කොළඹ නාරාහේන්පිට අභයාරාමය මේ රටේ දේශපාලන භූමිකාව තුළ විවාදාත්මක සිදුවීම් ගණනාවකම තිඹිරිගෙය විය. එයට හේතුව වූයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් කවදාවත් පන්සලට වී බණ දේශනා කරමින් සිටි හිමි නමක් පමණක් නොවීමය. බණ කියන අතරම රටේ ජාතික, ආගමික පමණක් නොව වෘත්තීය සටන් වලද මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ නම ඒ කාලේ පටන්ම ඉහළින් කියැවුණේය. මේ රටේ ප්‍රථම විධායක ජනාධිපති වූ ජේ.ආර්. සමඟ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් හැප්පුණේ ඔහු තම බලයේ උපරිම තලයේ සිටියදීය. ඉහළම ජනප්‍රියත්වයක් අත්කරගෙන සිටි නායකයකු වශයෙන් සිටියදීමය.
ජේ.ආර්. සමඟ හැප්පෙමින් එක්සත් හෙද සංගමයට නායකත්වය දී හෙද හෙදියන්ගේ අයිතිවාසිකම් බොහොමයක් ලබාදීමට මුල්වූයේ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ය. ඒ කාලේ විපක්ෂයේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීන් අට දෙනාට වඩා ජේ.ආර්.ට බලපෑම් එල්ල කිරීමට මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට හැකියාවක් තිබුණි. වරක් එහිදී සිදු වූ උද්ඝෝෂණයකදී වෙඩි වැදීමකින් තරුණ මරණ දෙකක්ද සිදුවිය.
එහෙම ඉතිහාසයක් තිබෙන අභයාරාමය මහින්ද රාජපක්ෂ පාලනය සමඟ කටයුතු කළේ බොහෝ හිතවත්වය. රාජපක්ෂ පාලනය තිබෙනතුරු පමණක් නොව ඉවරවීමෙන් පසුද මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ මහින්ද සමඟ තිබූ හිතවත්කම් නැති කරගත්තේ නැත. යහපාලනයට ජැක් ගහන්නට ගියේ නැත. ඒ වෙනුවට අභයාරාමය මහින්දට තම දේශපාලන පන්නරය යළි මුවහත් කරගැනීමේ සටනේ නවාතැන්පොළක් බවට පත්විය. මහින්ද ජනාධිපතිවරණ පරාජයෙන් පසුව මාධ්‍යවේදීන් හමුවීමට හිතවතුන් හමුවීමට අභයාරාමය භාවිත කළේය. කොළඹ නිල නිවෙසක්ද අහිමිව තිබූ කාලයේ මහින්ද හමුවීමට බොහෝ දෙනා ගියේ අභයාරාමයටය.
මෛත්‍රීපාල ජනාධිපතිවරයාත් මුරැත්තෙට්ටුවේ හිමියන් සමඟ ඇසුරක් තිබූ දේශපාලනඥයෙක් විය. ඔහු රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමැතිධූරය දරමින් සිටියදී මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කළේය. එසේ වුවද රාජපක්ෂ පාලනය ඉවරවීමෙන් පසුව මෛත්‍රීපාල ජනාධිපතිට එරෙහිව අවස්ථා කීපයකදීම මුරුත්තෙට්ටුවේ හිමියන් හඬ නගා තිබුණේය.
මේ පසුබිම යටතේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කොමිසමක් පත්කොට අපරාධ නීතිය යටතේ පරීක්ෂණ පවත්වන බව කියන්නට අභයාරාමයම තෝරා ගත්තේ ඇයිදැයි කියන්න දන්නේ නැත. පසුගිය 25 වැනිදාට යෙදී තිබූ අවුකන බුදුපිළිමයේ අනුරුවක් විවෘත කිරීමේ උළෙලට එක්වීමට ජනාධිපතිවරයා ගියේ හදිසියේම වාගේය. එම උත්සවයට වැඩම කර සිටි හාමුදුරුවන් අතර බෙල්ලන්විල හාමුදුරුවෝද සිටියහ.
ජනාධිපතිවරයා මෙහිදී දේශපාලන කතාවක් කිරීමට පූර්ව සූදානමින් පැමිණි බව කතාවෙන් පෙනෙන්නට තිබුණද ඔහු කතාව ආරම්භයේදී පැවැසුවේ මම අද ආවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදාගෙන මලක් පූජා කරලා යන්නයි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ අනුශාසනාවත් අපේ බෙල්ලන්විල නායක හාමුදුරුවන්ගේ අනුශාසනා වලිනුත් මට කතාවක් හදලා දුන්නා කියාය. උන්වහන්සේලා පෙන්වා දුන් අනුශාසනා කළ කරුණුවලට පිළිතුරක් නුදුන්නොත් මම ජනාධිපති හැටියට වගකීම් පැහැර හැරියා වෙනවා කියාද ජනාධිපතිවරයා කිව්වේය.
මොනවාද මේ හාමුදුරුවන් පෙන්වා දුන් කරුණු...
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් අනුශාසනාවේ මෙසේ සඳහන් වී තිබුණේය.
ආගාමික උත්සවයකදී දේශපාලනය ගැන කියන්න මම කැමැති නෑ. ඒ වුණත් ආනන්ද හාමුදුරුවෝ කියපු නිසා දෙයක් කියන්න හිතෙනවා. ජනාධිපතිතුමනි, මේ රටේ මිනිස්සු මීට වසර දෙකකට පෙර වෙනසක් ඇති වේය කියලා බලාපොරොත්තු වුණා. යුක්තිගරුක, සාධාරණ සමාජයක් මිනිස්සු බලාපොරොත්තු වුණා.
පසුගිය කාලේ මිනිස්සු කලකිරීමට පත්වුණා. කනගාටුයි කියන්න අද වෙනසක් වෙලා නෑ.
උදාහරණයක් කියන්න කැමැතියි. අද මේ රටේ වංචාවක් තියෙනවා. පොඩි එකකුගෙන් ඇහැව්වත් කියාවී ඒක වංචාවක් කියලා. මේක හොරකමක්. ඇයි මේක වහන්න හදන්නේ. ඇයි මේකට කොමිෂන් සභා පත් කරන්න හදන්නේ.
තමන්ගේ මිත්‍රයන්ට හිතවතුන්ට ලාභ උපයා දෙන රටට කෝටි බිලියන ගණන් පාඩුවෙන දේවල් කරන්න ලැජ්ජ නැද්ද කියලා මේ මහත්වරුන්ගෙන් අහන්න ඕනි. කලිසන් ඇඳන් මේවා කරන්න ලැජ්ජ නැද්ද? මෙහෙම වේගවත් කතාවක් කරපු බෙල්ලන්විල නායක හාමුදුරුවන් ඊළඟට කිව්වේ ජනාධිපතිතුමා අවංක බවත් බලය පාවිච්චි කොට වංචා දූෂණ නැති කිරීමට කටයුතු කළ යුතු බවත්ය.
ඊළඟට මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කිව්වේ කාටවත් බිය නොවී කාටවත් යටත් නොවී කටයුතු කරන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවය. අපේ සටන් පාඨය තමයි අපිට සලකන කොට අපි සලකනවා. අපේ හරහට හිටියොත් අපිත් හරහටයි ඉන්නේ. ඒ නිසා රටේ යහපත වෙනුවෙන් ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම අපි සහයෝගය දෙනවා කියාත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ කතාවේ සඳහන් විය.
බුද්ධ ප්‍රතිමා වහන්නේ වැඳ පුදාගෙන මලක් පූජා කරලා යන්න හිතාගෙන අභයාරාමයට පැමිණි ජනාධිපතිවරයා ආපසු යාම පැත්තක තබා බරපතළ කතාවක් කළේ ඉන්පසුවය. ආණ්ඩුවේ වුණත් විපක්ෂයේ වුණත් හොරුන් රැකීමට තමන්ට උවමනා නැති වගත් මේ රටට අවංක දේශපාලනඥයන්ගේ හිඟයක් තිබෙන බවත් කියූ ජනාධිපතිවරයා මහේන්ද්‍රන් එළෙව්වෙත් කුමාරස්වාමි ගෙනාවෙත් තමන් බව කියා සිටියේ දැඩි ස්වරයකිනි. මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලද්දේ වරද කරුවන්ට අපරාධ නීතිය යටතේ දැඩි දඬුවම් දීමට බවත් කියූ ජනාධිපතිවරයා ඊට පෙර මහ බැංකුවේ වසර හත අටක් තිස්සේ සිදුවූ වංචා සම්බන්ධයෙන්ද පරික්ෂාකර වරදකරුවන්ට දඬුවම් දෙන බවද කියා තිබුණේය.
ජනාධිපතිවරයා බැඳුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදුවී ඇති බව ප්‍රකාශ කරන විට ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වය කියන්නේ බැඳුම්කර ගැන නොදන්නා පිරිස් ඒ ගැන විවේචනය කරන බවය. වැරැද්දක් සිදුවී ඇත්නම් වැරැදිකරුවන් සිටී නම් ඔවුන් ආරක්ෂා නොකරන බවද කිරිඇල්ල සහ කබීර් හෂීම් ඇමැතිවරු විවාදයේදී කියා තිබුණේය. කොහොම වුණත් මේ බැඳුම්කර විවාදයත් ජනපතිගේ කතාවත් නිසා ආණ්ඩුවේ විශාල දෙදරීමක් හටගැනීමට පාර කැපෙමින් තිබේ.
එහෙම වෙන්නේ ජනාධිපතිවරයා එළ වූ බව කියන මහේන්ද්‍රන් එම තනතුරට ගෙන ආවේ අග්‍රාමාත්‍යවරයා වීම හේතුවෙනි. එසේම ජනපති ගෙන ආ බව කියන කුමාරස්වාමිගේ පත්වීම සිදු කෙරුණේ අගමැතිගේ එතරම් කැමැත්තකින් නොවීමත් හේතුවෙනි.
අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පදවියෙන් ඉවත් කෙරුණේ විශාල අර්බුදකාරී සාකච්ඡා ගණනාවකින් පසුවය. බැඳුම්කර ගනුදෙනු වලදී විශාල වංචාවක් සිදුවී ඇති බවටත් ඒ පිළිබදව වහාම සොයාබැලිය යුතු බවටත් ඒ දවස්වල චෝදනා නැගෙද්දී අගමැති සිටියේ නිහඬවය. යහපාලන රජය ගෙන ඒමට මූලික වූ සිවිල් ක්‍රියාකාරිකයන්ගේ විරෝධයද එල්ල වීම ඇරුඹු විට අර්ජුන මහේන්ද්‍රන්ගේ ඉවත් කිරීම වැළැක්විය නොහැකි තත්ත්වයකට පත්විය. තමන් බේරා ගත යුත්තේ යහපාලනයේ හොඳ නාමයද අර්ජුන මහේන්ද්‍රන්ගේ පදවියද යන්න තෝරා බේරාගත නොහැකි තත්ත්වයකට ආණ්ඩුව තල්ලු වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. එහිදී ජනාධිපතිවරයාත් ඔහුගේ ශ්‍රීලනිප ඇමැති කණ්ඩායමත් පසු වූයේ මහේන්ද්‍රන් විරෝධී ස්ථාවරයක බව රහසක් නොවීය. අන්තිමේදී ඇතුළින් නැග ආ විරෝධය හමුවේ අර්ජුන මහේන්ද්‍රන් රුකගැනීමේ උත්සාහය අකැමැත්තෙන් වුවද අතහැර දැමීමට ආණ්ඩුවේ යූ.එන්.පී. පාර්ශ්වයට සිදුවිය.
යහපාලන පාර්ශ්ව දෙක අතරේ නොහොඳ නෝක්කාඩු පළමුවතාවට එළියට පැන්න අවස්ථාව වූයේ බැඳුම්කර සිද්ධියයි. එතැන් පටන් පසුගිය 24දා පාර්ලිමේන්තුවේ පැවැති කෝප් වාර්තා විවාදය දක්වා ඇදී ආ බැඳුම්කර සිද්ධිය අපරාධ නීතිය යටතේ පැවැත්වෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමක් දක්වා දැන් පුළුල් වී තිබේ. යූ.එන්.පී.යේ. මතය කුමක් වුවද මෛත්‍රීපාල ජනාධිපතිවරයා සහ ඔහුගේ ශ්‍රීලනිප කණ්ඩායමද මන්ත්‍රීවරුන් ඇතුළු සෙසු මන්ත්‍රීවරුන්ද ජනතා විමුක්ති පෙරමුණද සිටින්නේ බැඳුම්කර ගනුදෙනුව මෙරට සිදුවූ බරපතළ වංචාවක් යන ස්ථාවරයේය. එමගින් උපයාගත් මුදල් සහ දේපොළ ආපසු පවරාගත යුතුය යන ස්ථාවරයේ ඔවුන් දිගටම රැඳී සිටින බවද පැහැදිලිය. මේ නිසා යූ.එන්.පී යට මෙහිදී කටයුතු කරන්නට සිදුවී ඇත්තේ රැවුලයි කැඳයි දෙකම බේරා ගෙන බවට සැකයක් නැත.
ආණ්ඩුවේ අණසක හිමි වනු ඇත්තේ කුමන පාර්ශ්වයකටද යන්න ඉදිරියේදී මතුවන බරපතළ ගැටලුවක් බව සමහර දේශපාලන විචාරකයන් කියන්නේ එබැවිනි. කොතරම් මතභේද තිබුණද ප්‍රතිවිරෝධතා ඇති වුවද රජයේ ශක්තිමත් බව රඳා තිබෙන්නේ දෙපාර්ශ්වය එක්ව සිටිනා තෙක් පමණි. මේ බව අමතක කොට තීන්දු ගැනීම පහසු නැත. ජනවාරි මාසය අග වන විටදී කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවනු ඇතැයි ප්‍රකාශ වුවද එය ඒ ආකාරයට සිදු නොවූයේත් මේ හේතුවෙනි. ව්‍යවස්ථාවට අනුව ඇමැති මණ්ඩලයේ වෙනසක් සිදුකළ හැකි වන්නේ අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් පසුව පමණි. එසේ වුවද ඕනෑම අමාත්‍යංශයක විෂයයන් පවරා ගැනීමට එය අදාළ වන්නේ නැත. එහෙත් අගමැතිවරයාගේ අකැමැත්ත පිට එවැන්නකට අතගැසීම දෙබරයකට ගල් ගැසීමක්ද විය හැකිය.
මුදල් අමාත්‍යංශයේ ඇතැම් කටයුතු ගැන කාලයක සිටම ජනාධිපතිගේ එතරම් පැහැදීමක් නොතිබූ බව පෙනෙන්නට තිබිණි. බැඳුම්කර ගනුදෙනුවෙන් ඇරැඹි එම තත්ත්වය ඉන්පසුව අයවැය යෝජනා ආපසු හැරවීම, වැට් බදු ප්‍රශ්නය වැනි අවස්ථා මතුවීම හේතුවෙන් වඩාත් ව්‍යාකූල විය. ඉතාම මෑතකදී ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීම රට පුරාම මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගැටලුවක් බවට පත් වීමද ජනපතිගේ අවධානයට තදින්ම ලක් විය. මෙම තීන්දුව වෙනස් කිරීමට මුදල් ඇමැතිවරයාට කෙළින්ම උපදෙස් දීමට ජනාධිපතිවරයාට සිදුවූ අතර ඒ වන විටද ලොතරැයි විකුණා දිවි ගෙවමින් සිටි ඉතා විශාල පිරිසකගේ විරෝධය ආණ්ඩුවට එල්ල වෙමින් තිබුණේය. එක් දේශපාලන විචාරකයෙක් ප්‍රකාශ කර තිබුණේ ජනතාවට සංවේදි කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී මේ රජය උපන්ගෙයි දුර්වලකම් පෙන්නුම් කරන බවය. ඕනෑම පුංචි දෙයක් වුණත් ලේසියෙන් අනාගන්න තත්ත්වෙට පත් කරගන්නා බවද ඔහු කියා තිබුණේය. බැඳුම්කර ගනුදෙනුවේ සිට ලොතරැයියක මිල රුපියල් 10කින් වැඩි කිරීම දක්වා ගත් තීරණ වලින් මේ කතාව සත්‍යයක් බව ඕනෑම කෙනකුට වටහාගත හැකිය.
බැඳුම්කර ගනුදෙනු මත සීසෝ පදින තත්ත්වයක සිටින ආණ්ඩුවට තවත් හිසරදයක් වී ඇත්තේ ඇමැතිවරුන් විසින් සිදු කෙරෙන පරස්පර ප්‍රකාශයි. රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත කරන ඇතැම් ප්‍රකාශ පැය 24ක් ගත වීමටත් පෙර වෙනස් කළ අවස්ථා ගණනාවකි. පසුගිය සතියේදී රාජිත සහ මලික් ඇමැතිවරුන් අතර සිදුවූ පරස්පර ප්‍රකාශ මීට ආසන්නම උදාහරණයයි.
රාජිත පසුගිය බදාදා (25) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී හොරණ ටයර් කම්හල පිළිබඳ කළ ප්‍රකාශය විෂයභාර ඇමැතිවරයා වූ මලික් සමරවික්‍රම ඊට පසුවදාම ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කළේය. මේ පිළිබඳව රාජිත ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශය අසත්‍යයක් බව ඔහු කෙළින්ම කියා තිබුණේය.
හොරණ ටයර් කම්හලට මුල්ගල් තැබීමේ උත්සවයට අගමැතිවරයා සහභාගි වූයේ ආයෝජකයා පිළිබඳව හෝ අක්කරය රුපියල් 100ට ලබාදුන් බව හෝ නොදැන යැයි රාජිත කැබිනට් රැස්වීමේදී කිව්වේය. එම ආයෝජකයා බැසිල් රාජපක්ෂගේ හිතවතකු බවද ඔහු ළඟ තිබෙන්නේ රාජපක්ෂලාගේ සල්ලි යැයි එදා කළ චෝදනාව තවමත් වලංගු බවද රාජිත කියා තිබිණි.
රාජිත අක්කරය රැපියල් 100ට දුන් බවට කළ ප්‍රකාශය සාවද්‍ය බව කියමින් නිවේදනයක් නිකුත් කරන මලික් සඳහන් කරන්නේ හොරණ එම භූමිය රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් රුපියල් 17,08,25,000කට තක්සේරු කර තිබූ අතර එම මුදල ආරම්භයේදී එකවර ගෙවීමට ආයෝජකයා කැමැත්ත පළ කර තිබූ බවය. එසේම මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනධිපති සහ අගමැති දෙදෙනාම කල් තබා දැනුවත් කර තිබු බවද ඔහුගේ නිවේදනයේ සඳහන්ය.
මේ නිවේදනයේ අවසානයට සඳහන් වන්නේ ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීමේදී ආයෝජකයන්ගේ දේශපාලන සම්බන්ධතා නොසලකන බවය. ඒ අනුව හොරණ ටයර් කම්හලේ ආයෝජකයා කවුදැයි ජනාධිපති හා අගමැති දෙදෙනාම කල්තබාම දැන සිට ඇත. නමුත් මුල්ගල තැබීමේ උළෙලට ජනාධිපති ආවේ නැත. අගමැති ආවේය. ආයෝජකයා බැසිල්ගේ දේශපාලන හිතවතවතකු බව දැන දැනම එම උළෙලට අගමැති සහභාගි වී ඇති බව මලික්ගේ නිවේදනයෙන් හෙළිවෙයි.
මෙහිදී ආයෝජකයන්ගේ දේශපාලන සබඳතා නොසලකන බව පිළිගත හැකි කාරණාවකි. එහෙත් ආයෝජකයාගේ සමීපතම දේශපාලන හිතවතකු වන බැසිල් රාජපක්ෂ එරෙහිව අධිකරණයේ නඩු කටයුතු කීපයක්ම සිදුවෙමින් පවතී. ඒ අතර රුපියල් කෝටි ගණන් මහජන මුදල් වංචාකර ඇති බවට වන චෝදනාද තිබේ. නමුත් සමීප දේශපලන මිතුරන් කවුදැයි නොසලකන තත්ත්වයක් යටතේ බැසිල්ගේ සමීප හිතවතකුට සැලකීමට ඉදිරිපත් වීම යහපාලනයකට ඡන්දය දුන් ජනතාව විසින් ප්‍රශ්න කරනු ලැබීම වැළැක්විය නොහැකි බව නම් නිසැකය.
පෙරැළියක අරැඹුම නමින් ඒකාබද්ධ විපක්ෂය මගින් නුගේගොඩ රුලියක් සංවිධානය වෙන්නේ මේ පසුබිම යටතේය. ශ්‍රීලනිප මෛත්‍රිපාල පාර්ශ්වය යූ.එන්.පී.ය සමඟ එක්ව කටයුතු කරන තාක් ඔවුන් සමඟ කිසිදු සමගි සන්ධානයකට නොයන බව මහින්ද කිව්වේ පසුගිය සතියේය. ඒ වනවිට නුගේගොඩ රැලියට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය වෙමින් පැවැතිණි. මේ රැලියේ වේදිකාවට ආණ්ඩුවේ ශ්‍රීලනිප මැති ඇමැතින් කීප දෙනකු ගොඩ වන බව මුලින් පැවැසුණද පසුව ප්‍රකාශ වූයේ ඔවුන්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට සිදු කෙරුණු දැනුම්දීම් නිසා ඔවුන් නොපැමිණි බවය. කෙසේ වුවද නුගේගොඩ රැලියේ සංඥාව කුමක්දැයි සියලුම ශ්‍රීලනිප පාක්ෂිකයන් බලාසිටින බවට නම් සැකයක් නැත.
කුමන ප්‍රතිවිරුද්ධතා තිබුණත් ජනපති සහ අගමැති දෙදෙනාම පවසන්නේ මේ රජය 2020 තෙක් යන බවය. ජනාධිපතිවරයා අභයාරාමයේදී කළ වේගවත් කතාවේද එය සඳහන් කිරීමට අමතක කළේ නැත. මේ නිසා තව වසර 4ක් යනතුරු පෙරැළිකාර රැස්වීම් තැබීමෙන් පමණක් සැනසීමට ශ්‍රීලනිපයේ මහින්ද සිපාර්ශවයට සිදුවිය හැකිය.
♦ ශශින්ද්‍ර