2018 ජුලි 28 වන සෙනසුරාදා

පාපන්දු හා දේශපාලන පන්දු

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 68

ලෝක පාපන්දු කුසලාන ජයගත් ප්‍රංශ ක්‍රීඩකයින් උදාර ලීලාවෙන් සිය මව්රටට ආපසු පැමිණියෝය. මුළු ප්‍රංශ සමාජයම ඔවුන්ව මහත් භක්තියෙන් පිළිගත්තේය. ජනාධිපති මැක්රොන් සිය නිල නිවසේ දී ඔවුන්ව පිළිගෙන රටේ ඉහළම ගෞරවය පිරිනැමුවේය. බොහෝ විට එක් එක් වීරයාට පිදෙන ගෞරව පදක්කම් මෙවර මුළු කණ්ඩායමේම සාමාජිකයන්ට ලබාදෙන ලදී. ක්‍රීඩකයන් දැන් ඔවුන්ගේ ගම් බලා පිටත්ව ගොස්ය. ටික දිනක නිවාඩුවකින් පසුව ඔවුන් නැවතත් පුහුණුවීම අරඹා තම තමන්ගේ කණ්ඩායම් අනුව යුරෝපීය කුසලානය දිනා ගැනීමට තරග වැදීමට නියමිතය. කණ්ඩායමේ සුරතලා වූ කිලියන් බාජේ නම් තරුණ දක්ෂ පාපන්දු ක්‍රීඩකයා හැදී වැඩුණේ පැරිස් නගරය තුළමය. පැරීසියේ පර්යන්තයේ පිහිටි රොසි නැමති ප්‍රදේශය ඔහුගේ නිජබිමයි. රොසි පළාත විවිධ සංක්‍රමණික කණ්ඩායම් ගහන තැනකි. කිලියන්ගේ පියා අප්‍රිකානු ජාතිකයෙක් වන අතර, මව ඇල්ජිරියානු කාන්තාවකි. තද කළුපාට මුහුණු ඇති ක්‍රීඩකයින් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සිටි අතර, කිලියන් මිශ්‍ර ජාතිකයෙකු වූ නිසා ඔවුන්ට වඩා තලඑළෙලු විය. මේ නිසා සෑම ජාතියකම ප්‍රංශ පුරවැසියන් ඔහුට ළංවීමට හේතු තිබුණේ යැයි ඇතැම් විචාරකයෝ ප්‍රකාශ කර තිබේ. ඒ කෙසේ වුවද ඔහු නැගී එන ප්‍රංශ ක්‍රීඩා තරැව බවට කිසිම සැකයක් නැත.

මා ප්‍රංශයේ ජීවත්වන කාලයේ එවැනිම මිශ්‍ර ජාතික සුපිරි ක්‍රීඩා තරු කීප දෙනෙක් ගැන දැනගන්නට ලැබුණේය. ඔවුන්ගෙන් එකෙකු වුයේ ඇල්ජීරියානු සම්භවයෙන් ආ ශිඩාන්ය. ඔහු ප්‍රංශ කණ්ඩායමේ නායකයා වූවා පමණක් නොව ක්‍රීඩා පිටියේ තියුණු තරගකරුවෙකුද වූයේය. එක් ලෝක පාපන්දු තරගයකදී විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ශිඩාන්ව තරහ ගැන්වීමට ඔහුගේ සහෝදරිය ගැන කුණුහරැපයක් කීවේය. සැනෙකින් ක්‍රීඩාව අමතක කළ ශිඩාන් ඔහුට අවනම්බු කළ සුද්දාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. මෑතක් වනතුරු ඔහු දක්ෂ ක්‍රීඩා පුහුණුකරැවෙක් හැටියට සේවය කළේය.  පසුගිය යුරෝපීය කුසලාන තරගයේදී ඔහු පුහුණු කළ “රියල් මැඩ්රිඩ්” නමැති ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම අංක එකේ තත්ත්වයට පැමිණියේය. එහෙත් එම ජයග්‍රහණය අත්කර දීමෙන් පසු ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විය. ඊට හේතුව වූයේ ඔහුගේ එම ක්‍රීඩා සමාජයේම දිදුලන තරැව වශයෙන් සලකන ලද රොනාල්ඩෝ සමඟ ඇතිවූ ගැටුමයි. ශිඩාන් ඉක්මනින් තරහ ගන්නෙක් බව නැවතත් ඔප්පු කළේය.

එම කාලේ මා හඳුනාගත් දෙවැනි ක්‍රීඩා තරුව වූයේ ටෙනිස් ක්‍රීඩක යැනික් නොවායි.  මිශ්‍ර ජාතික සම්භවයකින් බිහිවූ යැනික් කඩවසම් තරුණයෙක් වූවා පමණක් නොව ලාබාල ක්‍රීඩකයෙක්ද විය. සාමාන්‍යයෙන් ගත්කළ ප්‍රංශයේ ක්‍රීඩා කෙතේ විවිධ ජාතිකත්වයන් ඇති අය දස්කම් පෙන්නා ඇත. එය රටේ එකමුතුකම දක්වන සංකේතයක් හැටියට ද හුවා දක්වනු ලැබේ. ඒසේ වූවද  ක්‍රීඩකයන් පිටිය තුළත් පිටියෙන් පිටතටත් ගියවිට බොහෝ අපහාසයන්ට ලක්වන බව ප්‍රසිද්ධ රහසකි. කළු ක්‍රීඩකයන් ගෝරිල්ලන්ට සමකළ ඇතැම් ප්‍රේක්ෂකයන් ක්‍රීඩා පිටියට කෙසෙල් ගෙඩි විසිකරන කාලයක් ද විය.

ප්‍රංශ පාපන්දු කණ්ඩායම ඉහළින් පිළිගැනීම නිසා ජනතා ප්‍රසාදයට ලක්වූ ජනපති මැක්රොන් පසුගිය සතියේ තම කොළය ඉරාගත්තේය. මැක්රොන්ගේ ආරක්ෂක සේවකයින් අතර ඇලක්සෙන්ඩර් බෙනෙලා නමැති ඇල්ජීරියන් සම්භවයකින් යුතු කෙනෙක්ද විය. ඔහු මැක්රොන්ගේ කිට්ටුවන්තයෙක් ලෙස නම් දරා තිබුණේය. ටික කලකට පෙර බෙනෙලා විසින් කරන ලද මුග්ධ ක්‍රියාවක් ගැන ප්‍රංශ “බුකිය” රත් වූණේය. බෙනලා පැරිසියේ පොලිස් ඇඳුමක් ඇඳගෙන වර්ජකයන්ට පහර දෙනවා පටිගත කර මුදාහැර තිබුණි.  එය සමාජ මාධ්‍ය ජාලය තුළ ප්‍රචාරය විය. ජනාධිපතිගේ ආරක්ෂකයා ඔහුගේ රාජකාරියට අයත් නොවන එම  මුග්ධ කටයුත්ත කළේ මන්ද? ඔහු හිංසනයට ඇබ්බැහි වූ මානසික රෝගියෙක්ද? එසේ නම් ඔහුට ජනාධිපති සෙවණේ හිංසන කටයුතු කිරීමට ඉඩදී තිබුණේද? මෙවැනි ප්‍රශ්න මාධ්‍ය විසින් නඟා ඇති අතර, මැක්රොන් ඒවා හමුවේ අසරණවී සිටී.

තම රටේ පාපන්දු ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීම තුළින් ජනප්‍රසාදය දිනාගත් මැක්රොන් හදිසියේම කළු චරිතයක් බවට පත්වී තිබේ. ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ආවොත් ඔහු අමාරුවේ වැටීමට හොඳටම ඉඩ තිබේ. ඔහු විසින් නිර්මාණය කරන ලද දේශපාලන පක්ෂයට ඇදී ආවේ වෙනත් සම්ප්‍රදායික පක්ෂවල ආධාරකරුවන්ය. තත්ත්වය නරක අතට හැරැණොත් ඔවුන් නැවතත් තමන්ගේ පරණ පක්ෂ නිවහනට පා නැගිය හැකිය.

මෙතැන උභතෝකෝටිකය නම් අර පාපන්දු වීරයන් මෙන්ම බෙනෙලාද පිටස්තරයෙක් වීමයි. ඔහු ඇල්ජීරියානු සම්භවයේ මිනිසෙකි. සමහරවිට ඔහු පසුගිය ඡන්දයේදී මැක්රොන්ට සුලු ජාතික ඡන්ද ලබාදීමට මුල් වූ කෙනෙක් විය හැකිය. මුලදී මැක්රොන්ගේ රාජ්‍ය තන්ත්‍රය මෙම ප්‍රශ්නය යට ගැසීමට තැත් ක‍ළේය. එහෙත් නැගී එන මහජන විරෝධය හමුවේ ජනාධිපති වගකීම තමන් භාර ගන්නා බව කියමින් බෙනෙලාව සේවයෙන් පහ කළේය.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00