2018 ජුනි 30 වන සෙනසුරාදා

රිචඩ්ලාගේ වතගොත

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 305

පසුගිය ලිපියෙන් මම රිචඩ් ගෝඨාභය සේනානායක (ආර්.ජී.) ගැන ලීවෙමි. එම ලිපිය කියැවූ මගේ මිතුරන් කීපදෙනෙක්ම සේනානායකලා පිළිබඳව තවත් විස්තර පළ කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියෝය.

සේනානායක පරපුර ජාතික දේශපාලනයට ගෙනාවේ ආර්. ජී.ගේ පියතුමා වූ ‍ෙෆඩ්‍රික් රිචඩ් සේනානායක හෙවත් එෆ්. ආර්. සේනානායක ගෙනි. ඔහු හාපිටිගම් කෝරළයේ ප්‍රධානියෙක්ද වූ ඉඩම් හිමි වැවිලිකරුවෙක් පමණක් නොව මිනිරන් පතල් අයිතිකරුවෙක් වූ බෝතලේ දොන් ස්පේටර් සේනානායක මුදලිතුමාගේ වැඩිමහල් පුතා විය. දොන් ස්පෙටර් මෙන්ම අනගාරික ධර්මපාලතුමාගේ පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා ද, තම තනතුරු ලබා ගත්තේ නම්බු නාම වශයෙන් පමණි. ඉංග්‍රීසීන්ගේ සමාජසේවා හා දේශපාලන සද්කාර්යයන් සඳහා විශාල මුදලක් පරිත්‍යාග කළ නිසා ඔවුන්ට එම නම්බුනාම පිරිනමන ලදී. ඔවුන්ගේ සමකාලිනයෙක් වූ තුඩුගල දොන් පිලිප් විජේවර්ධන ද, එසේය.

බණ්ඩාරනායක හා ඔබේසේකරවරු එසේ නොවූහ. ඔවුන් මුදලි මුහන්දිරම් තනතුරු ලබාගත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයන්ගේ සේවකයන් වශයෙනි. ඔවුන් ස්වකීය පාළාත්වල පාලනයට හවුල් වූ අතර කෙළින්ම ඒ සඳහා වේතනයක් මෙන්ම ඉඩකඩම් ලබා ගත්තෝය. සුද්දන්ට කත් ඇදපු බණ්ඩාරනායක හා ඔබේසේකර පවුල්වල අය ගැන සේනානායක, හේවාවිතාරණ හා විජේවර්ධන මුදලිවරැන්ගේ දූදරුවන් අතර කහටක් ද ඇතිවී තිබුණේය. ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. දක්වා බණ්ඩාරනායකලා තදබල ක්‍රිස්තියානිකාරයන් වූ අතර මුදලිකම් ගත් වෙළඳ ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් බෞද්ධ පුනරුදයට සම්බන්ධ වූ අය වූහ. ඔවුන් බෞද්ධයන් වශයෙන් තම ධනයෙන් කොටසක් අගනුවර හා ඒ අසල වෙහෙර විහාර සෑදීමට යෙදවූහ. මෑතකදී පළ වූ ලිපියක් අනුව සොලමන් බණ්ඩාරනායක අගමැතිතුමාට ශිෂ්‍යයෙක් වශයෙන් ක්‍රිස්තියානි පල්ලිය කොතරම් සැලකිල්ලක් දැක්වූවා දැයි කියතොත් ඔහුව ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ සෙසු දරුවන් මෙන් පාසැල් නේවාසිකාගාරයට ඇතුළත් නොකර ක්‍රිස්තියානි පූජකවරයෙක් වූ එම විදුහලේ ප්‍රධානාචාර්යවරයාගේ නිවසේම රඳවාගෙන පන්තිවලට යවන ලදී. එකල ක්‍රිස්තියානි ප්‍රභූ පවුල්වල දරුවන්ට ද වඩා සැලකිල්ලක් තරුණ බණ්ඩාරනායකට හිමි විය. උත්පත්තියෙන්ම පොහොසත් වූ එෆ්. ආර්. සේනානායක හා ඔහුගේ සහෝදර ඩී. ඇස්. ද සිය පියාණන් විසින් ඇතුළත් කරන ලද්දේ ඉහත සඳහන් ශාන්ත තෝමස් විදුහලටමයි. එහිදී ඩී. ඇස්. තමාට කනිෂ්ඨ වූ බණ්ඩාරනායක තරම් උගැනීමට හපනෙක් නොවන බව ප්‍රදර්ශනය කළේය. එහෙත් ඔහු බන්ඩාරනායකට වඩා සිසුන් අතර ජනප්‍රිය වූ බව කියැවේ.

සේනානායක, හේවාවිතාරණ හා විජේවර්ධන පවුල්වල දරුවන්ට බටහිර පන්නයේ අධ්‍යාපනයක් සිය පියවරුන් විසින් ලබා දුන්නා පමණක් නොව සමහරෙක් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යැවීමට ද පසුබට වූයේ නැත. එෆ්. ආර්. එංගලන්තයේ නීති විද්‍යාලයට ඇතුළත් වී බැරිස්ටර් කෙනෙක් වූ අතර හේවාවිතාරණ පවුලෙන් චාල්ස් ස්කොට්ලන්තයට ගොස් බටහිර දොස්තර විභාගය සමත් විය. ධර්මපාලතුමා ඔහුව නිතරම ඇමතුවේ “දොස්තර මල්ලී” කියායි. හේවාවිතාරණ දොස්තරගේ අකල් මරණයෙන් ධර්මපාලතුමා බලවත් කම්පාවට පත්විය. විජේවර්ධන පවුලේ ප්‍රධානියා වූ ඩී. ආර්. ද සිය පියා විසින් එංගලන්තයට යවන ලදී. එහිදී ඔහු බැරිස්ටර් විභාගය සමත්වූවා පමණක් නොව එංගලන්තයේ දේශපාලන නායකයන් හඳුනාගෙන ඔවුන්ගේ “ලිබරල්” මතවාදයට අනුකූල විය. එම අදහස් ප්‍රචලිත කිරීමට ඔහු ලේක්හවුස් ආයතනය පිහිටුවා මෙරට බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනවලට ප්‍රබල තරගයක් දුන්නේය. ඔහු සිය ඉඩකඩම් පවා උකසට තබමින් ලේක්හවුස් මාධ්‍ය ජාලය නිර්මාණය කළේය. තිරය පසුපස සිටිමින් ඔහු නිදහස් සටනට ප්‍රබල සහයෝගයක් ලබාදුන්නේය. ඔහු සේනානායකවරුන්ට උසස්ම සහයෝගය දුන් අතර හේවාවිතාරණලාව, වෙසෙසින්ම ධර්මපාලතුමාව, විවේචනයට ලක් කළේය.

මොවුන් අතුරින් වඩාත්ම පොහොසත් මෙන්ම ජනප්‍රිය චරිත වූයේ එෆ්. ආර්. සේනානායකය.  ඔහු විවාහ වූයේ එකල රටේම ධනවතා හැටියට සලකන ලද මඩපාත ආටිගලගේ වැඩිමහල් දියණිය සමඟය. එම හේතුවෙන් ඔහු වඩාත්ම ධනවත්, බලවත් හා ජනප්‍රිය නායකයෙක් බවට පත්විය. මෙරට අමද්‍යප ව්‍යාපාරයේ නායකයා වූයේ ඔහුයි. බෞද්ධ කටයුතු සඳහා මුදල් වියදම් කිරීමෙන් ධර්මපාලතුමාට අභියෝගයක් වීමට තරම් ඔහු ප්‍රබල විය. එහෙත් ඔහු බුද්ධගයාව වැඳපුදා ගැනීමට ඉන්දියාවට ගිය අතර කල්කටාවේ දී අකාලයේ මිය ගියේය. ඔහු සමඟ බුද්ධගයාව වන්දනා කිරීමට ගිය ඩී. ඇස්.ට සිය සහෝදරයාගේ අවමංගල්‍ය කටයුතුවලට අතගැසීමට සිදු වුණා පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවූ හිඩැසත් පිරවීමට සිදුවිය. 

එෆ්.ආර්. ගේ නමේ ‘ආර්’  අකුර යෙදුණේ රිචඩ් යන නම සනිටුහන් කිරීමටයි. එම නම සමරමින් ඔහුගේ වැඩිමහල් පුතුට රිචඩ් ගෝඨාභය යන නම යොදන ලදී. විජේවර්ධන පවුලේ බලවතා වූ ඩී. ආර්.ට ද රිචඩ් නම යොදන ලදී. ඔහුගේ බෑනා වූ (සහෝදරියගේ පුතා)  ජේ. ආර්. ජයවර්ධන ද නම් කරන ලද්දේ ජූනියස් රිචඩ් ජයවර්ධන හැටියටයි. ඇතැම් ඉතිහාසඥයන් ප්‍රකාශ කරන පරිදි රිචඩ් නම එකල ප්‍රසිද්ධ වූයේ එම යුගයේ දක්ෂතම අද්වකාත්වරයා වූ රිචඩ් මෝර්ගන් නැමැති ලංසි ජාතිකයා අනුගමනය කිරීමෙනුයි. ඔහු බ්‍රිතාන්‍ය පාලකයන්ට එරෙහිව මුලින් හඬ නැගු නීතිඥවරයෙකි. සමහරවිට අපේ අංකුර ධනපතියන් විශාල මුදලක් ගෙවා රිචඩ් මෝර්ගන් තම නඩු කතා කිරීමට යොදා ගත්තා විය හැකිය.

අන් අය කෙසේ වුවද රිචඩ් ගෝඨාභය සේනානායක හා ජූනියස් රිචඩ් ජයවර්ධන අතර වූයේ නයි වෛරයකි.  එම වෛරය නිසා නිදහසට පසු මෙරට දේශපාලනය වෙනස් අතකට හැරුණේය. 

ජූනියස් රිචඩ් තමාට උරුම නම ගැන සතුටු නොවූ බවට සාක්ෂි තිබේ. ජේ. ආර්. ජයවර්ධන නීති විද්‍යාලයේ සිසුවෙක් වශයෙන් ඔහුගේ මිතුරන් සමඟ එක්වී සොඳුරු සමාගමක් ඇති කළේය. මේ සමාගමට අයිති තරුණයන් නිතර නිතර හමුවී රටේ දේශපාලනය හා සමාජ ප්‍රශ්න ගැන සාකච්ඡා කළෝය. එම සමාගමේ සටහන්වලදී ජේ. ආර්. අස්සන් කළේ රවී ජයවර්ධන හැටියටය. ඉන් කලකට පසු ඔහු විවාහ වී දරැවෙක් ලැබූ කල ඔහුගේ කුළුදුල් දරුවා රවී ජයවර්ධන වශයෙන් නම් කළේ තමා තරුණ වියේ යොදාගත් නම මතක් කරමිනි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00