2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ලංකාවට කවුරුවත් අණදෙන්නෙ නැහැ

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 05:00 141

2006 සිට 2012 දක්වා ඉරානයේ තානාපති හැටියට කටයුතු කළ ජනාධිපති නීතිඥ එම්.එම්.සුහයිර් මහතා 2015 ආණ්ඩු පෙරළියේදී පොදු අපේක්ෂකයා සමඟ ප්‍රථමයෙන්ම අත්වැල් බැඳගත් මුස්ලිම් නායකයන්ගෙන් ප්‍රමුඛයෙකි. ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කරන ඔහු සංහිඳියා යාන්ත්‍රණය හා විදේශ පිළිවෙත ගැන තම පෞද්ගලික අදහස මෙසේ දක්වයි.

සංහිඳියාව කියන්නෙ බටහිර ලෝකයේ ව්‍යාපෘතියක් යැයි විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා. ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධානයට වෙනම අමාත්‍යංශයක් හැදුවෙ ඇයි?

19 වැනි සංශෝධනය 2015 මැයි 15 සිට ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. ඊට අනුව ජාතික ඒකාබද්ධතාව හා ප්‍රතිසන්ධානය කියන කාරණය ලංකාවෙ මුල් වතාවට තමයි ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයාට පැවරුණේ. මේ අමාත්‍යංශය බාර ජනාධිපතිවරයාටමයි. අපි වැඩකරන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් හා අදහස් අනුවයි. ඒ කියන්නෙ රටේ ප්‍රධාන ප්‍රශ්නය. මෙහි අරමුණ සියලු පුරවැසියන් ශ්‍රී ලාංකික අනන්‍යතාව යටතේ ඒකරාශි කරගැනීමයි. මේ ප්‍රශ්න විසඳන්නේ නැතිව අපට ඉදිරියට යන්න ඉතාම අමාරුයි. 

ඒත් චෝදනාව එන්නේ විදේශීය වුවමනා මත වැඩ කරනවා කියලයි. ආණ්ඩුව ජාත්‍යන්තරයට දණ ගහලද?

මේ දෙක අතර විශාල වෙනසක් තිබෙන්නේ. ඒ දවස්වල වුණේ මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක් නැති නිසා අපිට කොන්දේසි දාලා බය කරලා තර්ජනය කිරීමයි. හැබැයි දැන් ජාත්‍යන්තරය අපට උදවු කරනවා. කවුරුවත් අණ දෙන්නේ නෑ. අනවශ්‍ය දේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවත් අපට තිබෙනවා. පවුලක දිගින් දිගටම ප්‍රශ්න ඇතිවුණොත් අසල්වැසියෝ මැදිහත් වෙනවා. ඇතැම්විට සමහරු පොලිසියටත් කියනවා. පොලිසියත් එනවා. සමහරවිට නඩුත් වැටෙනවා. ඉතින් අල්ලපු ගෙවල්වලින් ඇඟිලි ගහන එක නවත්තගන්න නම් මුලින් අපි ගහගන්න එක නතර කරන්න ඕනෑ. රටක් හැටියටත් මේ පාඩම අදාළයි. විදේශයන්ට අපේ රටට ඇඟිලි ගහන්න නොදෙන්න නම් අපේ ප්‍රශ්න අපි විසඳාගන්න ඕනෑ. 

ඉතින් ජාත්‍යන්තර මැදිහත්වීම්වලට හේතු වුණේ මොකද්ද?

ජාති ආගම් මුල්කරගනිමින් ප්‍රශ්න ඇතිවෙද්දී බලවත් රටවල් අත දාන එක වළක්වන්න බෑ. ගිය ආණ්ඩුව කාලෙදි තමයි මේ ප්‍රශ්නය ආවේ. විශේෂයෙන්ම එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ අපේ රට වැරැදිකරුවකු වීමට බලවත් රටවල විරෝධය හේතුවුණා. ඔවුන් සමඟ මිත්‍රශීලී ලෙස ප්‍රශ්න විසඳාගන්න ගිය ආණ්ඩුවට බැරිවුණා. 2015 දි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයගෙන ආණ්ඩුවක් පිහිටවූයේ නැත්නම් ආර්ථික සම්බාධක වැටිලා අපට විශාල විපාකයකට මුහුණ දෙන්න ඉඩතිබුණා. 

බුදුදහම රැකගැනීම හැම ජන කොටසකම වගකීමක්

ඒත් හිටපු ජනපතිවරයා අවස්ථා ගණනාවකදීම පැවැසුවේ යුද්ධය අවසාන කිරීමට බලවත් රටවලින් බාධා එල්ල වුණා කියලයි. එතකොට ඇත්ත මොකද්ද?

ඇත්තටම ඇමෙරිකාව වගේ රටවල් යුද්ධ කිරීමට අපට උදවු කළා. උදාහරණයකට උතුරු පළාතේ කොටි සංවිධාන ජාලය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඒරියල් සර්වේ (ගුවන් මිනුම්) මඟින් අප දැනුම්වත් කළා. එහෙත් ඒ උදවු අරගෙන මිත්‍රත්වය රැකගන්න අපිට බැරිවුණා. ඉරානයට, ඉරාකයට, උතුරු කොරියාවට ආර්ථික සම්බාධක පැනෙව්වා. ඒවාටත් දණගහන්න වෙන තැනට කටයුතු සිදුවුණා. ඉරානය දණ ගැහුවෙ නැත්තේ බලවත් ශක්තිමත් රටක් නිසයි. හැබැයි ලංකාව කියන්නෙ පොඩි රටක්. අපට බලවත් රටවල් එක්ක හැප්පි හැප්පි යන්න බෑ.

මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කැප වූ පුරවැසි සංවිධානත් මේ වනවිට ආණ්ඩුවට ප්‍රබල විවේචන එල්ල කරනවා. ආණ්ඩුව ජාතිවාදීන්ට බයවෙලා යැයි ඔවුන් කරන විවේචනයට පදනමක් නැද්ද?

ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේක අවුරුදු සීයකට එහා ගිය ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට මූලික හේතුව වුණේ බ්‍රිතාන්‍ය පාලකයන් අනුගමනය කළ බෙදා වෙන්කර පාලනය කිරීමේ ප්‍රතිපත්තියයි. ඔවුන් කළේ අප අතර පවතින වෙනස්කම් ලොකු කරලා පෙන්වන එකයි. එවකට පැවැති ජනමාධ්‍යත් මේකට උදවු කළා. යහපාලන රජය ආවා කියලා දවසින් දෙකෙන් මේක විසඳන්න බෑ. එහෙම කරනවා කියලා බොරු පොරොන්දු දීලත් නෑනෙ. සිවිල් සමාජය කරන එක චෝදනාවක් ඇත්ත. අපි ක්‍රියාත්මක වෙද්දී ටිකක් ප්‍රමාද වුණා. එච්චරයි. 

ඇයි ප්‍රමාද වුණේ?

මම කිව්වනෙ 19 වැනි සංශෝධනය නීතිගත කළේ 2015 මැයි මාසෙයි. කැබිනට් තීන්දුවක් අනුව මේ අමාත්‍යංශය පටන්ගත්තෙ 2015 දෙසැම්බර් මාසෙයි. අයවැයෙන් මුදල් වෙන්කරලා වැඩ පටන්ගත්තෙ 2016යි. පහුගියදා ජාතික ඒකාබද්ධතා සතියක් නම් කළේ ඒ අනුවයි. පහුගිය කාලේ මල්වතු අස්ගිරි නාහිමිවරුන් මුණගැසී සාකච්ඡා කළා. ඒ වගේම ඉදිරියේදී ප්‍රධාන පෙළේ නාහිමිවරුන් මුණගැසී සාකච්ඡා කරනවා. රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතාගේ මූලිකත්වයෙන් වැඩසටහන් රැසක්ම අපි දියත් කර තිබෙනවා. අපි කරගෙන යන වැඩ කොටස් ලිස්ට් එකක් දුන්නොත් ගොඩක් දීර්ඝ වේවි. 

මුස්ලිම් කියලා බැලුවෙ නැහැ, මම ඩියුටිය කළා

නව ව්‍යවස්ථාව ගැන කතාකරද්දී බුද්ධාගමට නිසි ගෞරවය ලැබේදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මුස්ලිම් ප්‍රජාවේ නායකයකු හැටියට මේ ප්‍රශ්නය දකින්නේ කොහොමද?

මේ රට තුළ බෞද්ධ ආගමට ප්‍රමුඛතාවය දීම ගැන මුස්ලිම් ජනතාවට කිසිදු ගැටලුවක් නෑ. අපේ ජනතාව කියන්නේ අපට ආරක්ෂාව දෙන්න කියලයි. දෙමළ ජනතාව කියන්නෙත් ඒකමයි. තමන්ගෙ ආගම ගැන සිංහල බෞද්ධ ජනතාව අතරේ කිසියම් බියක් තිබෙනවා. ඇත්තවශයෙන්ම ථෙරවාදී බුදු දහම ආරක්ෂා වී තිබෙන්නේ මේ රටේ පමණයි. එතකොට එය ආරක්ෂා කරගැනීම රාජ්‍ය වගකීමක්. ඒකට සහාය දීමත් සියලු ජන කොටස්වල වගකීමක් හැටියටයි මම නම් දකින්නේ. 

එහෙත් බෙල්ලන්විල විමලරතන අනුනාහිමි වැනි හිමිවරුන් පවා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි ජනාධිපතිවරයා ඉදිරියේම පවසන තැනට පැමිණ තිබෙනවා. භික්ෂු නායකත්වයේ විශ්වාසය බිඳවැටිලා නේද?

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ රටක පවතින ප්‍රශ්න විසඳීමටයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ වෙනම කමිටුවක් පත්කර ඇති බැවින් ඒ ගැන මා කතාකරන්නේ නෑ. 

ආණ්ඩුව වැඩ කළත් ඒවා නිවැරදිව සන්නිවේදනය නොවන බව විදෙස් ඇමැතිවරයා මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පැවැසුවා. රජයට ප්‍රචාරක වැඩපිළිවෙළක් නැත්නම් ඒක රජයේ දුර්වලකමක් නොවේද?

වගකීම් තිබෙන්නේ ආණ්ඩුවේ මාධ්‍යට විතරක් නෙවෙයිනෙ. ඇතැම් පෞද්ගලික ජනමාධ්‍ය කුඩා සිදුවීම් ලොකු කරලා පෙන්වනවා. විශේෂයෙන්ම ජන වර්ග අතර ඇතිවන ප්‍රශ්න දුරදිග යන ආකාරයට තොරතුරැ වාර්තා කිරීම ජනමාධ්‍ය ආචාර ධර්මවලට පටහැනියි.  ජනමාධ්‍ය වුණත් අලෙවිය පදනම් කරගෙන කරන්නේ ප්‍රශ්න නරක අතට හැරවීමයි. ඒ නිසා අද අපිට වෙලා තිබෙන්නෙ මොකද්ද? අපට පසුපසින් සිටි රටවල් ගණනාවක්ම අප පසුකරගෙන ඉදිරියට ගියා. ඒත් තාමත් අපි පාඩමක් උගෙනගෙන නෑ. ජාති ආගම් හැටියට ගහගනිද්දී විදෙස් ආයෝජන එන්නේ නෑ. ඒක රටට ලොකු හානියක්. 

දූෂණ වංචාවලට සම්බන්ධවූවන්ට දඬුවම් පැමිණවීම සිදුනොවන්නේ නම් රජයට සහාය නොදෙන බව විපක්ෂ නායකවරයා පවසද්දී ජවිපෙ නායකයා කියන්නේ මේ ආණ්ඩුවට දැන් හොරුන්ට එරෙහිවෙන්න බෑ කියලයි. ජනවරම ලැබීමට දුන් පොරොන්දු ඉටු නොකර ඉදිරියට යා හැකිද?

මෙවැනි විවේචන දෙස අප බැලිය යුත්තේ සාධනීයවයි. මේ විවේචන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. ඉස්සර එහෙම තිබුණෙ නෑ. විවේචනය කරන අයට වුණේ මොකද්ද කියලා අපි දැක්කනෙ. තාම ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු දෙකයි. විදේශ බලපෑම්වලින් මිදීමම ලොකු දෙයක්. 

විදේශයන්ට මැදිහත්වීම් අවම කිරීමේ අමෙරිකාවේ නව ජනපතිගේ විදෙස් පිළිවෙත අගය කරමින් මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබුණා. අමෙරිකා දේශපාලන වෙනස ලංකාවට බලපාන්නේ කොහොමද?

විදේශයන්ට ඇඟිලි ගහන්න නොදී රට පාලනය කිරීමේ රාජ්‍ය නායකයන්ගේ වගකීමනෙ. එතැනදි මූලික වෙන්නෙම ජාතින් හා ආගම් අතර සංහිඳියාව ඇති කරගන්න එකයි. අපිට ඒක කරගන්න බැරිවුණොත් ට්‍රම්ප් වුණත් ඇඟිලි ගහන්න බැරි නෑ. ට්‍රම්ප් විවිධ අණ කිරීම් කරන බව අපි දකිනවා. ඒක ඇත්ත. හැබැයි ඔහුගේ ගමන විනිශ්චය කරන්න නම් මාස තුනක්වත් අවම වශයෙන් අවශ්‍යයි. 

සංක්‍රමණික ප්‍රතිපත්තියේ කරන වෙනස්කම් බැලුවාම යමක් කිව නොහැකිද?

කොහොමත් පටන්ගැනීමේදී වෙනස්කම් ඇතිවෙනවා. ඕනෑම ආණ්ඩුවක් පත්වූ ගමන් ජනතාව තෘප්ත කරන පියවර ගන්නවා. හැබැයි අමෙරිකානු ආණ්ඩුවේ පරිපාලන රටාවක් තිබෙනවා. එය හරිම බලවත්. ටික දවසකින් ඉහළට එන්නේ ඒකයි. අපි ඒවා ප්‍රශ්න කරගන්න නරකයි. කොහොමත් අපි විශ්වාස කරන්නේ ට්‍රම්ප් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඉදිරියට යන්නයි. 

අපිට බලවත් රටවල් එක්ක හැප්පෙන්න පුළුවන්ද?

වසර දෙකක් තිස්සේ නායකයන් දෙදෙනා යුරෝපාකරයේ සංචාරය කළත් සැළකිය යුතු ආයෝජන නොඑන පසුබිමක අපේ මිතුරා කරගතයුත්තේ චීනය යැයි ඇතැමුන් කියනවා. මේ යෝජනාව ඔබ පිළිගන්නවද?

මේක වැරදි අවබෝධයක්. විදේශ ප්‍රතිපත්තියේදී මූලික පාඩමක් වන්නේ සෑම රටක්ම වැදගත් යන්නයි. චීනය එපා යැයි කවුරුවත් කිව්වේ නෑනෙ. මෙතැන තිබුණේ ගිය ආණ්ඩුව ආයෝජන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරයේ ප්‍රශ්න ටිකකුයි. යුරෝපය, අමෙරිකාව අපට උදවු කරන්නේ නෑ කියන කතාවත් වැරැදියි. චීනයත් සමඟ අලුත් ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඕක ඔහොම පේන්නේ ගිය ආණ්ඩුව එක්ක සංසන්දනය කළාමයි.

2006 සිට 2012 වනතුරු ඔබ ඉරානයේ තානාපති ධුරය දැරුවා. ඉරාන මිතුදම ශ්‍රී ලංකාවට මොන තරම් වැදගත්ද?

ඔවුන් ග්‍රාමීය විදුලිබල සැපයුම් ව්‍යාපෘතියට ඩොලර් මිලියන 106ක් ලබාදුන්නා. ඒකෙන් දුෂ්කර පළාත් රැසක් ආලෝකමත් වුණා. ඒ වගේම උමා ඔයට ඩොලර් මිලියන 450ක් දුන්නා. මෙගාවොට් 110ක විදුලි උත්පාදනයකට උදවු කරපු ඔවුන් අක්කර 25000ක වාරිමාර්ග පහසුකම් සැලසුවා. ඔවුන් ලොකුම උදවුව කළේ 2007 ජනවාරි සිට අප මිලදී ගත් තෙල්වලට ලොකු සහනයක් දීමෙන්. ඒ කියන්නේ මාස හතරකට පසු ගෙවීම් කළත් පොලී නොගෙවන ක්‍රමයක්. ඩොලර් මිලියන 750 ක පහසුකමක් 2008දි ඒකෙන් ලැබුණා. යුද්ධය දිනාගැනීමේදී ඒක ඉතාම වැදගත් සාධකයක් වුණා. මොකද අපිට ඒ වනවිට අවි ආයුධ මිලදීගන්න සල්ලි තිබුණේ නෑ. හිටපු ජනාධිපතිවරයා ඊජිප්තුවේ පැවැති නොබැඳි ජාතින්ගේ සමුළුවේ රාත්‍රී සාදයකදී මෙය විස්තර කළේ ඉරානය උදවු නොකළා නම් එල්.ටී.ටී.ඊ එක ළඟ දණගහන්න තරම් මට්ටමක් තිබුණායැයි කියලයි.  මුස්ලිම් කියලා බැලුවෙ නෑ. මම ඩියුටි එක කළා. අදත් ඒ ගැන සතුටුයි. 

♦ සංවාද සටහන I බිඟුන් මේනක ගමගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ