2017 ජනවාරි 14 වන සෙනසුරාදා

ජනපතිගේ සංඥාව

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

ගෙවී ගිය සතිය ඇරැඹෙන්නේ යහපාලන රජයේ සම්මුතියේ තුන්වැනි වසරේ පළමු දිනය සටහන් කරමින්ය. සම්මුතිය ඉදිරි වසර තුන තුළම නොකඩවා පවත්වාගෙන යන බවට නායකයන් දෙදෙනා කොතරම් සහතික වුවද ගෝලබාලයන්ගෙන් නම් පෙනෙන්නේ එකතු වී යන ගමනෙන් ඔවුන් හති වැටී ඇති සැටියකි. ඔවුන්ට හති වැටෙන විට රජය පිහිටුවා ගැනීමේදී මහජනතාවට ලබාදුන් පොරොන්දු විශාල ප්‍රමාණයක්ද පැත්තකට විසිවී ඇති බවක් පෙනෙයි.
යහපාලනයේ පළමු වසර පොරොන්දු මතක් කරමින් ඒවා අතපත ගාමින් ඉදිරියට පැමිණීමට උත්සාහ කළ වසරක් විය. එම වසර තුළදී ස්වාධීන කොමිෂන් සභා ඇතිකර ගැනීමට සමත් වූ බවත් විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරගැනීමට ක්‍රියා කළ බවත් සඳහන් කළ යුතුය. නමුත් මේ රජය බලයට පත්වන්නේ ප්‍රධාන පොරොන්දු තුනක් මත බව අද මේ බොහෝ දෙනාට අමතකය. නැතහොත් මතක් කරනවාට අකමැතිය.

හරියට කියනවා නම් දේශපාලන ක්‍රමය වසාගෙන පැතිර තිබූ දූෂණ සහ අක්‍රමිකතා මුලිනුපුටා දැමීම, ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එම පොරොන්දු විය. රජයේ ගමන් මඟේ තුන්වැනි වසර ආරම්භය ගැන තම මතය පළකරන එක් දේශපාලන විචාරකයකු ප්‍රකාශ කර තිබු‍ණේ රටේ පාර්ශ්ව තුනකට බලපාන්නා වූ එම පොරොන්දු මහින්ද රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පදනම වැටුණත් අද වන විට එය රජයේ පාර්ශ්ව දෙකටම අමතක වී ඇති බවය. වසර දෙක අවසන් කොට තුන්වැනි වසරට පා තබන විට එම පොරොන්දු තුන හරහා ආමන්ත්‍රණය කර තිබූ රටේ සියලු පාර්ශ්වවල බලාපොරොත්තු කඩවෙන තැනට වැඩ සිදුවෙමින් ඇති බවය.
19 වැනි ව්‍යවස්ථාව හැරුණු විට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම පමණක් රජයේ කැපී පෙනන ජයග්‍රහණ බව තවත් සමහරුන්ගේ මතයයි. එම පසුබිමේ ජනතාව අපේක්ෂා කළ ප්‍රධාන ප්‍රතිසංස්කරණ තවමත් සිහිනයකට පමණක් සීමා කරගැනීමට ජනතාවට සිදු වී තිබේ.

රජයේ එක් ප්‍රධාන පොරොන්දුවක් වූ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයන නව ව්‍යවස්ථාවට හෝ සංශෝධනවලටද අත් වීමට යන්නේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ කටයුතුවලට මුහුණ දීමට සිදුවූ ඉරණමම බව පෙනෙන්නට තිබේ. උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පැහැදිලිවම පවසන්නේ තමන් මේ රජය බලයට පත් කිරීමට සහාය දැක්වූයේ තම ජනතාව මුහුණ දී සිටින දේශපාලන ගැටලුවලට විසඳුමක් ලැබෙන ප්‍රතිසංස්කරණ පිළිබඳව සලකා බැලීමෙන් පසුව බවය. ටී.එන්.ඒ. නායක සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකද වන සම්පන්දන් මේ සම්බන්ධයෙන් වරින් වර රජයට බලපෑම් කළද දැඩි මතධාරියකු වශයෙන් සැලකෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේ හිටපු මන්ත්‍රීවරයා පසුගියදා කිව්වේ මෙසේය.

උතුර නැගෙනහිර දෙමළ දේශපාලනඥයන් මෙන්ම දෙමළ ජනතාවද ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටිනවා. නමුත් වත්මන් රජයෙන්ද එම අවශ්‍යතාව ඉටුවන බවක් පෙනෙන්නට නැහැ.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊ.පී.ආර්.එල්.එෆ්. නායකයාද වෙයි. යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කියූ ඔහු රජයත් වත්මන් ජනාධිපතිවරයාත් එකී ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් සිදුකරන බවට පොරොන්දු වූ බවත් කියා තිබිණි. එසේම උතුරු නැගෙනහිර ජනතාව වත්මන් රජයට පූර්ණ සහාය පළකළේ එම පොරොන්දු ඉටුවනු ඇතැයි අපේක්ෂාවෙන් වුවත් රජයට වසර දෙකක් සම්පූර්ණ වූ මේ අවස්ථාවේදීත් එය ඉටුනොවී ඇති බවද මේ නිසා උතුරු නැගෙනහිර ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය විහිළුවට ලක් වී තිබෙන බවද ඔහු කියා තිබුණේය. සම්පන්දන්ලා සුමන්තිරන්ලා එක්වී රජයට තවදුරටත් සහාය දක්වනවාද යන්න තීන්දු කළ යුතුයැයිද ඔහු කියා තිබුණි.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ රජයට වසර දෙකක් පිරීම ඉලක්ක කරගනිමින් බවට සැකයක් නැත. උතුර ගැන මෙන්ම නැගෙනහිර ජනතාව පිළිබඳවද කතා කතා කිරීමට ඔහුට ඇති ජනවරම පැහැදිලි නැත. පසුගිය මැතිවරණයේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට මන්ත්‍රී ධූරය අහිමි වූයේ ඔහුගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති හේතුවෙන් බවද කියැවේ. මේ කරුණු කෙසේ වුවත් ප්‍රේමචන්ද්‍රන් නගන හඩට අද කන් නොදී සිටියත් දිගින් දිගටම එසේ සිටීමට සම්බන්දන්ලාට හැකියාවක් නැති බව පැහැදිලිය. රජය මේ වසරේදී මුහුණදෙන එක් ප්‍රධාන අභියෝගයක් වන්නේ නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්මත කරගැනීම බවට මේ තත්ත්වය ප්‍රබල සංඥාවකි.

රජය නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරියට තල්ලු කරගැනීමට උත්සාහ දරන බව පෙනුණද පැහැදිලිවම මෙහිදී යූ.එන්.පීය එක් දිශාවකටත් ශ්‍රීලනිප පාර්ශ්වය තව දිශාවකටත් ඇදෙන බව නොරහසකි. යූ.එන්.පීයට තිබෙන උවමනාව ශ්‍රීලනිපයට නැති බවක්ද දැනෙයි. පිටතින් බලන කෙනකුට පෙනෙන්නේ රජයේ ප්‍රධාන පාර්ශ්ව දෙකේ අභ්‍යන්තර ගැටලු සහ පරස්පර විරෝධී ප්‍රතිපත්ති මේ තත්ත්වයට පාර කපන බවය. කෙසේ වුවද නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගොඩ දා ගැනීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම සහාය තිබීම අවශ්‍යය. පක්ෂ ප්‍රතිපත්ති මතම රැඳී සිටිමින් අකුල් හෙළනවාට වඩා රටේ ජනතාවගේ කැමැත්ත ලබාගැනීමට කටයුතු කිරීමද ප්‍රධාන පක්ෂ දෙකේම වගකීමක් වන්නේ එබැවිනි. එය පහසු නැත.
උතුර සහ නැගෙනහිර ගැටලු සම්බන්ධයෙන් අධිසංවේදී ලෙස ක්‍රියා කරන සංවිධාන කීපයක්ම තිබෙන බවත් ඔවුන් සමඟ සංවාදයකින් තොරව නව ව්‍යවස්ථා සාකච්ඡා ඉදිරියට ගෙන යාම අපහසු බවත් පැහැදිලිය. මේ කරැණු කාරණා හරි පීල්ලට දමා ගැනීමට නම් රජය මහජනතාව තුළ තමන් කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය වන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යය. එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නේම නැත.

මේ රටේ ප්‍රධාන පෙළේ ප්‍රතිසංස්කරණ සිදුකරන්නට ගිය හැම අවස්ථාවකම කලකෝලාහල ඇතිවූ බව නොරහසකි. ඒවාට බොහෝවිට හේතුවූයේ එවැනි ප්‍රතිසංස්කරණවලට අතගැසූ හැම රජයක්ම අදාළ අවස්ථාව වනවිට ජන ප්‍රසාදයෙන් ඈත්වී සිටීමය. එවැනි අවස්ථාවක් නිර්මාණය වනවිට අන්තවාදී කොටස්වලට ඒ තුළට රිංගා ගැනීම ඉතාම පහසුය. රජයේ කල්ක්‍රියාව ගැන කලකිරීමෙන්, ක්‍රෝධයෙන් පසුවන ජනතාවක් සිටින විට මොන ප්‍රතිසංස්කරණයක් වූවද ඔවුන්ට පෙනෙන්නේ ආණ්ඩුවේ උප්පරවැටියක් හැටියටය. ආණ්ඩුවට එරෙහි විරෝධය ඔවුන් මුදාහරින්නේ මෙවැනි යෝජනාවලට ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධය පෑමෙනි. 13 වැනි ව්‍යවස්ථාව බිහිවූයේ ද එවැනි වතාවරණයක බව අමතක නොකළ යුතුය. නව ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර රටේ ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි සැලකිලිමත් වීම අවශ්‍ය බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.

මීළඟට තවත් පොරොන්දුවක් වූ දූෂණ සහ අක්‍රමිකතා දේශපාලන භූමියෙන් අතුගා දැමීම සම්බන්ධයෙන් අද ජනතාව තුළ පවතින්නේ මහත් කලකිරීමක් බව පැහැදිලිය. මේ බව සොයා ගැනීමට මහා පරිමාණයේ සමීක්ෂණ වාර්තා අවශ්‍ය නැත. බස් නැවතුම්, දුම්රිය පොළ, මාර්කට් එක වැනි ස්ථානවල ගැවැසෙමින් මහජනතාවගේ කතාබස්වලට සවන් දීම පමණක් ප්‍රමාණවත්ය. මෙවැනි තොරතුරැ බුද්ධි අංශ මගින් රජයේ ඉහළම බලධාරීන්ට වාර්තා කර තිබෙන බවට සැකයක් නැත. ඉඳහිට හිටපු ඇමැතිවරයකු, මන්ත්‍රීවරයකු රිමාන්ඩ් කළ පමණින් ජනතාවගේ බලාපොරොත්තු ඉටුවුණායැයි සිතීම වැරුදීමක් වීමට හොඳටම ඉඩ තිබේ. එසේම එවැනි අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව පොදු විපක්ෂය මගින් ගෙන යන “මේවා දේශපාලන පළිගැනීම් යැයි කියන සටන් පාඨය ශක්තිමත් කිරීමටද ඒවා හේතු විය හැකිය. විමල් වීරවංශ අත්අඩංගුවට පත්වී ඊළඟ මොහොතේදී කියා තිබුණේ තමා රිමාන්ඩ් කෙරෙව්වේ අගමැති කියාය. ඒ එක් උදාහරණයකි.
රජය තමන්ගේ ක්‍රියාකාරකම් සහ ප්‍රතිපත්ති සමාජගත කිරීමේදී දක්වන දුර්වලතාව මේ බොහෝ සිදුවීම්වලට හේතුව වී තිබේ. එයට ආසන්නම උදාහරණය පසුගිය 7 වැනිදා ලැබුණේ හම්බන්තොටිනි. රටට ඉදිරි වසර තුන තුළදී ඩොලර් බිලියන 5ක් මේ ආයෝජනය හරහා ලැබෙන බවට අග්‍රාමාත්‍යවරයා එදින ප්‍රකාශ කළත් ඒ වනවිට පළාතම යුද පිටියක් බවට පත්වී තිබිණි. අක්කර පහළොස්දාහේ කතාව රජය මගින් දිගින් දිගටම පඹගාලක පැටලැවීම නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලා සිටි පොදු විපක්ෂයට නිකම්ම ආයුධ ලැබුණේය. ඉතා වටිනා රාජ්‍ය උත්සවයක් වශයෙන් පවත්වන්නට හැකියාව තිබූ එම අවස්ථාවට අඩුම වශයෙන් ආණ්ඩුවේ ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතින් සහභාගී කරවා ගැනීමට හෝ නොහැකි වීම කැපී පෙනිණි. රනිල් චීන තානාපති සමඟ එක්වී රුහුණු සංවර්ධන කලාපය විවෘත කරන විට මෛත්‍රීපාලගේ සමීප ඇමැතීන් කියා තිබුණේ හම්බන්තොට ඉඩම් චීනෙට දෙනවාට තමන් විරුද්ධ බවය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට පෙර “නිවෙස පිළිවෙළක් කරගැනීම ආණ්ඩුවේ යහපත පිණිස වන බව මේ අනුව පැහැදිලිය. නැතහොත් සිදුවන්නේ දෙපාර්ශවයම එකතු වී තම නිවෙස ගිනි තැබීමක් බඳු ක්‍රියාවකි.

වැදගත් කාරණා ගණනාවක් සඳහා සාකච්ඡාවකට මෛත්‍රීපාල ජනාධිපතිගෙන් රනිල් අගමැතිවරයාට ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරවාරයේය. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ පැවැති මේ සාකච්ඡාව ෙබාෙහා් ෙදනකු කළින් දැන සිටිෙය් නැත.
දොරගුළු වසාගෙන පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ පැවැති මේ සාකච්ඡාවට වෙනත් කිසිදු ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු හෝ නිලධාරිය‍හෝ සහභාගී වී සිටියේ නැත.  
මෙහිදී සාකච්ඡා කෙරුණු කාරණා පිළිබඳව කිසිවක් දැනගන්නට නැත. එහෙත් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබෙන්නේ මීට ටික දිනකට පෙර ජනපති මෛත්‍රීපාල කියා තිබූ තමා දැඩි තීන්දු කීපයක් ගන්නවා යනුවෙන් කළ ප්‍රකාශයට මේ සාකච්ඡාවේ සම්බන්ධයක් ඇති බවය. ඉදිරි දිනවලදී තමන් විසින් ගනු ලැබීමට නියමිත දේශපාලන තීන්දු ගණනාවක් පිළිබඳව මෛත්‍රීපාල පසුගියදා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟද සාකච්ඡාකර තිබුණේය. එහිදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් කීප දෙනකු විසින්ම රජයේ ඇමැතිවරුන් දෙදෙනකුගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර තිබුණි. ඔවුන් සමඟ මොන යහපාලනයක්ද යන මට්ටමින් විවේචන එල්ල වූ බවද දැනගන්නට තිබේ.
මෙම වාතාවරණය යටතේ මෛත්‍රීපාල සහ රනිල් අතර සිදුවූ පෞද්ගලික හමුවේදී සාකච්ඡා කෙරැණේ මොන මොන කරුණුදැයි යන්න දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් කතාබහට ලක්වූ මාතෘකාවක් වී තිබේ. පැහැදිලිවම මේ සම්බන්ධයෙන් වඩාත්ම උනන්දු වී සිටින්නේ කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කීපදෙනකු බවද දැනගන්නට ඇත. අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් පිළිබඳව පසුගිය දිනවල පැතිරුණු කතාබහ හේතුවෙන් මේ උනන්දුව වඩාත් දැඩි වී තිබෙන බවක්ද සමහරැ කියති.

මේ සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරි සති කීපය තුළදී බලාගැනීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ. නමුත් කුමන තීන්දුවක් ගත්තත් එය යහපාලන ආණ්ඩුවේ සම්මුතිය බිඳ වැටෙන මට්ටමේ ඒවා නොවන බව පැහැදිලිය. සම්මුතිය බිඳ වැටෙන තරමට තීන්දු තීරණාත්මක වුවොත් පාර්ලිමේන්තුව තුළ බල අරගලයකට පාර කැපීමට හොඳට ඉඩ තිබේ. යූ.එන්.පීය කටයුතු කරන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු තමන් බවට හැඟීමක් ඇතිවන පරිද්දෙන් යැයී ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමැතින්ගේ අදහසය. තමන් කටයුතු කරන්නේ මහජනතාව ලබාදුන් වරම අනුව යන්න යූ.එන්.පී ඇමැතින් ස්ථාවරය වී තිබේ. ආණ්ඩුව තුන්වැනි වසර අරඹන්නේ මේ හැලහැප්පිලි මැද්දේය. මේ හැලහැප්පීම් ආණ්ඩුවේ බලය තමන් අතට ලබාගැනීමට නිතරම මාන බලමින් සිටින ඒකාබද්ධ විපක්ෂයට ශක්තියක් වීම වැළැක්විය නොහැක. ඒ බව පසුගිය දින කීපය තුළ මහින්ද පළකළ අදහස් අනුව තේරුම් ගැනීම අපහසු නැත.

නව වසරේ දේශපාලන පොරපිටියේ වැඩ ඇල්ලීමට හොඳ නැකතක් සොයමින් සිටි මහින්දලාට හම්බන්තොට වරාය ගිවිසුමෙන් ඒ නැකත උදාවිය. එම උළෙල සම්බන්ධයෙන් ආණ්ඩුවේ දෙපාර්ශ්වය දැරෑ පරස්පර විරෝධී අදහස් මහින්දට හොඳ පන්නරයක් ලබා දුන්නේය. පොලීසිය සහ තම ආධාරකරුවන්ගේ සහාය ඇතිව එම අවස්ථාවට මුහුණ දීමට රජය කටයුත් කළත් එම උළෙල යූ.එන්.පී. ආණ්ඩුවක උළෙලක් මෙන් පෙනී යාම වැළැක්විය නොහැකි විය. මේ නිසා එහිදී සිදුවූ සිද්ධීන්වල වගකීම වැටෙන්නේ යූ.එන්.පීය මතටය. මෛත්‍රීපාලට සහාය දක්වන මැති ඇමැතින්ලාද හම්බන්තොට සිදුවූ පහරදීම් අනුමත නොකරමින් ඒවාට දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කිරීම තුළින් එය පැහැදිලි වෙයි.

යහපාලන ආණ්ඩුව වටහාගත යුතු වන්නේ ආණ්ඩුවේ බලය තමන් අතට ගැනීමට මහින්ද පාර්ශ්වය ගන්නා උත්සාහය අවතක්සේරැ කිරීම පාර වරද්දා ගැනීමක් විය හැකි බවය. තමන් බලයට පත්කළ ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිව යාම සම්මුතියේ ආයුෂ කෙටි කර දැමීමට හොඳටම ඉඩ තිබේ. මේ බව තේරුම් ගැනීමට වැඩිදුර යා යුතු නැත. පසුගිය දින කීපය තුළදී මහින්ද සිදුකළ ප්‍රකාශ කීපයක් කියවා බැලීම පමණක් සෑහේ.
ජනතාවගේ කුඹුරු අක්කර 15,000ක් චීනයට දෙන්න යනවා. අලුත් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උගුලක්, අපෙන් ගිය නායකයනුත් මේවාට අත උස්සනවා. 
තලාතුඔය බෝධි රෝපණ පින්කමකදී

රජය පෙරුළීමේ ලක්ෂණ දැන් හොඳටම පේනවා, විජයකලාගේ කතාවේ බරපතළකම ආණ්ඩුවට තේරෙන්නෙ නෑ.
 8 වැනිදා මහනුවරදී මහනාහිමිවරැන් බැහැ දැකීමෙන් පසුව
ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. දැන් බැලුවම ඒකට වඩා මේක අන්තයි. රට විකුණලා ඉතුරුවෙන්න දෙයක් නැති වෙයි.
එදිනම ගැටඹේ රාජෝපවනාරාමයේදී

මහින්ද මෙවැනි අදහස් කියා පෑමට තෝරාගන්නා ස්ථාන සහ අවස්ථා කෙරෙහි සැලකිලිමත් වීම පමණක් ඔහු ආණ්ඩුවට එල්ල කරන අභියෝග තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. පවතින ව්‍යවස්ථාවට අනුව එන්න ඉඩක් නෑ වැනි කතා මහින්දගේ දේශපාලනයට අදාළ නැත. දැඩිලෙස මහ ජනතාව පොළොඹවා ගතහැකි දේශපාලන ක්‍රියාදාමයකට මහින්ද අතගසා සිටින බව තේරුම් ගෙන ඒ අනුව තම දේශපාලනය හැඩගස්වා ගැනීමට ආණ්ඩුවේ නායකයන් දැන් සිටම ක්‍රියාත්මක නූනොත් යහපාලනයේ සිව්වැනි වසර උදාවන්නේ කුමන නැකතකින්දැයි කල් තබා කීමට අපහසු ඇත.

 ශශීන්ද්‍ර

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00