2018 ජුනි 02 වන සෙනසුරාදා

වමට බර වූ විද්‍යාලංකාර පිරිවෙන

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 374

සිංහල සංඝයා අතර වාමවාදී ප්‍රවනතාවය වඩාත්ම පෙනුණේ විද්‍යාලංකාර පිරිවෙන තුළයි. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනින් බිඳී ආ රත්මලානේ ධර්මාලෝක හිමි විසින් පිහිටුවන ලද විද්‍යාලංකාර පිරිවෙන ප්‍රාචීන ශාස්ත්‍රය අතින් උච්ඡස්ථානයට පැමිණියේ උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වූ රත්මලානේ ධර්මාරාම හිමි එහි ප්‍රධානාචාර්ය තනතුරට පත්වීමෙන් පසුවය. මුලින්ම කළපලුවාවේ ධර්මාරාම යනුවෙන් නම් ලැබූ උන්වහන්සේ පසුව සිය ගුරැවරයාට කරන උපහාරයක් වශයෙන් රත්මලානේ ධර්මාරාම යන නම ආදේශ කර ගත්තේය. ධර්මාරාම හිමි රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනින් පිටත්ව රේල් පාර දිග පයින් ඇවිද පෑලියගොඩට වැඩම වූ බව ජනප්‍රවාදයයි.  කෙසේ නමුත් ඒ වනවිට රේල්ලුව ජනප්‍රිය ගමනාගමන මාර්ගයක් වූයෙන් මරදානේ දුම්රියපොළ අසල පිහිටුවන ලද විද්‍යෝදයත්, විද්‍යාලංකාරයත් අතර යෑම් ඊම් නිතර කෙරැණා යැයි අපට සිතාගත හැකිය.  

විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන් දෙක අතර තරගයක් තිබීම රහසක් නොවේ.  ඇතැම් පොදු කාර්යන්වලදී දෙපාර්ශ්වයේ සංඝයා එක් වුවද ඇතැම් ශාස්ත්‍රීය කටයුතුවලදී ඔවුන් තරගකාරී වූ නිසා ඇතැම් විට එකිනෙකාගෙන් දුරස්ථව සිටි බවටද සාක්ෂි තිබේ.  වයස්ගත හික්කඩුවේ සුමංගල හිමි උකුළු ඇටයක් බිඳී මරණ මංචකයේ සිටි අවදියේ විදුලකර සංඝයා මාලිගාකන්දට පැමිණ සුමංගල හිමි ඉදිරියේ වැඳවැටී සමාකරගත් බවත් නායක හිමියන් කරුණා බසින් පිළිතුරු දුන් බවත් සඳහන් වෙයි.  
විද්‍යෝදය පාලියට මුල් තැන ගත් අතර විදුලකර සංස්කෘත ශාස්ත්‍රයට තෝතැන්නක් බඳු විය. රත්මලානේ පිරිවෙන් අධිපති පැලෑනේ හිමි තම ශිෂ්‍යයන්ට සංස්කෘත උගැන්වීම පිණිස ඉන්දියාවෙන් බමුණු පඬිවරුන් ගෙන්වා ගත්තේය. විද්‍යාභූෂණ වැනි සංස්කෘත පඬිවරුන්ගේ සෙවණේ ධර්මාලෝක, ධර්මාරාම, සුමංගල හා පණ්ඩිත බටුවන්තුඩාවේ දේවරක්ෂිත වැන්නන් සංස්කෘත බස මැනවින් උගත්තෝය. ඒ සම්ප්‍රදාය විද්‍යෝදයට පැතිරී ගියේ නැත. එහෙත් විදුලකර රාහුල සංකන්‍යායන වැනි පඬිවරුන් සිය ආචාර්ය මණ්ඩලයට ඇතුළත් කරගත් අතර එය අනගාරික ධර්මපාලතුමාගේ පැසසුමට පවා ලක් විය. මේ බ්‍රාහ්මණ පඬිවරුන් සංස්කෘත ඉගැන්නුවා පමණක් නොව ඉන්දියාවේ ජීව යාඥා උගන්වමින් තරුණ භික්ෂුන් පුහුණු කළ බැවින් මහාබෝධි සමාගමේ වැඩකටයුතුවලට ඉමහත් රුකුලක් ලැබූ බව ධර්මපාලතුමා ප්‍රකාශ කළේය. මේ බමුණු ගුරුවරුන් පැමිණියේ බරණැස හා කල්කටාවෙන්ය. මේ වනවිට එකී ප්‍රදේශවල අධිරාජ්‍ය විරෝධී සටන දැඩි ලෙස ඇවිලී තිබුණේය. ඔවුන් තුළ වූ දේශීයත්වය පිළිබඳ මත පමණක් නොව අධිරාජ්‍ය විරෝධී සහ විප්ලවවාදී මතද විද්‍යාලංකාරයට හඳුන්වා දෙනු ලැබීය. කලක් භික්ෂුවක්ව සිටි රාහුල සංකන්‍යායන පසු ක‍ලෙක ආපහු ඉන්දියාවට ගොස් සිවුරු හැර විප්ලවකාරී දේශපාලනයේ නිරත විය. ඔහු ජවහර්ලාල් නේරුගේ සගයෙක් වශයෙන් දේශපාලනය තුළ කැපී පෙනුණි.

මේ වනවිට බරණැස හින්දු විශ්වවිද්‍යාලය භාරතීය ජාතික සටනට එක්වී සිටියේය.  ඉන්දියානු පරම විඥානාර්ථ සමිතියේ නායිකාව වූ ඈන් බෙසැන්ට් මේ නව සරසවිය බිහි කිරීමට දැඩි උත්සාහයක් ගත් අතර එහි පළමුවෙනි උපකුලපති වූයේ මදන් මෝහන් මලවියායි. ඔහු පරම විඥානාර්ථ සමිතියේ මෙන්ම නේරුගේ ඉන්දියානු කොංග්‍රසයේ ප්‍රබල සාමාජිකයෙක් විය. අනගාරික ධර්මපාලතුමාගේ මිතුරෙක් වූ මලවියා ඇතැම් විට මහාබෝධි සමාගම වෙනුවෙන් පෙනී සිටි අතර ඒ මඟින් ධර්මපාලතුමාට විශාල රුකුලක් විය. නුදුරු සාරානාතය හෙවත් ඉසිපතනයේදී ධර්මපාලතුමා 1933 දී මියගිය විට එහි අවමංගල කටයුතුවලට සහභාගී වූ ප්‍රධාන ප්‍රභූවරුන් දෙදෙනා වූයේ මදන් මෝහන් මලවියා හා එකල බරණැස් හින්දු සරසවියේ ප්‍රධානාචාර්යවරයා හා පසුව ඉන්දියාවේ ජනාධිපති වූ සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන්ය. ඉසිපතනයේ මූලගන්ධකුටියත් යාබද බරණැස් හින්දු සරසවියත් අතර ඇති වූ සම්බන්ධය සංකීර්ණ වූ එකකි. මලවියා හා රාධාක්‍රිෂ්ණන්ගේ සහාය ධර්මපාලතුමා අගය කළ නමුත් ඔහුගේ සෙවණේ සිටි තරුණ භික්ෂූන් එම සරසවියට තම අවසරය නොමැතිව ඇතුළුවීම ඔහුගේ කෝපයට හේතු විය. මෙලෙස බරණැස් සරසවියට එක් වූ “හිතුවක්කාරයන්” දෙදෙනා උඩකැන්දවෙල සරණංකර හිමි හා නාරාවිල ධර්මරතන හිමියන්ය. ඒ දෙදෙනාම අධිරාජ්‍ය විරෝධී සටන පමණක් නොව කොමියුනිස්ට් පක්ෂයේ ආධාරකරුවෝද වූහ.  සරණංකර හිමි භයානක “විෂබීජයක්” හැටියට සැලකූ ධර්මපාලතුමා උන්වහන්සේව මහාබෝධියෙන් පලවා හැර ඔහු වෙනුවෙන් කිසිම වියදමක් කිරීම තහනම් කළේය.  තරුණ සරණංකර හිමි මහත් දුෂ්කරතා විඳිමින් ඉන්දියාවේ රැඳී සිටි අතර ඔහුව රටින් පලවා හැරීමට ඉංග්‍රීසි පාලකයෝ කටයුතු කළහ. ඉක්බිතිව සරණංකර හිමි ලංකාවට පැමිණ ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට උදව් කළේය. පසුව සමසමාජ පක්ෂය දෙකඩ වූ විට උන්වහන්සේ ස්ටාලින්වාදී කොමියුනිස්ට් පිලට එක්වී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලතලයක් දැරීය. නාරාවිල ධර්මරතන හිමිද ලංකාවට පැමිණ විද්‍යාලංකාර සංඝයා වහන්සේ සමග කටයුතු කළේය. ඔහු මාර්ක්ස්වාදය පිළිගත් අතර එම ධර්මයත් බුද්ධාගමත් අතර ඇති සමානතාවන් ඉස්මතු කරමින් ග්‍රන්ථ හා ලිපි ලේඛන ඉදිරිපත් කළේය.  ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් ලංකාව තුළ වාමවාදී අදහස් ඉක්මනින් පැතිර යෑම දැකගත හැකි විය. විදුලකර වාමවාදී සඟ කණ්ඩායම ඇතිවූයේ උඩකැන්දවෙල හා නාරාවිල හිමියන් නිසා නොවේ.  

දෙවැනි මහා ලෝක යුද්ධයට සෝවියට් දේශය එක්වීමෙන් පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂය ෆැසිස්ට් විරෝධි සමගි පෙරමුණ නමින් ලංකා ජාතික කොංග්‍රසයට එක්වූයේ ජාත්‍යන්තර කොමියුනිස්ට් බලපෑම් නිසා විය හැකිය. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන හා ඩඩ්ලි සේනානායකගේ කපුකම තුළින් ඇස්.ඒ. වික්‍රමසිංහ හා පීටර් කේනමන් ජාතික කොංග්‍රසයට එක් විය. හේඩ් කේනමන් මැතිනිය එවකට ඉංග්‍රීසි රජයේ සේවිකාවක් විය.

කැලණියේ භික්ෂු කණ්ඩායම සේනානායක හා ජේ.ආර්. සන්ධානයට විරැද්ධ වූහ. ඔවුන් මුලින්ම පැටලුණේ කැලණිය විහාරයේ මාපිටිගම සංඝරක්ඛිත හා බුද්ධරක්ඛිත යන දෙදෙනාගේ ගැටුම් තුළිනි. ඒ ගැටුමින් පැරදුන සංඝරක්ඛිත ඉන්දියාවේ පදිංචි විය.  බලය අල්ලාගත් මාපිටිගම බුද්ධරක්ඛිත කැලණියේ සේනානායක - ජයවර්ධන විරෝධයට නායකත්වය දුන්නේය. ඔහුගේ ඉල්ලීම පිට 1957දී ජේ.ආර්. ට විරුද්ධව විමලා විජේවර්ධන කැලණිය ආසනයට තරගකොට ප්‍රගතිශීලී පිලේ වීරවරියක් බවට පත් වුවාය. ඒ කාලයේ ඇයට ප්‍රබල සහායක් වූයේ ලංකා කොමියුනිස්ට් පක්ෂයයි. එයට හේතුව රහසක් හැටියට තවදුරටත් තබා ගැනීමට බලාපොරාත්තු වෙමි.