2018 මාර්තු 24 වන සෙනසුරාදා

යුද සෙනෙවි කනිංහැම් සහ වස්කඩුවේ සුභූති හිමි

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 226

පණ්ඩිත බටුවන්තුඩාවේ සහ හික්කඩුවේ සුමංගල හිමියන් විසින් පාළි මහාවංශය සිංහලට පෙරෑළු හැටි ගැන පසුගිය තීරු ලිපියකින් මම පැහැදිලි කළෙමි. පාලි මහාවංශය පෙරදිග බෞද්ධ රටවල් සියල්ලටම පාහේ ආදර්ශයක් සපයන වැදගත් ග්‍රන්ථයක් විය.

එම මහාවංශය ගැන උනන්දුව යොමු කළේ පෙරදිග රජවරුන් පමණක් නොවේ. ඉංග්‍රීසි රජ පෙළපත් ගැන උනන්දුවක් දැක්වූ අධිරාජ්‍යවාදී පාලකයෝ ද මහාවංශය ඉංග්‍රීසියට හා සිංහලට පෙරළීමට අනුබල දුන්නෝය. මෙරට විසූ බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියකු වූ ජෝර්ජ් ටර්නර් ඉන් මුල් කොටස ඉංග්‍රීසියට පෙරළා රාජ්‍ය අනුග්‍රහය ලබමින් එය ප්‍රකාශයට පත් කළේය. එය එකල ශාස්ත්‍රවන්තයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කළ බවට සාක්ෂි තිබේ.

ටර්නර්ගේ පරිවර්තනය ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වුවමනාවෙන් පරිශීලනය කරන ලදී. එයට විශේෂ දෛවෝපගත කරුණක් හේතු විය.  ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යුගයේ පුරාවිද්‍යාවේ පුරෝගාමීයා වූයේ ඇලැක්සැන්ඩර් කනිංහැම් නමැති යුද සෙනවියායි.  බ්‍රිතාන්‍ය පාලකයන්ගේ නෙත් මේ විද්‍යාව කෙරෙහි හැරවීමට ඔහු ප්‍රයත්නයක යෙදුණේය.   ඔහුගේ වෑයම සාර්ථක වීමට එක් හේතුවක් වූයේ බ්‍රිතාන්‍ය උසස් පාලකයන් සියලු දෙනාම පාහේ ඔවුන් ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා කාලයේ ග්‍රීක හා ලතින් භාෂාව හා ශිෂ්ටාචාරය ගැන උනන්දුවක් දැක්වූ අය වීමයි. ග්‍රීක හා ලතින් භාෂා ඉගෙනගැනීම එංගලන්තයේ උසස් අධ්‍යාපනය පමණක් නොව යම් අවධියක ලංකාවේ උසස් අධ්‍යාපනයේ ද සුවිශේෂී ලක්ෂණයක් විය. මා මහනුවර ට්‍රිනිටි විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ග්‍රීක හා ලතින් භාෂා ඉගෙන ගැනීම අනිවාර්ය විය. එපමණක් නොව එම යුගයේදි ලංකා නීති විද්‍යාලයට ඇතුළත්වීම සඳහා ලතින් භාෂාව අනිවාර්ය විය. නීති විද්‍යාලයට ඇතුළත්වීමට වෙර දැරූ අපේ සගයන් දිවා රෑ නොබලා ලතින් ව්‍යාකරණය කටපාඩම් කළ අයුරු මට හොඳට මතකයි. එසේ ලතින් හා ග්‍රීක සංස්කෘතිය ප්‍රගුණ කළ එංගලන්තයේ ප්‍රභූ පන්තිය ඉන්දියාව පරිපාලනය කිරීමට පැමිණිවිට සංස්කෘත හා ප්‍රාකෘත වැනි එරට පැරණි භාෂා ගොඩගැනීමට මුදල් යෙදවීමට මැලි වූයේ නැත. ඉන්දියාව බ්‍රිතාන්‍යය කිරීටයට යටත් වීමට පෙර පවා ඉන්දියාවේ වෙළහෙළදාම් කළ ඉංග්‍රීසීහු “පණ්ඩිත” කියන තනතුරු ඇති කර මුල් සංස්කෘත ශබ්ද කෝෂයක් නිර්මාණය කිරීම සඳහා මුදල් වෙන් කළෝය. කර්සන් සාමිවරයා වැනි උගත් පරිපාලකයින් ඉන්දියාවේ පුරා විද්‍යා අංශයක් ඇති කිරීමට අනුබල දුන්නේ ග්‍රීක හා ලතින් ශිෂ්ටාචාර එළි දැක්වීමට පුරා විද්‍යා කැණීම් මහඟු උපකාරයක් වූ බැවිණි. එක් උසස්ම පරිපාලකයකු සඳහන් කළ පරිදි ග්‍රීසියේ හා රෝමයේ කැණීම්වලින් එළි පෙහෙළි කරගත හැකි වූ පුරා විද්‍යා වස්තුවලට වඩා වස්තු තොගයක් ඉන්දියානු පොළව යට වැළලී තිබේ.

එහෙත් පුරාවිද්‍යා කැණීම් අරඹන්නේ කොතැන සිටද? මේ ඉන්දීය මහාද්වීපයේ පස් යට තිබෙන සිද්ධස්ථාන හඳුනාගන්නේ කෙසේද? මේ ප්‍රශ්නය ගැන කනිංහැම් කල්පනා කරමින් සිටිනවිට දෛවෝපගත සිද්ධියක් ඇති විය. එනම් හියුත්සාං හා පාහියන් නමැති චීන බෞද්ධ භික්ෂූන් දෙදෙනාගේ භාරතීය ගමන් පිළිබඳ  චීන බසින් ලියන ලද විස්තරය බටහිර විශාරදයකු විසින් ප්‍රංශ බසට පෙරළා ප්‍රකාශයට පත් කිරීමයි. ප්‍රංශ බසින් ලියන ලද මේ ග්‍රන්ථය කනිංහැම් නමැති පුරා විද්‍යාඥයා අතට පත්විය. ඔහු වහාම බ්‍රිතාන්‍ය පාලකයින්ට ලියමින් ඒ පොතේ සඳහන්ව ඇති විස්තර මාර්ග සිතියම් සේ සළකමින් ඒ අනුව කැණීම් ආරම්භ කිරීමට අවසර ඉල්ලුවේය. එම ඉල්ලීමට අවසර හා මුදල් දුන් උසස් පාලකයින් එමඟින් භාරතීය පුරාවිද්‍යාව බෞද්ධ පුරාවිද්‍යාවක් බවට පත් කළෝය. ඒ අවසරය අනුවයි ලුම්බිණි, බුද්ධගයා, සාරානාථ හා සාංචි වැනි ස්ථානවල පුරාවිද්‍යා කැණීම් අරඹා ඉන්දියාවේ පස් යට සැඟව තිබූ බෞද්ධ ඉතිහාසය නැවතත් වර්තමාන ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ.

මෙසේ පාදා ගන්නා ලද ශිලා ලේඛන හා ස්ථම්භවල සටහන් කියවීම අති දුෂ්කර කටයුත්තක් විය. එහි බ්‍රාහ්මී අක්ෂර ඒ වනවිට භාවිතයේ තිබුණේ නැත. ඒවා අලුතින් කියවීමට ලංකාවේ සොයා ගන්නා ලද සෙල්ලිපි බෙහෙවින් උපකාරි විය. එහෙත් ඒවා හඳුන්වා දෙන්නේ කවුද? මෙතැනදි මා සොයා ගන්නා ලද අලුත් කරුණක් හෙළි දැක්වීමට කැමැත්තෙමි. මුලින්ම ඒ කටයුත්තේදී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහාය දී ඇත්තේ රත්නපාල නමැති ලාංකික විද්වතෙකි. එවැනි විද්වතකු ගැන මෙරට උගත් පර්ෙය්ෂකයින් කිසිකෙනකු මෙතෙක් සඳහන් කර නැත. මට ලැබී ඇති ඉඟියක් අනුව රත්නපාල යනු උපැවිදි වු භික්ෂුවකි. ඔහු දක්ෂ ශාස්ත්‍රවන්තයකු නිසා ඔහුට භාරතීය පුරාවිද්‍යා අංශය විසින් ස්ථිර තනතුරක් පිරිනමා ඇත. දැන් වුවද රත්නපාල ගැන වැඩිදුර සොයා බෞද්ධ පුනරුදයේ මුල්ම නායකයකු වශයෙන් ඔහුට හිමිව ඇති ගෞරවය ලබා දිය යුතුය. ඉන්දියානු පුරාවිද්‍යාඥයකු විසින් ලංකාවේ සම්මන්ත්‍රණයක් හා බෞද්ධ සොයා ගැනීම් පිළිබඳ ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයක් මා මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. එදිනද මම මේ අද්භූත චරිතයක් වූ රත්නපාල ගැන සඳහන් කළ නමුත් අද වෙනකල් ඒ පිළිබඳ වැඩිදුර විස්තර හෙළිදරව් වී නැත.

භාරතීය පුරාවිද්‍යා ආදි කර්තෘ වන කනිංහැම්ගේ ලංකාවේ පදිංචි මිතුරා වූයේ වස්කඩුවේ සුභුතී නායක හිමිපාණන්ය. උන්වහන්සේට නිතර ලිපි එවමින් සුවිශේෂ උපදෙස් හා පැහැදිලි කිරීම් කනිංහැම් ලබා ගත්තේය. සුභූති හිමියන්ද එම ප්‍රශ්නවලට පැහැදිලි උත්තර දන්වා යැවීය. උන්වහන්සේගේ ඉල්ලීමක් අනුව බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර පැලයක් කනිංහැම් විසින් ලංකාවට එවන ලදී. එම පැලය වස්කඩුවේ සුභූති හිමියන්ගේ පන්සලේ රෝපණය කරන ලදින් දැන් මහා බෝධි වෘක්ෂයක් ලෙස මෙරට සැදැහැවතුන්ගේ පුද පූජා ලබයි. සුභූති හිමියන්ගේ ආකර්යෂණීය ලක්ෂණයක් වූයේ එකල පැවති නව තාක්ෂණය ගැන සොයා බැලීමයි. උන්වහන්සේගේ කැමැත්ත පිට කනිංහැම් විසින් නව ඔරලෝසුවක්, ලන්තෑරුමක් හා යන්ත්‍ර සූත්‍ර කට්ටලයක් වස්කඩුවේ පන්සලට තෑගී කරනු ලැබිණි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00