2018 මැයි 19 වන සෙනසුරාදා

වල්පොල රාහුල හිමියන්ගේ මෙහෙය

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 563

සාසන අඹරේ දිදුලන තාරකාවන් වූ අපේ යතිවරයන් ගැන මවිසින් සපයන ලද ලිපි මාලාව මට තාවකාලිකව නැවැත්වීමට සිදු වූයේ මගේ ගුරුවරයෙක් වූ ලක්සිරි ජයසූරිය ගැන සටහනක් තැබීමට අවශ්‍ය වූ නිසාය.  එමෙන්ම ඔහුගේ සේවයට පසුබිම වූ අපේ කාලයේ පේරාදෙණිය සරසවියේ අරඹන ලද සමාජවිද්‍යා අංශය ගැනද සටහනක් ලීවෙමි. මේ වෙනස ගැන මගේ පාඨකයන් කීපදෙනෙක්ම පෙන්වා දෙමින් නැවතත් බොදු යතිවරයාණන් ගැන සටහන් ලියන මෙන් මගෙන් ඉල්ලා සිටියහ. 

මේ ලිපියට මාතෘකා වන්නේ නූතන යුගයේ අද්විතීය සඟරුවනක් වූ වල්පොල රාහුල හිමියන්ය. ඔහු සමඟ සුප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සම්බන්ධ වන්නේ ඔහු විසින් “මා ආදරණීය රාහුල” යැයි ආමන්ත්‍රණය කරන ලිපි කිහිපයක් මට මෑතකදී කියවීමට හැකි වූ නිසාය.  

උන් වහන්සේ ගැන මා හොඳින් දැනගෙන සිටි නමුත් මුණ ගැසුණේ 1972 වර්ෂයේ පැරිසියේදීය.  සිරි ගුණසිංහ හා සරච්චන්ද්‍ර යන දෙපොළම රාහුල හිමියන්ගේ කුලුපග මිතුරන් වු නිසා උන් වහන්සේගේ කීර්තිය ගැනත් මිත්‍රශීලි බවත් ගැන අසා තිබුණි. එබැවින් මම ටික දිනක් පැරිසියේ ගත කිරීමට ලැබෙන විට රාහුල හිමිට දුරකථනයෙන් අමතා හමුවීමට කැමති බව කීවෙමි. රාහුල හිමි ද මා ගැන තමන්ගේ මිතුරු මෙන්ම ලංකා තානාපති තිස්ස විජේරත්නගෙන් අසා තිබූ හෙයින් එදාම හමුවෙමුයි යෝජනා කළේය. ඒ අනුව පැරිසියේ ජනාකීර්ණ පෙදෙසක තට්ටු නිවාස සංකීර්ණයක සකස්කර තිබුණ එම නිවසට මම ගියෙමි.  එම නිවහන පන්සලක් නොවීය. ඉතා කුඩා කුටියක් වූ එම නිවහනේ විසිත්ත කාමරයක් ද, නිදන කාමරයක් ද, කුඩා කුස්සියක් ද විය. උන්වහන්සේ කාටවත් අතපෑමටවත්, යටත් වීමටවත් කැමති වූ කෙනෙක් නොවේ. ප්‍රංශයේ ප්‍රධාන පර්යේෂණ ආයතනයෙන් හා සොර්බෝන් සරසවියෙන් ලැබුණ සුළු වේතනය හා තමන්ගේ බෑණාවරැන්ගෙන් ලැබූ ආධාර ද සිය සරල ජිවිතය ගෙන යෑමට සෑහෙන බව රාහුල හිමි මට කීවේය. ටික වේලාවක් සාකච්ඡා කිරීමෙන් පසුව තම කුඩා කුටියට ගිය රාහුල හිමි ලංකා තේ එකක් සදාගෙන විත් සිනාසෙමින් මට පිළිගැන්වූයේය.

ඒ දවස්වල උන්වහන්සේ ලංකාවේ ජ.වි.පෙ කැරුල්ල මර්දනය කිරීම ගැන දුකින් සිටියේය. දුක් වුණා පමණක් නොව එම තරුණයන්ට සහාය වීමට බටහිර අරඹන ලද සමිතියක සාමාජිකත්වය ද දැරූහ. එම සමිතියට එක්වීමට ඔහුගේ හිතමිතුරකු වූ මහාචාර්ය ලින් ලුඩොවයික් තමන් උනන්දු කළ බව රාහුල හිමි මට කීවේය. මේ කාලයේ පැරිසියේ ශාස්ත්‍රීය උපාධිය හදාරන සිසුවියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මෙම ජ.වි.පෙ. හිතකාමි සමාගමේ සාමාජිකාවක් විය. රාහුල හිමි ඒ වනවිට මහායාන පුස්තකයක් වන න්‍යායාචාර්ය අසංගගේ කෘතියක් ප්‍රංශ බසට පෙරළමින් සිටියේය. එය සරල පරිවර්තනයක් නොව එහි එන සෑම වචනයක්ම නිරුක්ති සොයමින් විවරණය කරන්නක් විය. සොර්බෝන් සරසවියේ බෞද්ධ හා පාලි පඬිවරුන් වූ අන්දේ බරෝ හා පිලියෝසා වැනි අය රාහුල හිමියන්ගෙන් ගුරුහරුකම් ලබා ගත්හ.

මීළඟට මට උන්වහන්සේ හමුවුයේ ලන්ඩන් නුවරදීය.  උන්වහන්සේ අසනීප තත්ත්වයක සිටි නිසා ඔහුගේ බෑණකු වූ ලන්ඩනයේ සුප්‍රසිද්ධ ගණකාධිකාරීවරයෙක් වූ පීටර් හෙට්ටිගොඩගේ නිවසේ උඩ තට්ටුවක රාහුල හිමියන්ට කාමරයක් සකස් කර දී තිබුණේය. රෝගී තත්ත්වයෙන් වුවද උන්වහන්සේ ශාස්ත්‍රීය කටයුතු නොකඩවා කරගෙන ගියේය. මේ වනවිට උන්වහන්සේගේ  “බුදුන් වදාළ දහම” නමැති ග්‍රන්ථය ලෝක පූජිතව තිබුණි. සියලුම ලෝක භාෂාවලට එය පරිවර්තනය කරන ලදින් පළමුවරට බටහිර උගතුන්ට මෙන්ම සෙසු බෞද්ධයන්ට බුදුන්ගේ ඉගැන්වීම් පිළිබඳ පැහැදිලි, සරල විස්තරයක් එමගින් ලබා ගත හැකි විය.

මේ පොත ලිවීම පවා අහම්බෙන් සිදු වූ බව රාහුල හිමි මට කීවේය. ඔහු අසංගගේ ධර්මය ගැන පර් යේෂණ කරන අතරතුර  මහාචාර්ය ලින් ලුඩොවයික් ගෙන් පණිවිඩයක් ලැබුණි. එම පණිවිඩය නම් ලුඩොවයික් දැන් ලන්ඩන් නුවර පදිංචියට පැමිණ ඇති බවත් ඔහු ගෝඩ්ස් ෆ්‍රේසර් නමැති පොත් ප්‍රකාශකයාගේ උපදේශක වශයෙන් කටයුතු කරන බවත්ය.  

ඔහු තමාගේ තනතුරේ හැටියට බුද්ධාගම ගැන පොතක් ලිවීමට රාහුල හිමිට ආරාධනා කළේය. තම ගුරැවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට බැරි නිසා එම පොත ලියූ බවත් ඒ නිසා උන්වහන්සේගේ පර් යේෂණය කල් දැමීමට සිදු වූ බවත් රාහුල හිමි කීවේය. එසේ වුවද එම පොත තුළින් රාහුල හිමියන් බුද්ධාගම පිළිබඳ ලෝ සුපතල රචකයෙක් බවට පත්විය.  අමෙරිකාවේ විශ්වවිද්‍යාල පවා උන්වහන්සේට ආරාධනා යැවීය. ඒ අනුව උන් වහන්සේ අමෙරිකාවේ චිකාගෝ නුවර සරසවියක බුද්ධාගම පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළේය. එම කාලයේ රාහුල හිමිත් ක්‍රිෂ්ණමූර්ති අතරත් ඇති වූ සංවාදයක් රූපවාහිනිය විසින් චිත්‍රපට කරන ලදී. මෑතකදී මම එම සංවාදය ගූගල් මගින් නරඹා රාහුල හිමිගේ පාණ්ඩිත්‍යය ගැන මනා ඉඟියක් ලබා ගතිමි. ක්‍රිෂ්ණමූර්ති ඔහුගේ දර්ශනය බොහෝවිට සකස්කර ගත්තේ බුදුන්ගේ වදන්වල අනුසාරයෙනි. රාහුල හිමි ඔහුට තම දේශනවල ඇති බෞද්ධ හරය මනා ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වා දුන්නේය.  

මේ අතින් බලනවිට රාහුල හිමි විසින් රචිත සෑම පොතක්ම ඉහළම ගනයේ කෘතියක් බවට පත්විය. වස්කඩුවේ හිමියන්ගේ සටහන් ඇතිව ලියන ලද අනුරාධපුර යුගයේ සිංහල බුද්ධාගමේ ඉතිහාසය ද ‘භික්ෂුවකගේ උරුමය’ ද ‘අසංග ගේ ධර්මය’ ද, ‘බුදුන් වදාළ දහම’ යනුවෙන් රාහුල හිමි ලියූ පොත් අද්වීතියයි. එමෙන්ම උන්වහන්සේ නූතන බෞද්ධයන් වෙනුවෙන් ලියන ලද “සත්‍යෝදය කතා” ද අපේ දෑස් අරවන්නක් විය යුතුය.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00