2018 ජුනි 16 වන සෙනසුරාදා

බණ්ඩාරනායක ඝාතනයේ සුලමුල

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 476

1970 දී බලයට පැමිණි සමඟි පෙරමුණේ ප්‍රවෘත්ති හා ගුවන්විදුලි ඇමැති ලෙස පත්කරන ලද්දේ කැලණියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එස්. පෙරේරාය. එම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස මැතිනිය විසින් මා පත්කරන ලදින් ඇමැතිතුමා සමග කිට්ටුවෙන් වැඩ කිරීමට අවස්ථාව මට සැලසුණේය. අප ස්ථිර ලේකම්වරයා වශයෙන් පත්වූයේ ශ්‍රී ලං.නි. පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළ මැතිනියගේ විශ්වාසවන්තයෙකු වූ සෝමසාර දසනායකය. (පසු කලක ඔහු පැවිදි වී දැනට අවුරැදු දෙකකට පමණ පෙර අපවත්විය) ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වශයෙන් කටයුතු කිරීමට පත්වූයේ සුසිල් මුණසිංහයි. මුලදී අප සියලුදෙනා ඉතාම කුලුපගව කටයුතු කළ නමුත් පසුව අප අතර මතභේද ඇති විය. එවක බිහිකරන ලද චිත්‍රපටි සංස්ථාවට නිල දරුවන් පත් කිරීමේදී දැඩි මත භේදයක් ඇති වූයෙන් මා මාරුවක් ලබා ගිය අතර, මැතිනිය මැදිහත් වී චිත්‍රපටි සංස්ථාව ආර්.එස්.ගෙන් ගලවා ඇයගේ භාරයට ගත්තීය. ඩී.බී. නිහාල්සිංහ සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස පත්කරන ලෙස මා විසින් කරන ලද නිර්දේශය ඇමැතිතුමා ප්‍රතික්ෂේප කිරීම නිසා ඇති වූ ඒ අර්බුදය වෙනම රසවත් කතාවක

එසේ වුවද මුල් කාලයේදී ඇමැතිතුමාගේ කැලණියේ හිතවතුන් සමග අපට ළඟින්ම ඇසුරු කිරීමට අවස්ථාවක් උදාවිය. ඒ හිතවතුන් අතර ධර්මසිරි ජයකොඩි, ආරියවංශ පතිරාජ (ධර්මසේන පතිරාජගේ අයියා) හා කරැණාසේන ජයලත් ද වූහ. ඔවුන් අතර සුවිශේෂ තැනක් හිමිවූයේ විදුලකර පිරිවෙනේ හා සරසවියේ පුස්තකාලයාධිපති වූ නාත්තන්ඩියේ පඤ්ඤාකර හිමියන්ටය. උන්වහන්සේව ගුවන්විදුලි සංස්ථාවේ පාලක මණ්ඩලයට  ඇමැතිතුමා විසින් පත් කරන ලදී. නාත්තන්ඩියේ හිමි විදුලකරේ පිරිවෙනේ දීප්තිමත් ගුරුවරුන් සියලුදෙනාම පාහේ ළඟින් ඇසුරැ කළ එම “රැහේම” සාමාජිකයෙක් විය. යක්කඩුවේ ප්‍රඥාරාම, වල්පොල රාහුල, කලඇල්ලේ ආනන්දසාගර, කොටහේනේ පඤ්ඤාකිත්ති, බඹරුන්දේ සිරිසීවිලි, හැවැන්පොළ රතනසාර වැනි ප්‍රාඥයින් කොටසට නාත්තන්ඩියේ හිමිද ඇතුළත් විය.

එක්සත් භික්ෂු පෙරමුණට සම්බන්ධ වුවද මෙම විදුලකර කණ්ඩායම කැලණි විහාරයේ භාරකාරත්වය දැරූ මාපිටිගම බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන ඇතුළු නඩය සමඟකිට්ටු සම්බන්ධයක් ඇතිකර ගත්තේ නැත. කෙසේ වුවද 1970 වනවිට බුද්ධරක්ඛිත හිමි සිරභාරයේ සිටි නිසා ඔහු ගැන දැඩි විවේචනයක් කිරීමට ආර්.ඇස්.ගේ කණ්ඩායම පැකිලුණේ නැත. මොවුන් සමඟ කරන ලද සාකච්ඡාවලින් බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධ කරුණු බොහෝමයක් මට දැනගන්නට ලැබුණි.  ඒවායින් සමහරක් ඒ කාලයේ වුවද එතරම් ප්‍රසිද්ධියට පත් වූ කතා නොවේ.

බණ්ඩාරනායක මහතා ඝාතනය වූ වහාම පොලිස් පරික්ෂණ ආරම්භ කරන ලදි.  එහෙත් මුලට එම පරීක්ෂණ මෙහෙය වූයේ නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා හා ඔහුගේ අනුගාමිකයෙක් වූ ලයනල් ගුණතිලක විසිනි. ඒ පරීක්ෂණය “හොරාගේ අම්මාගෙන් පේන අහනවා” වැනි යැයි ආර්.එස්.ගේ අදහස විය. සිඩ්නි සොයිසාත් ඔහුගේ කිට්ටුවන්තයෙක් වූ ඔසී කොරයා ද මේ මිනීමැරැමට සම්බන්ධ යැයි ප්‍රබල රාවයක් රටේ පැතිර ගියේය. පසුව මැතිනිය විසින් සිඩ්නි සොයිසාව සේවයෙන් අස්කරන ලදැයි කතාවක් විය. (පසුව 1960 දී මිලිටරි නායකයන් මැතිනියට එරෙහිව කරන ලද කුමන්ත්‍රණයද එම සිද්ධියට සම්බන්ධ වුවක් යැයි අනුමාන කිරීමට ඉඩ තිබේ)

ඝාතනය පිළිබඳව අරඹන ලද පොලිස් පරික්ෂණයේදී මුලින්ම සාක්ෂි දුන්නේ ආර්.එස්. පෙරේරායි. ඔහු ඒ වනවිට කැලණිය ගම් සභාවේ සාමාජිකයෙක් මෙන්ම පළාත් ක්‍රියාකාරී ශ්‍රී ලංකා පාක්ෂිකයෙක් විය. ගම් මට්ටමේ ජනප්‍රිය චරියතයක් වූ ආර්.ඇස් කැලණිය පන්සල අසල ගරාජයක අයිතිකරු වූ අනුර නමැත්තෙක් විසින් කරන ලද ප්‍රකාශයක් පොලීසියට දැන්වීය. අනුර, බුද්ධරක්ඛිතගේ හිතවතෙක් නිසා එම සාක්ෂි අනුව පොලිසියට අලුත් පරීක්ෂණ මාවතක් පාදා ගැනීමට පුළුවන් විය. ආර්.එස්.ගේ සාක්ෂිය කොතරම් වැදගත්ද යත් මියගිය බණ්ඩාරනායක මහතා පිළිබඳව ගුවන්විදුලියේ ගුණකථනයක් කිරීමට පවා බුද්ධරක්ඛිතට ආරාධනා කර තිබූ වකවානුවකි එය.  දහනායක ආණ්ඩුවේ ප්‍රබලයෙක් වූ සිඩ්නි සොයිසා පරීක්ෂණය වෙනත් අතකට හැරවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා හා ශ්‍රී ලංකා පක්ෂයේ ලේකම් වූ නිමල් කරුණාතිලකද චෝදනා කළෝය.  ක්‍රම ක්‍රමයෙන් පොලීසියට කුමන්ත්‍රණය පිළිබඳ කරුණු හෙළිදරව් කර ගැනීමට පුළුවන් විය.  

ඒ ඉතිහාසය දෙස බලනවිට එය දෛවයේ සරදමක් ලෙස පෙනී යයි. කැලණිය පන්සලේ භාරකාරත්වය පිළිබඳ නඩුවෙන් බුද්ධරක්ඛිත ජයග්‍රහණය කළේය. ඉන්පසුව ඔහු පරාජය වු සිය භික්ෂු සහෝදරයෙක් වූ මාපිටිගම සංඝරක්ඛිතව පන්සලෙන් පමණක් නොව රටින් ද පන්නා ගත්තේය. ඉනික්බිතිව ඔහු සංඝරක්ඛිතට පක්ෂව ක්‍රියාකළ ජේ.ආර්. ජයවර්ධනගෙන් ද පළිගැනීමට කැලණිය තුළ ශ්‍රී ලං.නි. පක්ෂ දේශපාලන යාන්ත්‍රණයක් නිර්මාණය කළේය. ඒ හමුවේ ජේ. ආර්. ද උපක්‍රමශීලිව කටයුතු කළේය. මීට පෙර ඔහු සමග ලංකා සමසමාජ පක්ෂයෙන් තරගකර සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගත් වෛද්‍ය සේකර නැමැත්තා ජේ.ආර්. විසින් බිලිබා ගන්නා ලදී. ජේ.ආර්.ගේ උපාය මාර්ගය නිශේධනය කිරීමට බුද්ධරක්ඛිත තම තුරුම්පු ගහන්නට පටන් ගත්තේය. 1952 මහ මැතිවරණයට බුද්ධරක්ඛිත හිමි ජේ.ආර්.ගේ ඥාතිවරියක් වූ විමලා විජේවර්ධනව ඉදිරිපත් කළේය. එහෙත් එම කාලයේ “ඩඩ්ලි රැල්ල” හමුවේ ඈ පරාජයට පත් වූවාය. 1956 වන විට බුද්ධරක්ඛිත හිමි ඊටත් වඩා ජනප්‍රිය තුරැම්පුවක් එළියට ඇද්දේය. ආර්.ජී. සේනානායක එ.ජා. පක්ෂය තුළ ජේ.ආර්. සමඟ නයි වෛරයෙන් පසුවිය. පෙම් පළහිලව්වක් මත ගොඩනැගුණ ඒ වෛරය තුළින් සේනානායක පරපුර දෙකඩ වුණේය.  ජේ.ආර්. විරෝධී සියලුදෙනාම එක්වී ආර්.ජී.ව කැලණියට ඉදිරිපත් කළහ. ආර්.ජී. තම පැරණි ආසනය වූ දඹදෙණිය තරග කරන ගමන් සිය වෛරය අනුව කැලණියට ද නාමයෝජනා දුන්නේය.  1956 දී තරගයෙන් ඔහු ආසන දෙකම පහසුවෙන් ජයග්‍රහණය කර බණ්ඩාරනායකගේ ඇමැති මණ්ඩලයේ වෙළඳ ඇමැති හැටියට පත්වීමක් ලැබීය.  එහෙත් එය පසුව සියලු පාර්ශවයන්ට මරු කැඳවන්නක් බවට පෙරලුණේය.  ආර්.ජී. චීනයෙන් මේ රටට සහල් ගෙන ඒමට ගිවිසුමක් ගසා තිබුණි.  ඒ සහල් මෙරටට ඇදීමටත් අපේ රබර් චීනයට යැවීමටත් නැව් අවශ්‍ය විය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බුද්ධරක්ඛිත හිමි, විමලා සහ බුද්ධරක්ඛිතගේ සහෝදරයෙකු වූ පෙරේරා දොස්තර මහතා අලුත් නැව් සමාගමක් බිහිකර මුදල් උපැයීමට සැලසුම් කළහ. එයට තමන්ගේ “සුරතලා” වු ආර්.ජී. අනුබල දුන්නාදැයි පැහැදිලි නැත. එහෙත් ප්‍රබල ඇමැතිවරයෙක් වූ පිලිප්  ගුණවර්ධන එයට විරුද්ධ වූයෙන් බණ්ඩාරනායකද එම නැව් සමාගමක් බිහිකිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එම තීරණය බණ්ඩාරනායකගේ මරණ වරෙන්තුව බවට පත්විය.

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00