2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මතුමහල වෙනස් කිරීම

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

1965 දී පිහිටුවන ලද ඩඩ්ලි සේනානායක රජයේ අධ්‍යාපන ඇමැති වූයේ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ලයි. ලිබරල්වාදී රජයක ඇමැතිවරයෙක් වුවද ඊරියගොල්ල පාසැල් මෙන්ම සරසවිද කෙළින්ම ඔහුගේ පාලනයට නතුකර ගැනීමට නොපැකිළව ඉදිරිපත් විය.  ඔහුගේ දරදඬු පාලනයට එරෙහිව සරසවි ගුරුවරුන් මෙන්ම සිසු කැල තමන්ගේ ආයතනවලට ස්වාධීනත්වය ඉල්ලමින් අරගල කරන්නට පටන් ගත්තෝය. ඊරියගොල්ලට තිබු හිතවත්කමත් රජයට වන පාඩුවත් අතර හිරවී සිටි ඩඩ්ලි කරකියාගත හැකි දෙයක් නොමැතිව ගොළුවත රැක්කේය. ඔහුට හිතවත් සිංහල මාධ්‍ය හරහා සරසවි ඇදුරන්ට වාග් ප්‍රහාර එල්ල කළ ඊරියගොල්ල ඇමැතිතුමා සරසවිවලට ස්වාධීනත්වය ඉල්ලීම හාස්‍යයට ලක් කළේය. සරසවි නිදහස ඔහු හැඳින්වූයේ “ඔටොනොමිය” කියායි. ඔහු  “ඔටොනොමිය” සිනාවට කාරණාවක් පමණක් නොව සිංහල බසේ කුණුහරුපයක් බවටත් පත් කළේය. 1970 ඡන්දයේදී මහාචාර්ය සරච්චන්ද්‍ර ඇතුළු සරසවි ඇදුරන් හා සිසුන් ඊරියගොල්ල විරෝධී වේදිකා තුළින් ජනතාව අමතමින් එ.ජා.ප.යේ පරාජය තහවුරු කළෝය. 

මට ඊරියගොල්ල ගේ “ඔටොනාමිය”මතක් වුයේ ග්‍රැම්සිගේ සංකල්පයක් වූ අධිපති මතවාදයට සිංහල වචනයක් හොයන විටයි. එම සංකල්පයට “හෙගමොනිය” යැයි නම් කළ හැකිය. වත්මන් වාමාංශික දර්ශනය තුළ මෙන්ම දක්ෂිණාංශික උපාය මාර්ග තනන්නන් අතර “හෙගමොනිය” බහුලව පැවසෙන වදනකි.

සරල මාක්ස්වාදය  අනුව  පංතිවලට බෙදුන ආර්ථික යටිතලයේ නිරූපණයක් හැටියට සංස්කෘතිය හා මතුමහල හඳුන්වා දෙනු ලැබේ. එහෙත් ආර්ථික සාධකයක් මතම මතුමහල නිර්මාණය වන්නේ යැයි කියැවෙන මුල් මාක්ස්වාදී විශ්වාසය දැන් ප්‍රතික්ෂේප වී තිබේ.  ආර්ථික ප්‍රභේදයන් මතම පමණක් මතුමහල නිර්මාණය වන්නේය කියන බිඳ වැටී ඇති තර්කය දැන් අදහන්නේ අන්තවාදී විප්ලවකාරි කණ්ඩායම් පමණය.  විශේෂයෙන්ම ජේ.වී.පියෙන් බිඳී ආ දඩිබිඩිකාරයින්ගේ කොටසක් මේ මතයේ එල්බගෙන සිටින බව පෙනේ. එහෙත් සත්‍යය එයට ඉඳුරාම වෙනස්ය.

රුසියානු කොමියුනිස්ට් විප්ලවයෙන් පසු ලෝක කම්කරැවන් අනවරතයෙන් විප්ලවය දෙසට ඇදී යනු ඇතැයි යන්න එකල විසූ ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදින්ගේ ඇදහිල්ලක් විය. ට්‍රොට්ස්කි හා ඔහුගේ අනුගාමිකයන් ඒ මතය ප්‍රචලිත කළහ. ට්‍රොට්ස්කිගේ මතය වූයේ රුසියානු විප්ලවය රුක ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරුවන් නැඟී සිටිය යුතු බවයි. ඔහු “එක් රටක සමාජවාදය” යන ස්ටාලින්වාදි දර්ශනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළේය. එහෙත් සිදුවූයේ ට්‍රොට්ස්කි හීනෙන්වත් නොසිතු ප්‍රතිචාරයකි.  රෝසා ලක්සම්බර්ගේ රචනා අනුව රුසියානු විප්ලවය රුක ගැනීමට ජර්මන් කම්කරැවන් සිය රටේ රජ පවුලට හා රදල පංතියට විරුද්ධව නැගී සිටිය යුතුය. එහෙත් ඇය සහ ලයිබ්නිච්ට් දියත්කළ රාජ්‍ය බලය ඇල්ලීම ලත් තැනම ලොප් විය. කම්කරැවන් නියෝජනය කරන පක්ෂ යොදා ගන්නා ලද යුද හමුදාව විසින් රෝසා මරා දමන ලදී.  දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මන් කම්කරුවන් රණ ගී ගයමින් රුසියානු කම්කරුවන් ඝාතනය කිරීමට ඉදිරිපත් වූවෝය. ජාතිවාදය, පංති සහෝදරත්වය අභිබවා නැඟී සිටියේය. මේ සංසිද්ධියත් ග්‍රැම්සිගේ විමර්ශනයට ලක් විය.

එම විභාගය සඳහා ඔහු “හෙගමොනිය” නම් සංකල්පය ඉදිරිපත් කළේය. මාක්ස් දුටු මතුමහල සංකල්පය ඔහු ප්‍රතික්ෂේප කළේය. එංගල්ස් පවා මාක්ස් ගේ අතාර්කික බව වැසීමට “ව්‍යාජ විඥානය” නමැති සංකල්පය ඉදිරිපත් කළේය. ඒ අනුව කම්කරුවන් තමන්ගේ නියම අයිතිය ඉල්ලීමට මැලිවන්නේ ඔවුන් පංති අවශ්‍යතා මත නොව “ව්‍යාජ විඥානය” නිසා මුලාවී සිටින බව කියැවුණි. ග්‍රැම්සි පෙන්වා දුන්නේ එය “ව්‍යාජ” සංසිද්ධියක් නොව මතුමහල තුළ “හෙගමොනිය” ක්‍රියාත්මක වන නිසා බවයි. ඒ අනුව ග්‍රැම්සි කීවේ කම්කරැවන් තමන්ගේ විකල්ප මතුමහලක් නිර්මාණය නොකර ගන්නා තාක් පවත්නා “හෙගමොනිය” විසින් ජනතාව ඔවුන්ගේ පංතිය පරාජය වන බවයි. මේ ග්‍රැම්සි දර්ශනය බොහෝදුරට “විකල්ප විඥානයක්”  නිර්මාණය කිරීමට කැප වූ “පෙරදිග සුළඟ” වැනි කණ්ඩයම්වලට රැකුලක් විය. බාලසූරිය, සුචරිත ගම්ලත් හා ධර්මසේන පතිරාජ වැනි අය යත්න දැරුවේ එම මතුමහල වෙනස් කිරීම වෙනුවෙන් තමන්ගේ හැකියාවන් කැප කිරීමටයි.

අල්තුෂර් වැනි ප්‍රංශ මාර්ක්ස්වාදි දාර්ශනිකයින් මේ කම්කරුවන්ට නතු කරගත නොහැකි වු මතුමහල පාලක පංතියේ “බලය” නිරුපණය කිරීමට යොදාගන්නා බව කීවෝය. එම නිසා සංස්කෘතික විඥාන “බලය” පිළිබඳ විමසුමක් ද ඇතුළත් විය. අල්තුෂර් මෙම බලය සැඟවුණ රෞද්‍ර බවක් ඇති “සිවිල් බලය” මෙයට කෙළින්ම හිංසනය එල්ල කළ හැකි “මිලිටරි බලය” හැටියට විග්‍රහ කරයි. ලෝක දේශපාලනය විග්‍රහ කිරීමේදී මේ තාර්කික පසුබිම බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00