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයා කේම්බ්‍රිජ් සරසවියේදී ලීවිස්ගේ ගෝලයෙක් විය. ඔහු “භාවිත විචාරය” පිළිබඳ මත ලංකා සරසවියේ සිසුන්ට හඳුන්වා දුන්නේය. එම බලපෑම සිංහල අංශයට ද පැතුරුණෙන් සරච්චන්ද්‍ර ප්‍රමුඛ තරුණ විචාරකයන් “භාවිත විචාරය” මූලධර්ම හා සංස්කෘත පඬිවරැන්ගේ න්‍යායන් අතර සමානතාවයක් ඇති බව තර්ක කළහ. සරච්චන්ද්‍රගේ “කල්පනා ලෝකය” තුළ එම එළැඹුම හඳුනාගත හැකිය.  අමරදාස වීරසිංහ හා ගණනාථ ඔබේසේකර විසින් සංස්කරණය කරන ලද “සංස්කෘති” සඟරාව, ආරිය රාජකරුණා හා ධර්මසිරි ඒකනායකගේ විචාර ලිපි ආදිය තුළින් “භාවිත විචාරය” මනා ලෙස හසුරුවන ලදී. ලීවිස් විසින් කරළියට ගෙන එන ලද ඩී.එච්. ලෝරන්ස් තරුණ ගුණදාස අමරසේකරගේ විඥානය කෙරෙහි බලපෑ බව පැහැදිලිය. ඔහුගේ  “යළි උපන්නෙමි” නවකතාව එම ආභාෂය හොඳින් නිරෑපණය කරයි. පසුකලෙක අමරසේකර එම අදහස් මෙන්ම තම නව කතාව ද ප්‍රතික්ෂේප කළේ එම “හැව” දැන් හලා ඇති බව සඳහන් කරමිනි.

ඇල්මැරුණු ඉංග්‍රීසි සාහිත්‍යයට නව පණක් එක්කළේ විදේශීය සාහිත්‍යකරුවන් දෙදෙනෙකි.  ඒ ජෝසප් කොන්රාඩ් හා ටී. එස්. එලියට්ය. කොන්රාඩ් පෝලන්ත ජාතිකයෙක් වූ අතර, එලියට් උත්පත්තියෙන් අමෙරිකන් ජාතිකයෙක් විය. ඔවුන්ගේ කෘති තුළින් සංවෘත ඉංග්‍රීසි සාහිත්‍යය නව අත්දැකීම් ගහන විශ්ව පරිසරයකට කැඳවා ගෙන යනු ලබයි. ගිරැවාපත්තුව පසුබිම් කරගත් ලෙනාර්ඩ් වුල්ෆ්ගේ “බැද්දේගම” ද කොන්රාඩ් හා එලියට්ගේ කෘතීන් සමඟ සමකළ නොහැකි වුවද, එම නව මාවතේම ගමන් කළ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය.

බටහිර කොදෙව්හි ට්‍රිනිඩෑඩ්වල ජීවත් වූ ඉන්දියානු සම්භවයකින් යුත් පහළ මධ්‍යම පාංතික පවුලක් වටා ගෙතුණ “ බිස්වාස්ට නිවසක්” නමැති ග්‍රන්ථයෙන් නයිපෝල් ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකයට පිවිසුණේය. ඇල්මැරුණු ඉහළ ඉංග්‍රීසි සමාජයට මේ නවකතාව අලුත් ඇත්දැකීමක් විය. ඒ වන විට නයිපෝල් එංගලන්තයට සංක්‍රමණය වී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ගෙන පුවත්පත් ලේඛකයකු ලෙස ජීවිතය ඇරඹු තරුණයෙකි.  ඔහු ඉංග්‍රීසි සිරිත් විරිත් අනුකරණය කරමින්, ඉංග්‍රීසි කාන්තාවක් සමඟ විවාහ වෙමින් එහි උසස් සමාජයට ඇතුළත් වීමට මහන්සි ගත්තේය. ඒ අත්දැකීම් ඔහුගේ පොතපත තුළ මෙන්ම පුවත්පත් සඟරාවලට ලියන ලද ලිපි තුළින් හොඳින් විස්තර කර තිබේ. නවකතාවක අත්‍යාවශ්‍ය සාධකය වන්නේ කතුවරයාගේ භාෂාවයි. ඔහුටම අනන්‍ය වූ භාෂාවක් නිර්මාණය කරගත නොහැකි නවකතාකරැවා හුදෙක්ම පුවත්පත් ලේඛකයෙක් මිස සාහිත්‍යකරැවෙක් නොවේ. අද සිංහලයෙන් රචනා වන නවකතාවල විශාල ප්‍රමාණයක දක්නට ඇත්තේ තුට්ටු දෙකේ පුවත්පත් භාෂාවයි. එම වදන් කෝෂය තුළම රුඳී සිටින රචකයන්, මාධ්‍යවේදීන් විසින් කොතෙකුත් පුම්බන ලද වුවද ඔවුන්ගේ කතාවල බස අප තුළ ජනිත කරන්නේ විශ්මය නොව ජුගුප්සාවයි.

නයිපෝල්ගේ නවකතා  තුළින් නිරූපණය වන්නේ පශ්චාත් යටත්වාදී එංගලන්තයයි.  ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයේ ලකුණක් වූයේ ඉංග්‍රීසි බස හා සංස්කෘතිය යටත්විජිතවලට කාවැද්දවීමයි. එය “මැකොලේගේ න්‍යාය” වශයෙන් හඳුන්වා දිය හැකිය. එහෙත් “මැකොලේගේ දරුවන්” කළු ඉංග්‍රීසිකරැවන් වූයේ නැත. ඔවුන් තමන් ලද ඉංග්‍රීසි බස රිසිසේ කපා කොටා තම තමන්ගේ සංස්කෘතික අත්දැකීම් අනුව නිර්මාණශීලීව සකස් කර ගත්තෝය. ඔවුහු කළු ඉංග්‍රීසිකරැවන් නොව ඉංග්‍රීසීන්ට කළු බව කීම ද කියා දෙන බුද්ධිමතුන් වූහ. ඒ නිසා ඇති වූයේ සුදු හෝ කළු සාහිත්‍යයක් නොව “දුඹුරැ” සාහිත්‍යය කලාවකි. එම සංයෝගය වචනයට පමණක් නොව සංගීතය, විත්‍ර කර්මය, නාට්‍යය හා චිත්‍රපටිය දක්වා ව්‍යාප්තව ඇත.

නයිපෝල්ගේ මේ “දර්ශනය” පෙනෙන්නේ ඔහු විසින් ඉන්දියාව, අප්‍රිකාව හා මැදපෙරදිග රටවල් ආදිය සංචාරය කර ලියන ලද විස්තරාත්මක කෘතීන් තුළිනි. අද “ට්‍රැවලොග්” යනුවෙන් හඳුන්වන රචනා පිළිගත් සාහිත්‍ය අංගයක් බවට පෙරළී තිබේ. එහෙත් බොහෝ “ට්‍රැවලොග්වල” වුවද මුල් ඉංග්‍රිසි නව කතාවල ඇල්මැරුණු ස්වරෑපයක් දක්නට තිබේ.  ඒවායේ බස පෙරකී බෙලහීන පුවත්පත් භාෂාවමයි. එහෙත් නයිපෝල් හා පෝල් තෙරෝ වැනි රචකයන් කීපදෙනෙක් සංචාරක ලිපි උසස් සාහිත්‍ය අංගයක් බවට පත්කර තිබේ. එම රචනා අපට නැරඹිය යුතු තැන් හඳුන්වා දෙනවා පමණක් නොව එකී සමාජයන් හා ඒවායේ ගැඹුරු පත්ලෙහි ඇති ප්‍රශ්න කෙරෙහි අප අවධානය යොමු කරන්නේ සුපුරැදු විශ්මිත වාග් හරඹය තුළිනි. පශ්චාත් නූතන ඉංග්‍රිසි කලාව දැන් සුද්දන්ගෙන් පලා ගොස් ඇත. එය සියතට ගෙන ඇත්තේ යටත් විජිතවල ඉපදී ඉංග්‍රිසි සමාජය ග්‍රහණයට ගෙන ඇති අය විසිනි. අභාවප්‍රාප්ත වී. ඇස්. නයිපෝල් මෙම වෙනසේ පෙර ගමන්කරැවෙකි. මගේ අදහස නම් ඔහුගේ අනුප්‍රාප්තිකයා වන්නේ අපේ රටේම ඉපැදී දැන් බටහිර සාහිත්‍ය ලෝකයේ ආක්‍රමණය කර ඇති මයිකල් ඔන්ඩච්චිය.

 

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00