මෛත්‍රීපාල සිරිසේන තමන් දැරූ සෞඛ්‍ය ඇමැති ධූරය අතහැර මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයා බවට පත්වීමෙන් පසුව ගොඩවෙන්න වේදිකාවක් හරියට තිබුණේ නැත. යූ.එන්.පී. සහාය ස්ථිර වීමෙන් පසුව මෛත්‍රීපාල මේ තීන්දුව ගත්තත් එකවරම එහි වේදිකාවට ගොඩවීමට ඔහුට හැකියාවක් නොතිබුණි. එසේ ගොඩ වී ශ්‍රීලනිපයෙන් තමන්ට ලැබෙන්නට තිබූ ඡන්ද පංගුව නැති කරගැනීම අවාසියක් විය හැකියැයි ඔහු සිතන්නට ඇත.
ඒ වෙලාවේ මෛත්‍රීපාලගේ පිහිටට ආවේ රතන හාමුදුරුවන්ය. රතන හාමුදුරුවෝ තම පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා වේදිකාවක් හදා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට ඉදිරියට එමින් සිටි සියලු සංවිධාන සහ බලවේග එම වේදිකාවට ගොඩ කිරීමට සමත් වූහ. කොළඹ මුත්තයියා පාක් ඒකේ පැවැති මේ රුස්වීම මෛත්‍රීපාලට මහත් ආශිර්වාදයක් විය. එතැනින් පටන් ගත් යහපාලන රජය පිහිටුවීමේ සටන 2015 ජනවාරි 08 වැනිදා ජයගන්නා තෙක්ම රතන හාමුදුරුවෝ මෛත්‍රීපාලගේ සෙවණැල්ලක් මෙන් රැඳී සිටියහ. වේදිකාවේද මහ හඬක් නැගූහ.
මෛත්‍රීපාල ජනාධිපති වී රනිල් අගමැති වශයෙන් පත් කරගෙන දින සීයේ ආණ්ඩුව පිහිටුවා ගනිද්දීත් රතන හාමුදුරුවන්ගේ අනුශාසනා ලැබුණේය. දින සියයේ ආණ්ඩුව මාස හතක් දක්වා දික් වෙද්දීත් කරන්නට පොරොන්දු වී සිටි ඇතැම් කාරණා අමතක කරද්දීත් රතන හාමුදුරුවන් සිටියේ ජනාධිපතිවරයා ළඟින්මය. ජාතික හෙළ උරුමයටත් වඩා රතන හාමුදුරුවන් මෛත්‍රීපාල ජනාධිපතිට සමීප වී සිටින බවක්ද පෙනෙන්නට තිබුණේය.
අගෝස්තු 17 වැනිදා පැවැති මහමැතිවරණයෙන් පසුව යහපාලන රජය පිහිටුවා ගනිද්දී හෙළ උරුමය තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා මුලින් රතන හිමිගේ නම යෝජනා කර තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ නිශාන්ත ශ්‍රී වර්ණ සිංහගේ නමය. මේ නිසා රතන හිමිට මන්ත්‍රී ධූරයක් අහිමි වන තත්ත්වයක් මතු විය. ඒ අවස්ථාවේදී රතන හිමිගේ පිහිටට ආවේ ජනපති මෛත්‍රීපාලය. ඔහු අගමැති රනිල් සමඟ කතා කළේය. ජනපතිගේ ඉල්ලීමට අගමැති එකඟවිය. මේ නිසා රතන හිමියන්ට ලැබෙන්නට නියම වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලැබුණේ හෙළ උරුමයෙන් නොව යූ.එන්.පී.යෙනි. රතන හිමි සහ හෙළ උරුමය අතර විරසක බව ඇරැඹුණේ එතැනින් බව කරළියේ කතාබහ විය. ටික කලක් යනතුරු ආණ්ඩුව සමඟ සද්දෙ දාගෙන දේශපාලනය කළ රතන හාමුදුරුවෝ ඉන්පසුව හදිසියේම නිශ්ක්‍රීය වූහ.
සද්දෙ නැත්තටම නැති වී ගියේය. අයවැයේ දී රතන හාමුදුරුවන්ගේ ඡන්දය වෙනස් වීමට ඉඩ තිබෙන බවක් කනින් කොණින් ඇසුණද උන්වහන්සේගේ ඡන්දය යහපාලන ආණ්ඩුවට ලැබුණි. ආණ්ඩුවත් එක්ක රතන හාමුදුරුවන් තවදුරටත් සිටින බවට පසුගිය කාලය පුරාම ලැබුණු එකම සංඥාව වූයේ අයවැයට ඡන්දය දීම පමණක්යැයි කීම වැරැදි නැත.
මෙහෙම හිටපු රතන හාමුදුරුවෝ පසුගියදා හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ස්වාධීන වූහ. ස්වාධීන වුවද තමන් තවදුරටත් මන්ත්‍රී ධූරය දරණ බවත් ආණ්ඩුවෙන් නොයන බවත් ජනාධිපති උපදේශක තනතුරේද කටයුතු කරන බවත් මාධ්‍ය සාකච්ඡාවෙන් දිනකට දෙකකට පසුව හදිසියේ කියන්නට රතන හාමුදුරුවන්ට සිදුවිය. ස්වාධීනව කටයුතු කරන්නේ නම් යූ.එන්.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ තවදුරටත් රැඳී සිටින්නේ කෙසේද යන තාක්ෂණික ප්‍රශ්නයද රතන හාමුදුරුවන්ට බලපාන්නට ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. කොහොම වුණත් රතන හාමුදුරුවන් පසුගිය සඳුදා (16) මාධ්‍ය සාකච්ඡාවක් තබා කිව්වේ මෙසේය.
දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මම කටයුතු කරන්නෙ නෑ. පාර්ලිමේන්තුවේ ස්වාධීනව හිඳිමින් ස්වාධීන බලවේගයක් නිර්මාණය කරනවා. එම බලවේගය හරහා ආණ්ඩුවේ ඉදිරි අවුරුදු තුනේදී රට වෙනුවෙන් උපරිම මෙහෙය කිරීමට කටයුතු කරනවා.
මෙවැනි අලුත් බලවේගයක් නිර්මාණය කරමින් එයට නායකත්වය දෙමින් තවදුරටත් යූ.එන්.පී. මන්ත්‍රී ධූරයක් දරන්නේ කෙසේද යන්න එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ දවසේ සවස් කාලය වනවිටම දේශපාලන කරළියේ කතාබහට ලක් විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ යූ.එන්.පී.යට මෙතෙක් තිබූ ආසන සංඛ්‍යාව වූ 106 ද අභියෝගයට ලක්වීමට ඉඩ තිබිණි.
මේ අතර ඇතැමුන් තමා ආණ්ඩුවෙන් ඉවත් වී ඇති බවට ඉදිරිපත් කරන මතය සම්පූර්ණයෙන්ම වැරැදි අර්ථකථනයක් බව ඉන් දවස් දෙකකට පසුව රතන හිමියන්ට කියන්නට සිදුවූයේ ඒ නිසා විය හැකිය. ඊට අමතරව හෙළ උරුමයේ උත්තරීතර උපදේශක ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයද එයට හේතුවන්නට ඇත. උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ මෙසේය.
වත්මන් ආණ්ඩුව ගෙන ඒමට පුරෝගාමී වූ අතුරලියේ රතන හිමියන් රජය විචේචනය කිරීම සතුටට කරුණක්. ඒවගේම රතන හිමියන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී කටයුතු කරන්නේ නම් ස්වාධීනත්වය වඩාත් තහවුරු වෙනවා. ඵලදායී වෙනවා.
එසේම රතන හාමුදුරුවන් 2015 ජනවාරි 08 මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවූ පෙරැළියේ පුරෝගාමියකු වූ බවද ඕමල්පේ හිමියන් ප්‍රකාශ කර තිබිණි.
කෙසේ නමුත් පෙරැළියේදී රතන හිමියන්ගේ සහායට පැමිණි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරියද පවසා තිබුණේ රතන හිමියන් ස්වාධීන බලවේගයක් ගොඩනගනවා නම් උන්වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් විය යුතු බවය. තරමක් ආවේගයකින් කතා කළ ඔහු කියා තිබුණේ රතන හාමුදුරුවෝ යන එන මං නැතිව අතරමං වී සිටින විට එ.ජා.ප.ය සමඟ එකතු වී පාර්ලිමේන්තුවට යන මාවත සොයාගත් බවය. හරිනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට තමන්වහන්සේ විරුද්ධ බව ප්‍රකාශ කළ යුතුව තිබුණේ එදා බවත් එය අහෝසි කිරීමට දෙවැනි වතාවටත් ජනවරමක් ඒ අවස්ථාවේ දී ලැබුණු බවත් කියා තිබූ මහාචාර්යවරයා මෙසේද කියා තිබුණේය.
එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර ඉටුකරලා දෙන්න රටේ අනාගතය එක්ක සෙල්ලම් කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා මම උන්වහන්සේට කියනවා.
කවුද මේ මහාචාර්යවරයා කියන එක එක්කෙනා?
ඒ ගැන අදහසක් ගන්න නම් අහෝසි කරනවායැයි කියමින් තිබූ විධායක ජනාධිපති ක්‍රමය ගැන ළඟදී ඇසෙන්නට පටන් ගත් කතා ගැන මතක් කරගත යුතුය.
මීට සති දෙක තුනකට උඩදී ශ්‍රී.ල.නි.ප.යේ මහලේකම් දුමින්ද දිසානායක නින්දෙන් ඇහැරුණාක් මෙන් හදිසියේම කියා තිබුණේ 2020 දී එන මීළඟ ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන බවය. ඒ බව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවක්ද ඔහු කියා තිබුණි.
මේ කතාව දේශපාලන කරළියේ දෙබරයට ගල් ගැසීමක් විය. මේ කතාවෙන් වඩාත් කලබලයට පත්වූයේ ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් බවට සැකයක් නැත. මීළඟට ජනාධිපතිවරණයක් පැවැත්වුණොත් ඊට මහින්දට ඉදිරිපත් වීමට හැකියාවක් නැත. එවිට මේ මන්ත්‍රී පිරිසට සිදුවන්නේ මහින්දගේ සහාය ලැබෙන අලුත් පොහොට්ටු පක්ෂයට එකතු වී එම පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය දක්වන්නයි. තව වසර කිහිපයකින් එන මැතිවරණයක් ගැන දැන්ම කලබල වන්නේ ඇයිදැයි විමසූ ඔවුන් ආණ්ඩුවට දිගටම අභියෝග කරන්නේ පුංචි ඡන්දය පවත්වන ලෙසටය. ශ්‍රීලනිපය අතහැර අලුත් පක්ෂයට එකතු වී ඡන්ද කිරීම මහින්දගේ සහාය ලබන පළාත් පාලන මට්ටමේ ආධාරකරුවන්ට පහසු විය හැකි වුවද පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවැනි තීන්දු ගැනීම පහසු නැත. මේ නිසා මීළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේනයැයි පක්ෂයේ ලේකම්වරයා කියන විට එය නිකම්ම වැඩකට නැති කතාවක් හැටියට බැහැර කරන්නට ඔවුන්ට හැකියාවක්ද නැත.
කෙසේවුවද ඊළඟට ආණ්ඩුවේ මෛත්‍රීපාල පාර්ශ්වයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ප්‍රකාශ කළේ 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් මේ නිසා අපේක්ෂකයා කවුදැයි ප්‍රශ්නයක් මතු නොවන බවත්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන නිසා එසේ වන බව රාජිත ප්‍රකාශ කළේය. රාජිත මේ ආකාරයටම රතන හාමුදුරුවන් තම මාධ්‍ය සාකච්ඡාවේදී නව ව්‍යවස්ථාව ගැන සිදුකළ ප්‍රකාශයද ප්‍රතික්ෂේප කළේ නුදුටු ව්‍යවස්ථාවක් ගැන රතන හාමුදුරුවන් විරැද්ධ වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමිනි. නමුත් රාජිත එහිදී විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත.
සමහර දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ මේ සියලු කතා එකම අරමුණකින් සිදුවන ඒවා බවය. ඔවුන් කියන්නේ ජනාධිපතිවරයාට බෙහෙවින් සමීප භූමිකාවක සිටි රතන හිමියන් ඔහුට විරුද්ධව යනු ඇතැයි සිතිය නොහැකි බවය. රතන හාමුදුරුවන් කියන්නේ තමන්ට රජය කෙරෙහි විවේචන තිබෙන බවය.
ජනාධිපතිවරයාටද රජයේ ඇතැම් මැති ඇමැතින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනයක් තිබෙන බව පෙන්නුම් කළ අවස්ථා කීපයක්ම වෙයි. බැඳුම්කර ගනුදෙනුව, මහ බැංකු අධිපති තනතුරින් අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කිරීම, අයවැයේ යෝජනා, වැට් බදු පැනවීම, හම්බන්තොට වරාය චීනයට පැවැරීම, එෆ්.සී.අයි.ඩීයේ සහ අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියා කලාපය, ඒ අතුරින් කිහිපයකි. ළඟදීම එයට එක් වූයේ හොරණදී මුල්ගල් තැබූ ටයර් කම්හල සහ ලොතරැයි ටිකට්පතක මිල රුපියල් 30 කිරීමේ තීන්දුවයි.
තව වසර තුනකට පසුව එන ජනාධිපතිවරණයට මෛත්‍රීපාලගේ නම යෝජනා වීමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනාධිපතිවරයා කොතැනකවත් කියා නැතැයි ප්‍රකාශ කරමින් රතන හිමියන් ස්වාධීන වීමත් සිදුවන්නේ මේ පසුබිමේ වීම සැලකිල්ලට ගත යුතුයැයි ඇතැම් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පවසන්නේ මේ නිසාය. මෙය එක්තරා ආකාරයකින් ශ්‍රී.ල.නි.පයේ මෛත්‍රීපාල සහ මහින්ද පාර්ශව දෙක අතර කිසියම් එකඟත්වයක් ඇති කර ගැනීමකටද මගපාදා ගැනීමක් විය හැකියැයි ඔවුන්ගේ මතය වී තිබේ. නමුත් මහින්ද පාර්ශවයෙන් එම අදහස තදින්ම ප්‍රතික්ෂේප වී ඇති බවත් දැනගන්නට තිබේ.
අපේ රටේ දේශපාලනයේ විය නොහැකි දෙයක් නැතැයි සමහරු කියති. එසේ කියන අය උදාහරණයට ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාමය. 2014 නොවැම්බර් මාසයේ 23 වැනිදා වනතුරැ ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨතමයකු වී සිටි මෛත්‍රීපාල ඉන්පසුව පොදු අපේක්ෂකයකු වෙමින් යූ.එන්.පීයේ ඡන්ද පදනම මත පිහිටා මේ රටේ ජනාධිපති පදවියට පත් වුණේය. ඉන් දින කීපයකට පසුව ඔහු යළිත් ශ්‍රී.ල.නි.පයේ නායකයා බවටද පත් වුණේය. මේ අනුව රතන හිමියන් හදිසියේම ස්වාධීන වීම ගැන පුදුම වන්නට දෙයක් නැතැයි ඔවුන්ගේ මතයයි.
කෙසේ වුවද රතන හිමියන්ගේ ස්වාධීන වීම ගැන එම මන්ත්‍රී ධූරයේ නීත්‍යානුකූල හිමිකාරීත්වය දරණ යූ.එන්.පීය මෙතෙක් කිසිවක් කියා නැත. යූ.එන්.පී නායක රනිල් සහ ජනාධිපති මෛත්‍රීපාල අතර දොරගුළු ලාගෙන පැවැති රහස් සාකච්ඡාවෙන් දින කීපයකට පසුව රතන හිමියෝ මාධ්‍ය හමුව පැවැත්වීමද විශේෂයකි. කොහොම වුණත් මේ හමුව පැවැත්වෙන විට අගමැති රනිල් හිටියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගි වෙමිනි. මෙවර ඩාවෝස් සමුළුවට රනිල් සහභාගි වී සිටියේ රවි, මලික්, හරින් ඇමැතිවරුන්ද සමඟිනි. එම සමුළුව හරහා මෙවර ශ්‍රී ලංකාවට වාසිදායක ඉහළ පෙළේ සාකච්ඡා ගණනාවක් පැවැත්වීමට අගමැතිවරයා සමත් වී සිටියේය. චීන ජනපති ඇතුළු ලෝක නායකයන් ගණනාවක්ද ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගම් සමූහ ගණනාවක ලොක්කන්ද හමුවීමට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට හැකි වුණේය.
ඒ කෙසේ වුවද ඩාවෝස් සමුළුව ඉවර වී යූ.එන්.පී. මැති ඇමැතින් ආපසු ලංකාවට එන විට බරපතළ ගැටලු ගණනාවක් මතු වී තිබුණි. රතන හාමුදුරුවන්ගේ ස්වාධීන වීම, ලොතරැයි පතක මිල රුපියල් 20ට බැස්සීම, එම ගැසට් එක අවලංගු කිරීම ඒ අතුරින් කීපයක් විය. ඒ සමඟ ඒකාබද්ධ විපක්ෂය මගින් තම ටොප් ටෙන් වැඩපිළිවෙළ හරහා ශ්‍රීලන්කන් එයාර් ආයතනයේ ගනුදෙනුවක් ගැන බරපතළ ලෙස චෝදනා කර තිබුණේය. ඇණවුම් කර තිබූ එයාර් බස් යානා තුනක් අවලංගු කිරීමේදී රටට රුපියල් කෝටි 15,000ක් පාඩු කර ඇතැයි චෝදනා කළ පොදු විපක්ෂය එහි වගකීම යූ.එන්.පී ජ්‍යෙෂ්ඨම උපදේශකවරයකුට පවරා තිබිණි.
මේ සමඟ ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිති සංගම් ගණනාවක් එක්ව පසුගියදා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හමු වූයේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව වහාම පරීක්ෂණ අරඹන්නැයි ඉල්ලීමක් කිරීමටය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු සාමාජිකයන් අටදෙනකු මහබැංකු අධිපතිවරයා හමුවී මේ ඉල්ලීම කර තිබුණි. එම ගනුදෙනුව හරහා ඊ.පී.එෆ්. අරමුදලට සිදුවූ බලපෑම් පිළිබඳවද මෙහිදී චෝදනා එල්ලවූ අතර මහබැංකු අධිපති එම ගැටලුවට පිළිතුරු ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා තිබිණි. මේ ආකාරයටම මලික්ගේ අමාත්‍යංශය මගින් හොරණ ඉදිකෙරෙන ටයර් කම්හලක් සඳහා ලබාදී ඇති විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන්ද ගැටලු මතුවී තිබේ. මේ කම්හල සඳහා හිටපු ඇමැති බැසිල්ගේද සමීප හිතවතකු වන ශ්‍රී ලාංකික ව්‍යාපාරික නන්දන ලොකුවිතානට හොරණ අක්කර 100ක භූමියක් ලබාදී ඇත්තේ අක්කරයකට රුපියල් 100ක් බැගින් අනූනව වසරේ බද්දකටය. මේ පිළිබඳව පැන නැගුණු ගැටලු හේතුවෙන් එම ගිවිසුම යළි සලකා බැලීමට යන බවද එම කොන්දේසි යටතේ ඉඩම පවරාදීමට ආයෝජන මණ්ඩල සභාපතිවරයා විරෝධය දක්වා ඇතැයිද සඳහන්ය. මේ සියල්ල පසුගිය සති දෙක තුන තුළදී මතු වූ කාරණාය.
මේ සමඟ ලොතරුයි පතක මිල රුපියල් විස්සේ සිට තිහ දක්වා වැඩි කිරීමට මුදල් ඇමැතිවරයා ගත් තීන්දුව මහා ගාලගෝට්ටියක් බවට පත්විය. එය මෙරට ලොතරැයි අලෙවියට සම්බන්ධ දහස් ගණනකගේ ගැටලුවක් බවට පත්වූ අතර අවසානයේ වැඩි කළ මුදල ආපසු පරණ මිලටම ගෙන ඒමට ජනාධිපතිවරයා ක්‍රියා කළේය. නමුත් මුදල් ඇමැති පැමිණෙන තුරු එම නියෝගය ක්‍රියාත්මක නොවන බවක්ද සමහරු කියති.
ආණ්ඩුව තුන්වැනි වසර අරඹන්නේ මෙවැනි හැලහැප්පීම් මැද්දේය. 2015 ජනවාරි 08 වැනිදා මහත් දේශපාලන පෙරැළියකට මුල පුරන්නට සෙත් පිරිත් දේශනා කළ රතන හිමියන්ගේ ස්වාධීන වීම මේ හැලහැප්පීම්වල ප්‍රතිඵලයක්දැයි කියන්න දන්නේ නැත.
♦ ශශීන්ද්‍ර